IMG-LOGO

2025 සැප්තැම්බර් මස 16 වන අඟහරුවාදා


ඔලිම්පික් මහගෙදර රණ්ඩුවට ක්‍රීඩා ඇමැතිත් පැටළෙයි


ක්‍රීඩා ඇමැති සුනිල් කුමාර ගමගේ මහතා නීතිපතිවරයාගේ උපදෙස් ලබා ගනිමින් ජාතික ඔලිම්පික් කමිටුවේ මහ ලේකම් මැක්ෂ්වෙල් ද සිල්වා මහතාගේ වැඩ තහනම් කිරීමට පසුගිය සිකුරාදා (10) කටයුතු කළේය. ඒ සමගම ටොරිංටන් පෙදෙසේ පිහිටි ජාතික ඔලිම්පික් කමිටුවේ මූලස්ථානයේ ඔහුගේ කාර්යාලය මුදා තබමින් ඔහුගේ රාජකාරී නිල විද්‍යුත් තැපෑල අත්හිටුවීමටත් පියවර ගැනුණි.

ඒ අතර එම මූලස්ථානයේ කාර්ය මණ්ඩලය සෙනසුරාදා (11) රැස් කළ ජාතික ඔලිම්පික් කමිටුවේ සභාපති සුරේෂ් සුබ්‍රමනියම් මහතා මහ ලේකම්වරයා නොමැති මූලස්ථානයේ කටයුතු කළ යුතු ආකාරය ගැන උපදෙස් ලබා දුන්නේය.

කුරුඳුවත්ත පොලීසියේ පැමිණිල්ලක් දමමින් මහ ලේකම්වරයාගේ කාර්යාලය මුද්‍රා තැබීමට ගත් බව කියන උත්සහයකට එහිදී මහ ලේකම්වරයාගේ ධූරයේ වැඩ බැලීම සඳහා පත්වූ උපලේකම් චන්දන ලියනගේ මහතා ඇතුළු නිලධාරීන් විරුද්ධ වී තිබේ.

ජාතික ඔලිම්පික් කමිටුවේ වත්මන් සහාපති සුරේෂ් සුබ්‍රමනියම් මහතා හා මහ ලේකම් මැක්ෂ්වෙල් ද සිල්වා යන මහත්වරුන් අතර කමිටුවේ පරිපාලන කටයුතු අරබයා මීට වසර දෙකකට ආසන්න කාලයක සිට හටගෙන තිබෙන මත ගැටුමේ අලුත්ම තත්වය එලෙසය.

මෙම නිලධාරීන් දෙදෙනාම ශ්‍රී ලංකා ටෙනිස් සංගමයෙන් ජාතික ඔලිම්පික් කමිටුවේ පරිපාලනයට පිවිසි එදා ගජ මිතුරෝ වෙති. අද ඔවුන් පස මිතුරන් වීමේ කතා පුවතට පසුබිම කුමක්ද...?

ඒ පිළිබඳව ක්ෂේත්‍රයේ කටයුතු කරන්නන්ට හොඳ අවබෝධයක් ඇත. කෙසේ වූවත් මෙම ප්‍රශ්නය දැන් සීමාව ඉක්මවා ගොස් ඇති බවක් වර්තමානයේ ඒ සම්බන්ධයෙන් පැන නැගී තිබෙන කාරණා වලින් සනාථ වී තිබේ.
ජාතික ඔලිම්පික් කමිටුවේ මීළඟ නිලවරණය (2025 - 28) ලබන මාර්තු 31 වැනිදාට පෙර පැවැත්වීමට කිසිදු ඉඩක් නැති බවත් ඒ සම්බන්ධයෙන් තමන් ජාත්‍යන්තර ඔලිම්පික් කමිටුවට පැමිණිලි කළ බවත් ජාතික ඔලිම්පික් කමිටුවේ සභාපති සුරේෂ් සුබ්‍රමනියම් මහතා මේ අතර පවසයි.

ව්‍යවස්ථානුකූලව එම නිලවරණය කැඳවිය හැක්කේ දෙසැම්බර් 31 වැනිදායින් පසුව බැවින් ඊට පෙර එය කැඳවීමට ගන්නා උත්සාහයන්ට තමන් එරෙහි වන බවත් ජාතික ඔලිම්පික් කමිටුවේ නිලවරණය එහි සභාපතිවරයාගේ අනුමැතිය නොමැතිව කැඳවිය නොහැකි බවත් එහි දී ඔහු පැවසීය.

කෙසේ වූවත් පසුගිය සිකුරාදා (10) සිට ක්‍රීඩා අමාත්‍යාංශයේ තහනමට ලක්ව සිටින කමිටුවේ මහ ලේකම් මැක්ෂ්වෙල් ද සිල්වා මහතාගේ ආශීර්වාදයෙන් පසුගිය දෙසැම්බර් 13 වැනිදා කැඳවූ ජාතික ඔලිම්පික් කමිටුවේ විශේෂ මහ සහා රැස්වීමේ දී ජාතික ක්‍රීඩා සංගම් තුනෙන් දෙකක යෝජනා සම්මතයෙන් තීරණය වූයේ එහි මීළඟ නිලවරණය (2025 - 29) මාර්තු 31 වැනිදාට පෙර පවත්වා අවසන් කළ යුතු බවයි.

ඒ සඳහා නිලවරණ මෙහෙයුම් කමිටුව ද මේ වන විට නිර්දේශ කර තිබේ. ක්‍රීඩා අමාත්‍යාංශයේ හිටපු ලේකම්වරුන් වන ඒ.එස්. රනුග්ගේ  (සභාපති), කේ.ඩී.එස්. රුවන්චන්ද්‍ර හා නීතිඥ අමිත් රාජපක්ෂ යන මහත්වරු එහි සාමාජිකයෝ වෙති.

කෙසේ වූවත් මහ ලේකම්වරයාට පැනවූ තහනමත් සමග කමිටුවේ පැන නැගී තිබෙන අර්බුදකාරී තත්වය වඩාත් උත්සන්න වී ඇති හෙයින් යෝජිත නිලවරණය මාර්තු 31 වැනිදාට පෙර කැඳවීම වඩාත් අවිනිශ්චිත තත්ත්වයකට පත්ව තිබේ.

පසුගිය සිකුරාදා මහ ලේකම්වරයාට එරෙහිව පැන වූ තහනමෙන් පසු දිනම (11) වැනිදා ජාතික ඔලිම්පික් කමිටුවේ සාමාජික ජාතික ක්‍රීඩා සංගම් 20 ක්  (කමිටුවේ සාමාජික ජාතික ක්‍රීඩා සංගම්  මුළු එකතුව 29 කි.) ඒකාබද්ධ වී ජාත්‍යන්තර ඔලිම්පික් කමිටුවට හා ආසියානු ඔලිම්පික් සභාවට ලිපියක් යොමු කරමින් කියා සිටියේ ශ්‍රී ලංකාවේ ජාතික ඔලිම්පික් කමිටුවේ පැන නැගී තිබෙන වත්මන් තත්ත්වයට වහාම මැදිහත්වීමක් කරන ලෙසයි.

ඔවුන් එහිදී කරුණු ගණනාවක් දක්වමින් යොමු කළ ලිපියෙන් වැඩි දුරටත් අවධාරණය කර සිටියේ විශේෂ මහ සභා රැස්වීමේ දී ගත් තීරණ, තීන්දු ක්‍රියාත්මක කිරීම කෙරෙහි ශ්‍රී ලංකාවේ අවධානය යොමු කරන ලෙසයි.

ඒ පිළිබඳව ලංකාදීපයට වැඩිදුරටත් අදහස් දැක්වූ ජාතික ඔලිම්පික් කමිටුවේ සභාපති සුරේෂ් සුබ්‍රමනියම් මහතා පැවසුවේ එකී ජාතික ක්‍රීඩා සංගම් ජාත්‍යන්තර ඔලිම්පික් කමිටුවට ලිවීමෙන් ඔවුන්ට අදාළ නොවන කටයුත්තකට මැදිහත් වී තිබෙන බවයි.

”‍ ජාත්‍යන්තර ඔලිම්පික් කමිටුව වගේම ආසියානු ඔලිම්පික් සහාව මෙවැනි අවස්ථාවක දී ඒ රටේ ඔලිම්පික් කමිටුවේ සභාපතිවරයාට හැරෙන්න වෙනත් පාර්ශ්වවලට ප්‍රතිචාර දක්වන්නේ නෑ. යැයි ද සුබ්‍රමනියම් මහතා පැවසීය.

මේ අතර ටොරිංටන් පෙදෙසේ ජාතික ඔලිම්පික් කමිටු මූලස්ථානයේ පාලනය සිකුරාදා සිදුවීමෙන් පසුව සභාපතිවරයාගේ සෘජු පාලනයට ගෙන තිබේ. එහි ස්ථාපිත මහ ලේකම්වරයාගේ කාර්යාලය මුද්‍රා තැබීමට ද ඔහු උපදෙස් ලබාදී තිබේ.

ජාතික ඔලිම්පික් කමිටුවේ වත්මන් සභාපතිවරයා හා මහ ලේකම්වරයා අතර වසරකට වැඩි කාලයක් තිස්සේ එහි පරිපාලනය සම්බන්ධයෙන් පැන නැ නැගී ආ අර්බුදය මෑතක දී උත්සන්නවීම එහි වත්මන් අර්බුදයට හේතුවයි.

මේ අතර ක්‍රීඩා අමාත්‍යාංශය ලබාදුන් (නිර්දේශ) වාර්තාවක් පදනම් කර ගනිමින් කමිටුවේ ආචාර ධර්ම කමිටුව  විසින් මහ ලේකම්වරයාට එරෙහිව ලබා දුන් නිර්දේශ ක්‍රියාත්මක කිරීමට බාධා පමුණුවන බවට චෝදනා කරමින් ඒ සම්බන්ධයෙන් සභාපතිවරයාගේ දැඩි විරෝධය මහ ලේකම්වරයාට පළ වී තිබුණි.

ශ්‍රී ලංකාවේ ජාතික ඔලිම්පික් කමිටුව සම්බන්ධයෙන් පැන නැගී තිබෙන වත්මන් අර්බුදකාරී තත්ත්වය කෙරෙහි අවධානය යොමු කරමින් පසුගිය දෙසැම්බර් 10 වැනිදා සිට අන්තර් ජාතික ඔලිම්පික් කමිටුව ඊට ලබාදෙන ප්‍රතිපාදන හා අරමුදල් සීමා කර තිබේ.

එහි දී ශ්‍රී ලංකාවට ඔවුන් දැනුම් දී තිබුණේ තමන්ට ඊට මැදිහත්වීම්වලට ඉඩ නොතබා ජාතික ඔලිම්පික් කමිටුවේ ආචාර ධර්ම කමිටුව විසින් ලබා දී තිබෙන නිර්දේශ අනුව යමින් මෙම ප්‍රශ්නය විසඳා ගන්නා ලෙසයි. කෙසේ වෙතත් ක්‍රීඩා අධ්‍යක්ෂ ජනරාල් මහාචාර්ය ෂේමාල් ප්‍රනාන්දු මහතා ප්‍රධාන කමිටුවක් විසින් ජාතික ඔලිම්පික් කමිටුව සම්බන්ධයෙන් විමර්ශනයක් සිදු කරමින් ලබා දුන් වාර්තාව ආචාරධර්ම කමිටුවේ ඉහත නිර්දේශයට පදනම විය.

එහෙත් එම වාර්තාවේ ජාතික ඔලිම්පික් කමිටුවේ මහ ලේකම්වරයාට එරෙහිව විමර්ශනයක් කළ යුතු බවට කිසිදු සඳහනක් නැතැයි ද ආචාර ධර්ම කමිටුව එහිදී සීමාව ඉක්මවා ගොස් ඇතැයි ද මහ ලේකම්වරයාගේ පාර්ශ්වය චෝදනා කරයි. ඒ අතර ඒ සම්බන්ධයෙන් කරුණු විමසීම සඳහා ජාතික ඔලිම්පික් කමිටුවේ විධායක සභාව හමුවේ පෙනීසිටින ලෙස ආචාර ධර්ම කමිටුවට කළ නියමය ඔවුන් නොසලකා හැරීමෙන් මෙම ”‍තුවාලය”‍ට ගොඩ වෙදකම් කළ නොහැකි තරමට දැන් ම් ඔඩු දුවා තිබේ.


  නාමල් පතිරගේ 



        

 



අදහස් (0)

ඔලිම්පික් මහගෙදර රණ්ඩුවට ක්‍රීඩා ඇමැතිත් පැටළෙයි

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්


මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 30120 31


රන්ජන් පීල්ල මාරු කරයි
2025 සැප්තැම්බර් මස 14 12234 8

මහින්දගේ නිල නිවෙස සීඅයිඩියට
2025 සැප්තැම්බර් මස 03 10897 30

මේවාටත් කැමතිවනු ඇති

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 765 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 233 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 885 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

Our Group Site