ඒ. එක්දහස් නවසිය තිහේ දශකයයි. 

 
බ්‍රිතාන්‍යයේ අධ්‍යාපනය ලැබූ ශ්‍රී ලාංකික තරුණ පිරිසක් අධිරාජ්‍ය විරෝධී මානව හිතවාදී වාමාංශික දේශපාලන වාතාවරණයක් බිහිකිරීමේ අරමුණින් එක් රැස්වෙමින් සිටියහ. පිලිප් ගුණවර්ධනගේ මූලිකත්වයෙන් එක් රැස්වුණ එම කණ්ඩායම ආචාර්ය එන්.එම්. පෙරේරා, ආචාර්ය කොල්වින් ආර්. ද සිල්වා, දොස්තර එස්.ඒ. වික්‍රමසිංහ, ලෙස්ලි ගුණවර්ධන යන අයගෙන් සමන්විත වූහ.  


සූරියමල් ව්‍යාපාරය, මැලේරියා සහන වැඩසටහන වැනි සමාජ සේවා වැඩසටහන් රැසක් ක්‍රියාත්මක කරමින් රටතුළ බොහෝ ජනප්‍රිය වූ ඒ පිරිස 1935 දී ශ්‍රී ලංකාවේ ප්‍රථම දේශපාලන පක්ෂය පිහිට වූහ.  
රාජ්‍ය මන්ත්‍රණ සභාව සඳහා වූ දෙවැනි මැතිවරණයෙන් ලංකා සම සමාජ පක්ෂයේ පිලිප් ගුණවර්ධන සහ ආචාර්ය එන්.එම්. පෙරේරා මන්ත්‍රීධුර හිමිකරගත්හ. දේශපාලන පක්ෂයකින් රාජ්‍ය සභා මන්ත්‍රීවරු පත්වූ ප්‍රථම අවස්ථාව එය විය. සභාව තුළ ඔවුන්ගේ මානව හිතවාදී යෝජනා එකල තිබූ දිනමිණ, සිළුමිණ, ස්වදේශ මිත්‍රයා වැනි පුවත්පත්වල වාර්තා නොවීය. එනිසා ලංකා සමසමජ පක්ෂය ජනතාව අතරට යාම සඳහා පුවත්පතක අවශ්‍යතාවය මතුවිය.  


එසේ ආරම්භවූයේ ‘‘සම සමාජ’’ පුවත්පතය.  


ලංකාවේ පළවූ ප්‍රථම දේශපාලන පුවත්පත එයය. එමෙන්ම ප්‍රථම විකල්ප පුවත්පතද එයයි.  
ලංකා සම සමාජ පක්ෂයේ ලේකම් නීතිඥ වර්නන් ගුණසේකර ‘‘සම සමාජ’ පත්තරයේ ප්‍රථම කතුවරයාය. ලෙස්ලි ගුණවර්ධනගේ සහායද ඔහුට ලැබුණි.  


ටැබ්ලොයිඩ් ප්‍රමාණයේ පුවත්පතක් වූ ‘සම සමාජය’ මුද්‍රණය කරන ලද්දේ කොළොන්නාව සූර්‌යෝදය යන්ත්‍රාලයේය. පුවත්පතේ මුද්‍රණකරු වශයෙන් හර්මන් අප්පු යන අයගේ නම සඳහන්ය.  
මුල්ම පත්‍රය පිටු හතරක් වූ අතර අලෙවිකරන ලද්දේ ශත දෙකක මුදලකටය. ප්‍රථම ‘සම සමාජ’ පුවත්පත පිටපත් දෙදාහක් මුද්‍රණයකර ඇත.  


‘සම සමාජය සහ ආගම’  


මහජනයා මුලාකරන බොරුකාරයන්ට පිළිතුරු සම සමාජ පුවත්පතේ මංගල කලාපයේ මුල් පිටුවේ සිරස්තලය එය විය. එය අඟලක පමණ අකුරුවලින් පළවිය.  


එයට යටින් උප සිරස්තලය ‘පිළිතුරු රාජ්‍ය සභාවේ මන්ත්‍රීවරුන් විසින්’ යන්නය.  
ලංකා සම සමාජ පක්ෂය පල්ලි පන්සල් විනාශකරන දෙමාපියන් නොසලකන මිනිසුන් පිරිසක් ලෙස එක්තරා කොටසක් විශාල බොරු ප්‍රචාරක ව්‍යාපාරයක් පවත්වාගෙන යන බවත් එයට නොරැවටෙන ලෙස දන්වා දීර්ඝ ලිපියක පළකර තිබුණි.  


ලිපියේ ලේඛකයින් වශයෙන් ආචාර්ය එන්.එම්. පෙරේරා සහ පිලිප් ගුණවර්ධනගේ නම් ලිපියට යටින් පළකර තිබුණි.  


එම පිටුවේ තවත් සිරස්තලයක් වූයේ.   
‘‘බස් කොන්දොස්තරවරුන් ලයිසන් කිරීම’’  
‘‘සෙරෙප්පු පාරකින් බේරුණු හැටි.’’  


වැල්ලවත්ත ඇළේ වැඩ කරන කම්කරුවන්ට බීමට වතුර සහ කැසිකිළි පහසුකම් කම්කරු පාලක හොබ් වේ මහතා හමුවීමකින් ආචාර්ය එන්.එම්. පෙරේරා දිනාගත් වග මුල් පිටුවේ තවත් පුවතකින් විස්තර කර තිබුණි.  


ඇතුළු පිටුවල බලන්ගොඩ ආනන්ද මෛත්‍රිය හිමියන්ගේ ලිපියක් සහ ආචාර්ය ඊ.ඩබ්ලිව්. අදිකාරම්ගේ ලිපියක් පළවී තිබුණි.  

 

සම සමාජය පුවත් පතේ දෙවන කලාපයේ මුල් පිටුවේ ප්‍රධාන සිරස්තලය මෙසේ විය.  

‘‘සම සමාජවාදීන්ට විරුද්ධව ආණ්ඩුවේ රහස් කුමන්ත්‍රණයක්’’ එහි උප සිරස්තලය මෙසේ විය.  
‘‘ධනේෂ්වර ජන නායකයින් ආණ්ඩුව සමග කුමන්ත්‍රණයට එකඟ ද?’’  
දෙවැනි කලාපයේ මුල් පිටුවේ තවත් සිරස්තලයක මෙසේ සඳහන් විය.  


‘‘අලුත් මොටෝ ව්‍යවස්ථාව’’   
ලියා තිබුනේ නීතිඥ වර්නන් ගුණසේකරය.   


ලංකා සම සමාජ පක්ෂයට මෙන්ම සම සමාජ පුවත් පතටද ප්‍රධාන පරමාර්ථ තුනක් විය.  
රටට පූර්ණ නිදහස ලබාගැනීම, ආගම්, ජාති, කුලමල, ලිංග භේදයක් නැතිව සැමට සමානාත්මකව සැලකීම, භාණ්ඩ නිෂ්පාදනය බෙදා හැරීම සහ හුවමරුව ජනතාව සතු කිරීම.  
සම සමාජ පුවත්පතේ පළවූ ලිපි වලින් බලාපොරොත්තු වූයේ එම පරමාර්ථයන් ශ්‍රී ලංකාව තුළ ස්ථාපනය වන සමජ පසුබිමක් සකස් කිරීමය.  


එම අවධියේ ලංකාවේ බොහෝ පෙදෙස් වල විශේෂයෙන් තුන් කෝරලය, හතර කෝරලය වැනි ප්‍රදේශවල කුල භේදය ඉතාමත් තදින් පැතිර තිබුණි.  


රදල වලව් බලය ඉතාමත් කෲර ලෙස ක්‍රියාත්මක වූ ඒ කාලයේ සමහර කුලවල කාන්තාවන්ගේ උඩුකය වැසීම සඳහා ඇඳුමක් ඇඳීම තහනම් විය. පිරිමියෙකුට කරේ සලුවක් දමාගෙන යෑම තහනම් විය. බොහෝ කුලවල දරුවන්ට පාසලකට ගොස් ඉගෙනීම තහනම් විය.  
සම සමාජ පත්‍රය එම රදල අදහස්වලට දැඩි ලෙස පහර ගැසීය. රදල පීඩනයට තව දුරටත් බියවී නොසිටිය යුතු බවට ජනතාව තුළ හැඟීමක් ඇතිකර ලීමට අවශ්‍ය මානසික පසුබිමක් ඇති කරවන ලිපි නිතරම පළවිය.  
ආචාර්ය එන්.එම්. පෙරේරා, ආචාර්ය කොල්විල් ආර්. ද සිල්වා, පිලිප් ගුණවර්ධන, ආචාර්ය ඊ.ඩබ්ලිව්. අදිකාරම්, බලන්ගොඩ ආනන්ද මෛත්‍රිය හිමියන්, උඩකැන්දවෙල සිරි සරණංකර හිමියන්, රැපියල් තෙන්නකෝන් වැනි ලේඛකයන්ගේ ලිපි වලින් ද පී.බී. අල්විස් පෙරේරා වැනි කවීන්ගේ කාව්‍ය සංකල්පනා වලින් ද ‘‘සම සමාජය’’ එම හැඟීම ජනතාව තුළ ඇති කිරීමට උත්සාහ කළේය.  


කුල භේදයට විරුද්ධව ලිපි පළකිරීමෙන් පමණක් නොනැවතුණ සම සමාජ පත්තරය එවැනි කුලහීන දරුවන්ට වෙනත් ප්‍රදේශවල ඉගෙනීමට පහසුකම් සලස්වා ඔවුන්ට හෙදියන්, ගුරුවරුන්, පොලිස් කොස්තාපල්වරුන් වැනි රැකියාවලට යෑම සඳහා අවශ්‍යය පහසුකම් සලසා දුන්නේය.  
සමහර පුද්ගලයින් සිදු කරන ලද දූෂණ, සමාජ විරෝධී ක්‍රියා අනික් සිංහල පුවත්පත්වල පළ නොකළ එම කාලයේ ‘‘සම සමාජ’ පත්‍රය ඒ දූෂණ අභීතව හෙළිකර තිබුණි. වතු ආශ්‍රිත ප්‍රදේශවල මල්වර වන දැරියන් වතුවල කංකානීන් විසින් දූෂණය කිරීමේ සිද්ධීන් බොහෝමයක් එකල ‘සම සමාජ’ පුවත් පතින් හෙළි කෙරුණි.  

 


ලන්ඩන් නුවර ඉපදුන මාර්ක් ඇන්තනි ලිස්ටර් බ්‍රෙස්ගර්ඩ්ල් උඩරට වතුකරයේ මඩොල්කැලේ වතුයා​යේ උප පාලකයකු වශයෙන් සේවය කළේය. ඔහු ලංකා සම සමාජ පක්ෂය සමඟ එකතුව කම්කරුවන්ගේ නිදහස සඳහා කටයුතු කළේය. මෙනිසා ඔහු ලංකාවෙන් පිටුවහල් කිරීමේ නියෝගය එවකට සිටි ස්ටබස් ආණ්ඩුකාරවරයා 1937 අප්‍රියෙල් 24 දින නිකුත් කළේය. මෙම නියෝගයට විරුද්ධව රාජ්‍ය මන්ත්‍රණ සභාවේ පිලිප් ගුණවර්ධන මෙන්ම ආචාර්ය එන්.එම්. පෙරේරාද කතා කළේය. බ්‍රෙස්ගර්ඩ්ල් පිටුවහල් කිරීමේ ආණ්ඩුකාරවරයාගේ නියෝගයට විරුද්ධව ලංකා සම සමාජ පක්ෂය ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක් ඉදිරිපත් කළේය.  


ආණ්ඩුකාරයාගේ නියෝගය, නීත්‍යානුකූල නොවන බව ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කළේය. බ්‍රේස්ගර්ඩ්ල් සිද්ධිය පිළිබඳව සම්පූර්ණ තොරතුරු පළවූයේ සම සමාජය පත්‍රයේ පමණය.  
දෙවැනි ලෝක මහා යුද්ධයේදී අධිරාජ්‍යවාදීන්ගේ උදව් පිණිස ලංකාව සත පහක්වත් උදව් නොදිය යුතුයි යැයි ආචාර්ය එන්.එම්. පෙරේරා මෙන්ම පිලිප් ගුණවර්ධන රාජ්‍ය මන්ත්‍රණ සභාවේ ගිගුම් දෙමින් කළ කතා වෙනත් පුවත්පත්වල පළනොවීය.  


මිනිසුන් ඒ සියලුම තොරතුරු දැනගත්තේ ‘සම සමාජය’ පුවත්පතිනි.  
පළමු දේශපාලන පුවත්පත පළමුවන විකල්ප පුවත්පත, සමාජ සුභසාධනයෙහි යෙදුන පළමු විකල්ප පුවත්පත මෙන්ම රජය විසින් ලංකාවේ තහනමට ලක්කළ ප්‍රථම පුවත්පතද සම සමාජය වීම විශේෂත්වයකි.  
තිස් ගණන්වල ඉංග්‍රීසි ආණ්ඩුව පැවැති සමයේ ‘‘සම සමාජය’’ මුද්‍රණය කිරීම තහනම් කෙරුණි. නමුත් ‘‘සම සමාජය’’ පුවත්පත නොකඩවා ජනතාව අතරට පැමිනුණි. සමහර පත්තර වැල්ලම්පිටිය, සේදවත්ත ‘‘ගල්ලෑලි මුදලාලි’’ හෙවත් අප්පුහාමි අයියාගේ ගෙදර ‘ගල් අච්චුවේ’ මුද්‍රණය විය. ස්වාමින් වහන්සේලා සිවුරු තුළ රුවාගෙන ‘‘සම සමාජය’’ පත්තරය ජනතාව අතරට ගෙන ගිය අවස්ථා විය.  
එක්දහස් නවසිය හතළිස් තුන, හතළිස්හත කාලයේ ලංකා සම සමාජ පක්ෂය තහනම්කර පත්‍රය මුද්‍රණය කළ මුද්‍රණාලයට සීල් තබන ලදී, එමෙන්ම ‘සම සමාජය’ පුවත්පත සන්තකයේ තබා ගැනීම සිර දඬුවම් ලබන වරදක් ලෙස ප්‍රකාශයට පත්කරන ලදී.  


ලංකා ඉතිහාසයේ ප්‍රථම වරට පුවත්පතක් ළඟ තබාගැනීම පුද්ගලයකුට සිර දඬුවම් විඳීමට සිදුවූයේ ද ඒ කාලයේය. ඒ සමසමාජ පත්‍රය ළඟ තබාගැනීම නිසාය.  
ඉර හඳ ඇති තෙක් හාල් සේරුව ශත විසිපහටම දෙනවාය කියා කියූ එක්සත් ජාතික පක්ෂය. 1952 දී ආණ්ඩුව පිහිට වූ පසු එහි මුදල් ඇමැති ජේ.ආර්. ජයවර්ධන ශත විසිපහට තිබූ හාල් සේරුව ශත හැත්තෑපහ දක්වා වැඩි කළේය. පාසල් ළමුන් සඳහා නොමිලේ දෙමින් තිබූ බනිස් සඳහා වන මුදල් කපා හැරියේය. සීනි මිල වැඩිවිය. තැපැල් ගාස්තු දුම්රිය ගාස්තු වැඩිවිය.  


මෙලෙස බඩු මිල වැඩිකිරීමට විරුද්ධව මහා හර්තාල් ව්‍යාපාරයක් සංවිධාන කිරීමේ පෙරමුණ ගත්තේ ලංකා සම සමාජ පක්ෂයය. කොමියුනිස්ට් පක්ෂය, ශ්‍රී ලංකා නිදහස් පක්ෂය, පමණක් නොව පෙඩරල් පක්ෂය ද හර්තාලයට එකතුවිය.  


පනස් තුනේ හර්තාලය හොඳින් ක්‍රියාත්මක වූයේද ලංකා සම සමාජ පක්ෂයේ බලය වැඩිපුර ඇති ප්‍රදේශවලය. ආණ්ඩුවක් පෙරළීමට සමත් වූ පනස් තුනේ හර්තාලයේ ප්‍රචාරක නියමුවා වූයේද ‘‘සම සමාජය’’ පුවත්පත විය.  


එම හර්තාලයේදී නැවත වරක් ‘‘සම සමාජය’’ පත්‍රය තහනම් කර කාර්යාලයට මුද්‍රා තබන ලදී. එමෙන්ම කොමියුනිස්ට් පක්ෂයේ ‘‘මව්බිම’’ පත්‍රය ද තහනම්කර පක්ෂ කාර්යාලයට මුද්‍රා තබන ලදී.  
වර්නන් ගුණසේකරගෙන් පසුව සම සමාජය පුවත්පතෙහි කතුවරයා වූයේ නීතිඥ බී.ජේ. ප්‍රනාන්දුය. ප්‍රකට ජනමාධ්‍යවේදියකු වූ ජනදාස පීරිස්​ගේ පියා වූ පාර්ලිමේන්තු මන්ත්‍රී හෙන්රි පීරිස් එයින් පසුව සම සමාජය පුවතපතෙහි කතුවරයා විය. එයට පසුව පිළිවෙළින් බටුවන්දර ගුණවර්ධන, නිමල් හොරණ, සෝමපාල ඉලේපෙරුම, ඊ.එල්. ජයන්ත ද සොයිසා සහ දයා සෝමසිරි කතුවරයින් වශයෙන් කටයුතු කළහ.  
පැය අටේ වැඩ දිනය, අර්ථ සාධක අරමුදල්, සේවක නිල නිවාස පමණක් නොව පොලිස් පොත්වල පැමිණිලි සිංහලෙන් සටහන් කිරීම ආරම්භ වූයේ ලංකා සමසමාජ පක්ෂයේ මන්ත්‍රීවරු ඇතුලු පාක්ෂිකයින් සිදුකළ සටන් නිසාය. ඒ සටන්වල හොරණෑව මෙන්ම තවත් භාරදුර කටයුතුවල ‘‘සම සමාජය’’ පත්තරය නිරත විය.  
පිට්ටනිය හැදුවේ ඔවුන්ය. දැන් සෙල්ලම් කරන්නේ වෙනත් පිරිසක්ය. කිසිවෙකුට පිට්ටනිය සෑදු අය මතක නැත.   

 

 

පීටර් කැනියුට් පෙරේරා