
මෙරට දේශපාලන වංශ කතාවේ අලුත් පරිච්ඡේදයක් ලිවීමට අනුර දිසානායක ආණ්ඩුවට ඉකුත් සතියේ මෙරට ඉහළම අධිකරණයේ අනුමැතිය ලැබිණි. ඒ මැතිවරණ පොරොන්දුවක් වූ මන්ත්‍රී විශ්‍රාම වැටුප අහෝසි කිරීමේ කටයුත්තටය. හරියටම වසර පනහක කාලයක් විශ්‍රාමික පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට ලැබුණු විශ්‍රාම වැටුප මේ අනුව අහෝසි වෙයි.
මෙරට මන්ත්‍රීවරුන් පිළිබඳව සමාජයේ ඇතිව තිබූ වෛරීසහගත පිළිගැනීමට මහත් දායකත්වයක් ලැබුණේ ඔවුන්ට ලැබුණු විවිධාකාර දීමනා හේතුවෙනි. වසර පහක රාජකාරි කාලයක් ගත කිරීමෙන් පසු විශ්‍රාම වැටුපකට හිමිකම් ලැබීමට මන්ත්‍රීවරුන්ට හැකි විය. පසුකාලීනව මන්ත්‍රීවරුන්ට පමණක් නොව ඔවුන්ගේ කාර්ය මණ්ඩලයේ තනතුරු පහක් සඳහා ද මෙම විශ්‍රාම වැටුප් හිමිකම ලැබීමේ අවස්ථාව ලැබිණි. ඔවුන්ටද වසර පහක සේවා කාලයකින් ඉක්බිතිව මෙම හිමිකම ලැබුණේය.
රජයේ සෙසු සේවකයන්ට වසර පනස් පහ ලැබෙන තුරු දීර්ඝ සේවා කාලයක් විශ්‍රාම වැටුප් හිමිකම ලබාගැනීම සඳහා බලා සිටීමට සිදුවී ඇති අතර වසර පහක් වැනි ඉතා කෙටි කාලයක් සේවය කිරීමෙන් පසු මන්ත්‍රීවරුන්ට විශ්‍රාම වැටුප් හිමිවීම මෙරට ජනතාව තුළ දැඩි විරෝධයක් ඇති කිරීමට හේතුවිය. මෙම වරප්‍රසාදය මන්ත්‍රීවරුන්ගෙන් අහිමි කිරීම සඳහා තම රජයක් යටතේ කටයුතු කරන බවට ජාතික ජන බලවේගය ජනතාවට පොරොන්දුවක් ලබා දුන්නේය. අධිකරණ අනුමැතිය ලැබී ඇත්තේ ඒ සඳහා සකස් කරන ලද පනත් කෙටුම්පතටය. මෙය වර්තමාන රජය විසින් ඉටු කරන ලද වටිනාම මැතිවරණ පොරොන්දුව වන බවට සැකයක් නැත.
පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා මෙරට ජන සමාජය තුළ සුවිශේෂ පුද්ගලයකුය යන මතයක් තහවුරු වීම සඳහා මන්ත්‍රීවරුන්ට ලැබුණු මෙවැනි සුවිශේෂී වරප්‍රසාද හේතු විය. 1982 දී ජනතා විමුක්ති පෙරමුණ තහනම් කරමින් මෙරට දේශපාලන භූමියේ ලේ වැකුණු යුගයක් ආරම්භ කිරීමට ජේ.ආර්. ජයවර්ධන රජය ගත් තීන්දු තීරණවලට එවකට ජවිපෙ ගෙන යමින් තිබූ දැඩි මන්ත්‍රී විරෝධය ද එක් හේතුවක් විය. 1982 මාර්තු මාසයේදී මොරටුවේ පැවැති රැස්වීමක් අමතමින් ජවිපෙ ආරම්භක නායක රෝහණ විජේවීර මෙසේ කියා සිටියේය.
“පනස් පහ පැනපු වයසක අය පැන්ෂන් ගන්නවා. 55 පැනපු සී.ටී.බී. රියැදුරන් පවා පැන්ෂන් ගන්නේ සේවයට නොගැළපෙන නිසයි. අන්න ඒ වගේ අපේ වයසක දේශපාලනඥයන් ජනපති ජයවර්ධන පවා විශ්‍රාම ගොස් ආණ්ඩු බලය තරුණ පරම්රාවට භාරදිය යුතුයි. මේ අය මන්ත්‍රී ගොල්ල කියල විශේෂිත වරප්‍රසාද භුක්ති විඳිනවා. වසර පහකින් පැන්ෂන් එකක් ගන්නවා. මේ සංස්කෘතිය මෙරටින් තුරන් කළ යුතුයි.” රෝහණ විජේවීර පැවසීය. විජේවීර කියා සිටියේ එදා සමාජයේ ඇතිව තිබූ ජනතා විරෝධය පිළිබඳවය. ඔහුට එම අභිලාෂය ඉටුකර ගත නොහැකි වුවද ඔහුගේ පක්ෂය බලයේ සිටින රජයකින් එම අභිලාෂය වර්තමානයේ ඉටු කර ඇත.
“මන්ත්‍රීවරයා” යන පුද්ගලයා නිදහසට පෙර සහ නිදහසට පසු සෑහෙන කාලයක් යනතුරු සමාජයේ ගෞරවනීය පුද්ගලයෙක් ලෙස වැජඹුණේය. ඔහුගෙන් රටට යමක් සිදුවූවා මිස ජාතික ධනයෙන් ඔහු ජීවත් වූයේ නැත. ජාතික ධනයෙන් එනම් මහා භාණ්ඩාගාරයෙන් ජීවත් වන මන්ත්‍රීවරුන් බිහිවුණේ 1956 බණ්ඩාරනායකගේ පොදුජන විප්ලවයෙන් පසුවය. ඉන්පසු ජේ.ආර්. ජයවර්ධන යුගයේ එය වඩාත් උච්ච තත්ත්වයට පත් වූයේය.
ජයවර්ධන රජය යටතේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වෙත ලැබී තිබූ අධිකාරිවාදී බලය ජන සමාජය තුළ දැඩි ආණ්ඩු විරෝධයකට හේතු විය. රජයෙන් වාහන. නිල නිවාස, විශ්‍රාම වැටුප්, තරුණ පෙළට රැකියා දීමේ තනි බලය, මන්ත්‍රී කොට්ඨාසයේ සියලු රාජ්‍ය කටයුතුවල ඒකාධිකාරි බලය භුක්ති විඳින්නා ලෙස 1980 පමණ වෙද්දී මන්ත්‍රීවරයා පොදු ජනතාව අතර විරෝධයට ලක්වෙමින් සිටියේය. ජවිපෙ මෙම විරෝධය දැඩි ලෙස ගෙන ගියේය. ඒ වෙනුවට රජයෙන් ලැබුණේ දැඩි ප්‍රතිචාරයකි. මන්ත්‍රීවරුන් සැප විඳීම නවතා ජනතාවට රැකියා ලබා දෙමින් මැතිවරණයේදී වූ පොරොන්දු ඉටු කළ යුතුයැයි. ජවිපෙ මතවාදයක් ගෙන ගිය අතර ගම් මට්ටමින් එජාප මන්ත්‍රීවරු මෙම විරෝධතාකරුවන්ට පහර දුන්නෝය. අකුරැස්සේ එවක එවැනි සිද්ධියකදී විරෝධතාකරුවන් අත්අඩංගුවට ගෙන අකුරැස්ස පොලිසියට ගෙන යද්දී අකුරැස්සේ මන්ත්‍රීවරයා එහි සිටියේය. පොලිසිය තරුණයන්ට පහර දී මන්ත්‍රීවරයාට වඳින්නැයි බල කළේය. 1987දී ජවිපෙ සන්නද්ධ කැරැල්ලක් මෙහෙයවීමට මෙවැනි සිදුවීම් ද බලපෑවේය.
රජයේ සෙසු සේවකයන්ට වසර පනස් පහ ලැබෙනතුරු දීර්ඝ සේවා කාලයක් විශ්‍රාම වැටුප් හිමිකම ලබාගැනීම සඳහා බලා සිටීමට සිදුවී ඇති අතර වසර පහක් වැනි ඉතා කෙටි කාලයක් සේවය කිරීමෙන් පසු මන්ත්‍රීවරුන්ට විශ්‍රාම වැටුප් හිමිවීම මෙරට ජනතාව තුළ දැඩි විරෝධයක් ඇති කිරීමට හේතුවිය. මෙම වරප්‍රසාදය මන්ත්‍රීවරුන්ගෙන් අහිමි කිරීම සඳහා තම රජයක් යටතේ කටයුතු කරන බවට ජාතික ජන බලවේගය ජනතාවට පොරොන්දුවක් දුන්නේය.
1978 නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අනුව සියලු බලතල ඒකරාශී වූයේ ජනාධිපතිවරයා අතටය. එයට පෙර අගමැතිවරයා ආණ්ඩුවේ නායකයා වුවද ඔහු පාලනය කිරීමේ බලය තිබුණේ මන්ත්‍රීවරුන්ටය. එහෙත් නව ක්‍රමය යටතේ මන්ත්‍රීවරු ජනාධිපතිවරයාගේ සිරකරුවන් බවට පත්වූහ. ඔවුන් තමා වටා රඳවා තබා ගැනීම සඳහා විවිධ වරදාන හා වරප්‍රසාද පිරිනැමිණි. වරප්‍රසාද ලබාදී විපක්ෂය පවා හීලෑ කර ගැනීමට ඉන්පසුව හැකි විය. එය ජේ.ආර්ගේ ආණ්ඩු කාලයේත් සිදුවිය. ප්‍රේමදාසගේ ආණ්ඩු කාලයේත් සිදුවිය. චන්ද්‍රිකා එජාපයෙන් බාගයක්ම තම පක්ෂයට බා ගත්තේය. මහින්ද රාජපක්ෂ පක්ෂ කඩා ආණ්ඩු හැදීමට නම් දැරුවේය. ඒ සියලු නායකයන්ගේ සමයේ මන්ත්‍රීවරුන් පිල් පැන්නේ රටේ වාසියට නොව තමන්ගේ වාසියටය. ආණ්ඩුව පවත්වාගෙන යන්නට විපක්ෂ මන්ත්‍රීවරුන් බාගනිද්දී මන්ත්‍රීවරුන් පිල් පනින්නේ මුදලට සහ වරප්‍රසාදවලටය. විපක්ෂය මේ මන්ත්‍රීන් හැඳින්වූයේ වරදාන වරප්‍රසාදවලට යටවූ මන්ත්‍රීවරුන් හැටියටය. එකල ජවිපෙ නායක අනුර දිසානායක දිගින් දිගටම මෙම මන්ත්‍රී සංස්කෘතිය හෙළා දැක්කේය. මේ වනවිට එම මන්ත්‍රී සංස්කෘතිය වෙනස් කිරීමේ කටයුත්තට ජනාධිපතිවරයා ලෙස අනුර දිසානායක අත ගසා තිබේ.
යටත් විජිත සමයේ රජය විසින් පත් කරන ලද මන්ත්‍රීවරුන් පසුකාලීනව ජනතා ඡන්දයෙන් පත් කරන කටයුතු ආරම්භ වූයේ 1921 ඩොනමෝර් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙනි. ඩොනමෝර් කොමිසමට ලැබුණු යෝජනා අනුව ඔවුන් සියලු රටවැසියන්ට ඡන්ද බලය ලබාදීමට යෝජනා කළ අවස්ථාවේ එවකට සිටි ප්‍රභූ සහ උගත් පංතියෙන් කැමැත්ත සහ විරෝධය සම සමව මතුවිය. එවකට සිටි ප්‍රවීණ පුවත්පත් කතුවරයකු වන පියදාස සිරිසේන නව ක්‍රමයෙන් යෝජනා කර තිබූ ඇමැතිවරුන් හා මන්ත්‍රීවරුන් ගැන මෙවැනි විවේචනයක් කළේය.
මේ කොමිෂන් සභාවේ නියමයේ හැටියට මුළු ලක්දිව සියලු කටයුතු කොටස් දහයකට බෙදා ආණ්ඩුවේ ඇමැති තුන් දෙනෙකුත් මහජනයාගෙන් පත්වන ඇමැති තුන් දෙනෙකුත් අතට පමුණුවන්නට කියති. ඒ මහජන ඇමැති හත් දෙනාට පිරිවර වශයෙන් අනිත් මන්ත්‍රීන් හැත්තෑ දෙනා භාර කරති. ඉතින් අපේ අයබදුවලින් ලැබෙන මහා අරමුදල මේ මන්ත්‍රීන් 80 දෙනා කාබාසිනියා කළොත් අපට කුමක් වේද?
පියදාස සිරිසේන නම් විශිෂ්ට පුවත්පත් කලාවේදියා එදා කීවේ මන්ත්‍රීන් අසූ දෙනකු ගැන පමණය. ඔහුගේ කතාවෙන් වසර අනූ හතරකට පසු අද අප කතා කරන්නේ මන්ත්‍රීන් 225ම රටේ ජාතික ධනය කාබාසිනියා කළ බවය. එදා ඇමැතිවරුන් 10 දෙනකුට මෙරට ආදායම භාරදුන් විට එය කාබාසිනියා කරතැයි සිරිසේන බියට පත්විය. අද ඇත්තේ ඒ ප්‍රශ්නයේම වර්ධනය වීමක් නොවන්නේ ද? මෙතෙක් පැවැති ආණ්ඩුවල හැට හැත්තෑ ගණනක් වූ ඇමැති හා නියෝජ්‍ය ඇමැති සනුහරය විසින් කා විනාශ කර දමන ලද්දේ අපගේ බදු මුදලින් ටික ටික එකතු කෙරෙන ජාතික ධනයයි.
රටට මන්ත්‍රීවරුන් විශාල සංඛ්‍යාවක් අවශ්‍ය නොවන බව එකලද කතා බහට ලක් වී ඇත. මෙරට සිටි බර්ගර් ජාතිකයකු වූ අනුරාධපුර හිටපු දිසාපති පසුව මන්ත්‍රීවරයකු ලෙස තේරී පත්වූ එච්.ආර්. ප්‍රීමන් එවැන්නෙකි. ලාංකිකයන්ට වඩා දේශානුරාගයක් ඔහුට තිබිණ. ඩොනමෝර් කොමිසම රාජ්‍ය මන්ත්‍රණ සභාවට මන්ත්‍රීවරුන් 80 දෙනකු පත් කිරීමට යෝජනා කළද ප්‍රීමන් යෝජනා කර ඇත්තේ මේ කුඩා රටට මන්ත්‍රීවරුන් 50 දෙනකු හොඳටම ප්‍රමාණවත් බවය. මේ කුඩා රටේ මන්ත්‍රණ සභාව 50 දෙනකුගෙන් යුක්ත වූ කල ඒ හොඳටම සෑහේ. අපේ රට කුඩා රටකි. මන්ත්‍රීවරුන් ගණන වැඩි වන තරමට වියදමත් අධික වේ. මන්ත්‍රීන් වැඩි වන තරමට රටවාසීන්ගෙන් මහ අරමුදලට (මහා භාණ්ඩාගාරයට) එකතු වන මුදල නිකරුණේ වැයවේ. යනුවෙන් ප්‍රීමන් අදහස් දක්වා ඇත. අද ද අප රටට ඇති ප්‍රධාන ප්‍රශ්නයක් වන්නේ මැති ඇමැතිවරුන්ගේ නඩත්තුවය. එදා මන්ත්‍රීවරුන් ගණන අඩුකර ඔවුන් වෙනුවෙන් මහා භාණ්ඩාගාරයට වන අතිරේක වැය බර අඩු කර ගන්නට හැකි විය.
මන්ත්‍රී විශ්‍රාම වැටුප අහෝසි කළ ආකාරයටම ප්‍රජාතන්ත්‍රවාදී ඉඩ ප්‍රස්ථාවට වඩාත් කැමැති දියුණු මහජනයා බලාපොරොත්තු වූ තවත් යල්පැන ගිය අංග ගණනාවක් මෙරට දේශපාලන භූමියෙන් ඉවත් කිරීමට තිබේ. ඉන් ප්‍රධානම කරුණ විධායක ජනාධිපති ධුරය සහ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවය. මෙම අංග දෙක 1978 දී ව්‍යවස්ථාවට එකතු කළ දා සිටම විරුද්ධ පක්ෂයේ දැඩි විවේචනයට තුඩු දුන්නේය. ආණ්ඩු ගණනාවක්ම බලයට පත්වූයේ විධායක ජනාධිපති ධුරය සහ ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව ඉවත් කරන බව පවසමිනි. 1994 දී චන්ද්‍රිකා කුමාරතුංග බලයට පත්වීමේ සිට 2024 දී අනුර කුමාර දිසානායක බලයට පත්වීම දක්වා ආණ්ඩු කිහිපය්ම එම පොරොන්දු ලබා දුන්නද ඒ කිසිවක් ඉටුවුණේ නැත. වත්මන් ආණ්ඩුව එම පොරොන්දුව ඉටු කරනු ඇතැයි ජනතා බලාපොරොත්තුවයි.
ප්‍රේමකීර්ති රණතුංග

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd