විදේශ ඇමැති, මහජන එක්සත් පෙරමුණේ නායක

දිනේෂ්‍ ගුණවර්ධන 

  • පොහොට්ටු පක්ෂයේ ප්‍රධාන හදවත බැසිල් රාජපක්ෂ මැතිතුමායි   

රටේ නවතම දේශපාලන පෙළගැස්ම සම්බන්ධයෙන් විදේශ ඇමැති මහජන එක්සත් පෙරමුණේ නායක දිනේෂ් ගුණවර්ධන මහතා සමග කළ සාකච්ඡාවකි. 

 

ප්‍රශ්නය:- ඇමැති ගම්මන්පිලට එරෙහි විශ්වාසභංගය නම් ජයග්‍රහණය කළා.   


පිළිතුර:- ඔව්. රජය පිහිටුවීමට ජනතාව දුන් වරමට අනුව පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරුන් 150 කට වඩා පොහොට්ටුවට ඉන්නවා. ඒ වරම ඉදිරියට ගෙනියන්න අපේ ආණ්‍ඩු පක්ෂයේ මන්ත්‍රී කණ්ඩායම එකට ගමන් කරනවා කියන ශක්තිමත් පණිවිඩය තමයි එමගින් ප්‍රකාශ වුණේ. අපට තියෙන වගකීම ජාතිකවත් ජාත්‍යන්තරවත් මුහුණ දෙන කොවිඩ් වසංගතයෙන් රට ගොඩ ගැනීමයි. ඒ අතරතුර තියෙන දුෂ්කරතා හරහා ගමන් කරන්න ආණ්‍ඩුව ශක්තිමත්ව ඉන්නවා කියන පණිවිඩයයි එම ජයග්‍රහණයෙන් ලබා දුන්නේ. ඒ වගේම ගම්මන්පිල ඇමැතිතුමාට එරෙහිව ගෙනෙන ලද විශ්වාසභංග යෝජනාව කිසිදු ගැඹුරු අර්ථයක් නැති විශ්වාසභංග යෝජනාවක්. දේශපාලන යෝජනාවක් පමණයි. ඒ නිසා එය ආරම්භයේ සිටම පරාජයේ ගිලෙමින් තිබූ යෝජනාවක්. 

 
ප්‍රශ්නය:- විශ්වාස භංගයේදී එකට හිටියට අනිත් වෙලාවල්වලදී අපි දකින්නේ පක්ෂ-පක්ෂ කුළල් කා ගන්නවා. එහෙම වෙන්නේ ඇයි?   


පිළිතුර:- පළල්තම එක්සත් පෙරමුණක් මේ බිහිවෙලා තියෙන්නේ. ලංකාවේ මෑත ඉතිහාසයේ මේ තරම් පළල් පෙරමුණක් බිහිවෙලා නෑ. අමාත්‍ය මණ්ඩලයේ සිට පහළට ඒක තියෙනවා. ඒ නිසා එක එක පක්ෂවලත් යම් යම් අනන්‍ය ප්‍රතිපත්ති තියෙනවා. ඒවගේම ජනාධිපතිතුමාගේ සෞභාග්‍යයේ දැක්ම ප්‍රතිපත්ති ප්‍රකාශනයට මුල්තැන දීලා කවුරුත් කටයුතු කරනවා. විවිධ කාරණා සම්බන්ධයෙන් මත ප්‍රකාශ වෙනවා. ඒවා සාකච්ඡා කරනවා. ඒක ඒ පක්ෂවලට තියෙන අයිතියක්. ඒ වගේම ආණ්ඩුව පවත්වාගෙන යාමට ජනතාවට දෙන ලද පොරොන්දුව අනුව කටයුතු කිරීමත් සියලු දෙනාගේ වගකීමයි. යම් කිසි මතයක් කිව්වාම ඒක ජනමාධ්‍ය ලොකුවට දානවනේ. ගැටුමක් කියලා හිතෙන විදියට තමයි දාන්නේ.   


ප්‍රශ්නය:- ආණ්‍ඩුවේ ඉන්න විමල්ට ගම්මන්පිලට පොහොට්ටුවෙන් යම් යම් ප්‍රහාර එල්ල වෙනවා. නමුත් ඔබට එහෙම ප්‍රහාර එල්ලවෙන්නේ නෑ. ඒ අවශ්‍ය මට්ටමට අවනත වෙලා ඉන්න නිසාද?   


පිළිතුර:- අපි කාටවත් අවනතවීමක් නෑ. දේශපාලන ක්‍රියාකාරීත්වයේදී එහෙම අවනතවීමක් මහජන එක්සත් පෙරමුණට අවශ්‍ය නෑ. මහජන එක්සත් පෙරමුණ හා රටේ පැරැණි දේශපාලන පක්ෂ සහාය ආණ්‍ඩු ගොඩනගන්න යු.එන්.පී. ආණ්‍ඩු පලවා හැරලා දේශයේ ආරක්ෂාවට ජන වරමට ලබාගෙන තියෙනවා. එතැනදි ප්‍රධාන නොවන ප්‍රශ්නවලට කතා කරන්න ගියාම ආණ්ඩු දෙදරුම් කනවා. එන ප්‍රමාණයට පමණයි මහවැලියේ වතුර බෙදා හරින්න පුළුවන් වෙන්නේ. ඒකනේ යථාර්ථය. න්‍යායක් අවශ්‍යයයි. යථාර්ථයත් අවශ්‍යයි.   


ප්‍රශ්නය:- ආණ්‍ඩුවේ හවුල්කාර පක්ෂ වෙනම සන්ධානගතවීමක් අපි දැක්කා. හැබැයි ඔබ එතැන නෑ. ඇයි ඒ.   


පිළිතුර:- ආණ්ඩුවේ හවුල්කාර පක්ෂ ගණනාවක් තියෙනවනේ. එක එක ප්‍රශ්න ගැන එක එක පක්ෂ රැස්වෙනවා. සමහර සාකච්ඡාවලදී මහජන එක්සත් පෙරමුණ වැදගත් කොට සලකන කේන්ද්‍රීය ප්‍රශ්නවලදී සාකච්ඡාවලට ගිහින් තියෙනවා. හැම කාරණාවකදීම වෙන වෙනම රැස්වෙන්න ඕන කියන ස්වභාවයකින් කටයුතු කරන්න අපේ පක්ෂය සූදානම් නෑ.   


ප්‍රශ්නය:- පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක බලය තිබුණත් පොළොවේ එහෙම බලයක් නෑ.   

 

පිළිතුර:- ඔබ එහෙම කියන්නේ කොහොමද. මොකක්ද ඒකට තියෙන පදනම? 

 

ප්‍රශ්නය:- ගුරුවරු මහපාරේ. ගොවියෝ උද්ඝෝෂණයේ. නිවුස් බලනකොට රටම සටන් පිටියක් වෙලා.  

 

පිළිතුර:- පාර්ලිමේන්තු බලය හා ජනාධිපති බලය සියයට සියයක්ම නොවෙයිනේ ලැබුණේ. අති මහත් බහුතර ජන වරමක් අපට ලැබුණා. නමුත් සියයට හතළිහක් පමණ අපට විරුද්ධවත් පාවිච්චි වුණා. අවුරුදු ගණනක් බලය භුක්ති වින්ද දේශපාලන බලවේග ගිය ගමන වෙනුවට අලුත් ගමනකට ජනතාව බලය දුන්නා. නමුත් විරුද්ධ බලවේග තවම ක්‍රියාකාරීයි. මහජනයාගේ ප්‍රශ්නවලදී සංවිධාන දක්වන අදහස් ප්‍රජාතන්ත්‍රවාදය තියෙන රටක් හැටියට අපි බොහොම සංවේදියි. එහෙම නැතිව අපට එරෙහි යම් කිසි මතයක් ප්‍රකාශ කළාම හැම වෙලාවේදිම ඒ මතය වැරදියි කියන්නත් බෑ. දේශපාලන නොවන අය යම් යම් හොඳ දේවල් ප්‍රකාශ කළාම ඒ දෙස බලන්න ඕනෑ. දැන් ලෝකය වෙනස් වෙලා. එකම ලෝකයක් නොවෙයි දැන් පවතින්නේ. කොවිඩ් වසංගතයත් සමග ලෝකය මහා පෙරළියකට ලක්වෙලා. ආර්ථික යෝධයන් මොකක්ද ඊළඟට කරන්නේ කියලා බලමින් ඉන්නවා. එක්සත් ජනපදයේ තත්ත්වයත් ඒකමයි. එහෙ ජනාධිපතිවරණ ඡන්ද ප්‍රතිඵලය දෙනකොට සෙනෙට් මණ්‍ඩලයට මහජනයා කඩා පැන්නා. මේ තරු පහේ ප්‍රජාතන්ත්‍රවාදය තියෙනවා කියන රටේ මේ කාල පරිච්ඡේද විශාල අභියෝග පෙරළිවලට මුහුණ දෙනවා. නිෂ්පාදනයෙ සිට පරිභෝජනය දක්වා ලෝකය තර්ජනයට ලක් කරලා තියෙන්නේ. ඒ තුළත් අපේ රජයට හැකිවී තිබෙනවා බොහොම පරිස්සමින් යම් යම් පිරිස්වලට බැරි අමාරුකම් ඇති. නමුත් පියවරෙන් පියවර මේ අගාධයෙන් රට ගොඩනගන්න කටයුතු කරනවා.  


ප්‍රශ්නය:-  බැසිල් රාජක්ෂ මුදල් ඇමැතිකමට ගේන්නේ ජනාධිපති ගෝඨාභයටත් අගමැති මහින්දටවත් වැඩේ ගොඩදාන්න බැරි නිසා.  


පිළිතුර:- බැසිල් රාජපක්ෂ මැතිතුමා පාර්ලිමේන්තුවට පැමිණීම තව එක අඩියක් ඒ පක්ෂය වෙනුවෙන් ඉදිරියට තැබීමක්. බැසිල් රාජපක්ෂ මැතිතුමා තමයි පොහොට්ටුව පක්ෂයේ ප්‍රධාන හදවත. කිසිවකුට එය නැහැ කියන්න බෑ. පසුගිය කාලයේදී එතුමා කරපු වැඩ නිසා තමයි පොහොට්ටුව මෙතරම් බලගතු බලවේගයක් බවට පත් වුණේ. මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ ආශීර්වාදයත් එයට හිමි වුණා. එතුමාට වැඩ කළ හැකි නිසා පසුගිය කාලයේදී එතුමා විශේෂ ජනාධිපති කාර්ය සාධක බළකා දෙකක ප්‍රධානියා හැටියට වැඩ කළා. පක්ෂයෙ තීරණයක් අනුව එතුමා පාර්ලිමේන්තුවට ආවා. මුදල් ඇමැති වුණා. දැන් අපි එකටනේ වැඩ කරන්නේ. 

 
ප්‍රශ්නය:- අමාත්‍ය මණ්‍ඩල සංශෝධනයක් එන බව කියැවෙනවා.   


පිළිතුර:- ඇමැති මණ්ඩලය සංශෝධනය කළ හැක්කේ ජනාධිපතිතුමාට විතරයි. දැන් තියෙන ව්‍යවස්ථාව අනුව ඒ සඳහා වන සම්පූර්ණ බලතල ජනාධිපතිතුමාට පැවරී තිබුණා. ඒ අනුව එතුමාට එය කළ හැකියි. මේක සෑම ආණ්‍ඩු කාලයකදිම සිද්ධ වෙනවා. ලංකාවේ අපි මැරිලා ඉපදිලා නෑනේ. ලංකාවේ දේශපාලනඥයොත් විචාරකයොත් මැරිලා ඉපදුන අය නොවිය යුතුයි. බ්‍රිතාන්‍ය යුගයේදී පවා සර් බාරොන් ජයතිලක මැතිතුමා මහා මාත්‍යවරයා ලෙස හිටපු ඇමැතිවරුන් විටින් විට වෙනස් වෙලා තියෙනවා. සමහර අයව ඉවත් කරලා තියෙනවා. තව සමහර අය ඉවත් වෙලා ගිහින් තියෙනවා. එහෙම නැති එක ආණ්ඩුවක් කියන්න. ඒ අනුව ඇමැති මණ්‍ඩලය සංශෝධනය කිරීමේ බලය ජනාධිපතිතුමාට තියෙනවා. 

 
ප්‍රශ්නය:-  වෙනස්වන අමාත්‍යාංශ අතර ඔබේ අමාත්‍යාංශයත් තියෙන බවට ප්‍රවෘත්ති පළවුණා.  


පිළිතුර:- ප්‍රවෘත්ති පළ කරන්නේ ඔබතුමන්ලානේ. ඔබලාට ඕනෑනම් ඇමැතිවරයෙක් ගැන ඕනෑ තරම් ප්‍රවෘත්ති පළ කරන්න පුළුවන්. රටේ ලෝකයෙ තියෙන හැම ප්‍රවෘත්තියකටම උත්තර දෙන්න කාලය ගැනීම විදේශ අමාත්‍යවරයාගේ වගකීම නොවෙයි. විදේශ අමාත්‍යධුරය ජාත්‍යන්තර වගකීමක්. ඒ නිසා දවසෙන් දවසට එන ප්‍රවෘත්ති වලට උත්තර දීම මම හිතන්නේ කිසිම බරපතළ අමාත්‍යාංශයක් බාර කෙනෙක් කළ යුතු දෙයක් නොවෙයි. 

 
ප්‍රශ්නය:- තනි සිංහල බෞද්ධ ආණ්‍ඩුවක් කියාගෙන ගිහින් අපට ජාත්‍යන්තරය දිනාගන්න පුළුවන්ද?  


පිළිතුර:- සිංහල අති මහත් බහුතරයක් ජීවත් වන, බහුතරයක් බෞද්ධ ජනතාවක් ජීවත් වන රටක් වගේම දෙමළ ජනතාව හා මුස්ලිම් ජනතාව ජීවත්වන රටක් මේක. එහෙම රටක් ගොඩනගන්න අපට තියෙන ප්‍රතිපත්ති ශක්තිමත්. අපි බහුතරයක් සිංහල බෞද්ධ වුණාට ඒක තව ජන වර්ගයකට එරෙහිව යොදා ගන්නා මෙවළමක් නොවෙයි. ඉන්දියාව නිදහස ගන්නකොට දෙකට බෙදනවා. ඉස්ලාමීය රාජ්‍යයක් ඕන කිව්වාම පාකිස්තානය වෙන් කළා. නොබැඳි සමුළුව තියනකොට නොතිබුණු නිදහස් රටවල් අද තියෙනවා. අලුතෙන් රාජ්‍යයන් බවට පත්වෙච්ච රටවල් තියෙනවා. ඒ ඒ රටවලට ආවේණික අනන්‍යතාමතයි ගොඩනැගෙන්නේ. ඒ පදනම ආර්ථික පදනම නොවෙයි. ලෝකයෙ හැම ජාතියක්ම අඩියෙන් අඩිය ඉස්සරහට යනකොට මුහුණ දෙන තත්ත්වයයි. අපට සටන තිබුණේ අවි අතට ගත්ත ම්ලේච්ඡ කොටි සංවිධානය සමගයි. ඒ බිහිසුණු යුගය අවසන් කරන්න මහින්ද රාජපක්ෂ රජයට හැකි වුණා. අද රටේ ත්‍රස්තවාදයක් නෑනේ. ත්‍රස්තවාදය තිබුණ කාලය අපට මතක නැති විදියට ජීවත් වෙන්න පුළුවන්.  


ප්‍රශ්නය:- මගේ ප්‍රශ්නය වුණේ තනි සිංහල බෞද්ධ රටක්.  


පිළිතුර:- පොඩ්ඩක් ඉන්න. මම එන්නේ එතැනටයි. අද දෙවුන්දරතුඩුවේ මිනිසාට හා පේදුරුතුඩුවේ මිනිසාට එකම අයිතිවාසිකම් මෙන්ම එකම දියුණුවකට තියෙන මග භුක්ති විඳිනවා. එහෙම නෑ කියලා එහෙන් මෙහෙන් කියනවා. නමුත් සත්‍යනම් සෑම පුරවැසියකුටම සමාන අයිතිවාසිකම් තියෙනවා. හතර පෝයට මේ රටේ ජනතාව විහාරස්ථානවලට ගිය රටක් බව ඉතිහාසයේ නිවැරදිව සඳහන් වෙනවා. තව සුමාන තුනකින් රටේ යහපත් තත්ත්වයක් තිබුණා නම් කන්ද උඩරට දළදා වහන්සේ දළදා පෙරහැරෙන් එළියට වඩිනවා. එතැනට එන්නේ බෞද්ධයන් පමණක් නොවෙයිනේ. අන්‍යාගමිකයන් එනවා. විදේශිකයන් ඒ වෙනුවෙන්ම එනවා. හින්දු කෝවිලක උත්සවයක් තිබුණොත් ඒ පළාතේ හැම කෙනෙක්ම යනවා. අපේ රටේ එහෙම බේදයක් නෑ. දැන් අපට චෝදනා කරපු අය දන්නවා ජනාධිපතිතුමා මානව හිමිකම් කොමිසමක් පත් කරනවා කියලා මම ජිනීවාවලදී පොරොන්දු වුණා. සමහරු කිව්වා ඒක බොරුවක්, කෙරෙන්නේ නෑ කියලා. නමුත් අපි කොමිසම පත් කරලා හය මාසෙක කාල සීමාවෙන් පස්සෙ පළමු වාර්තාව පසුගියදා බාර දුන්නා. ත්‍රස්තවාදය වැළැක්වීමේ පනතේ යම් යම් සංශෝධන කිරීම උචිතයි කියලා ඒ වාර්තාවේ තියෙනවා.  


ප්‍රශ්නය:- ජිනීවා මානව හිමිකම් කොමිසම ඉල්ලන්නේ ත්‍රස්තවාදය වැළැක්වීමේ පනතේ තියෙන මානව ගරුත්වයට හානිකර කොටස් ඉවත් කරන්න කියලයි.  


පිළිතුර:- අපි පත් කරපු කොමිසමේ සභාපතිවරයා ඉදිරිපත් කරලා තියෙන නිර්දේශවලට අනුව රජය එකඟයි. ඒකට රජය කැමැති නිසානේ කොමිසන් සභාවක් පත් කළේ. ඒකට නීති හදන්න කැබිනට් මණ්‍ඩලය අනු කොමිටියක් පත් කළා. ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත අහෝසි කරන බවට දිවුරපු පසුගිය ආණ්ඩුවත් කළේ නැහැනේ. අන්තිම කාලයේ ඔවුන්ටම ඒක පාවිච්චි කරන්න වුණා පාස්කු ප්‍රහාරයන්ට එරෙහිව ක්‍රියා මාර්ග ගන්න. ඒතරම් දරුණු ප්‍රහාරයකදී ක්‍රියාත්මක වෙන්න මොනවද තියෙන නීතිමය ප්‍රතිපාදන. නමුත් යම් යම් වගන්ති ඉවත් කරන්න අවශ්‍යයි කියන කාරණය පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් හැටියට මුල් කාලේ ඉඳලාම පිළිගන්නවා. මම මේක පාර්ලිමේන්තුව ඇතුළේ කියලා තියෙනවා. ප්‍රති පක්ෂයෙ ඉන්න මන්ත්‍රීවරුන් පවා අපි එකට ඉඳගෙන කාරක සභාවල මේක හදන්න උත්සාහ කළා.  


ප්‍රශ්නය:- නමුත් වැඩේ කෙරුණේ නෑ.  


පිළිතුර:- ඔව් වැඩේ කෙරුණේ නෑ. අපි විතරක් නොවෙයි. අද විපක්ෂයෙ ඉන්න මන්ත්‍රීවරුයි අද ආණ්ඩුවේ ඉන්න මන්ත්‍රීවරුයි එකතු වෙලා ඒ වගන්ති සැර වැඩියි කියලා කියපු නිසා ඒ සාකච්ඡා කල් ගියා. නමුත් අපි දැන් ඒ පනතේ වගන්ති වෙනස් කරනවා. ජාත්‍යන්තරයෙ තියෙන යම් යම් ස්ථාවරයන් ඒකට බලපෑවා. මේක ජේ.ආර්. ජයවර්ධන ජනාධිපතිතුමාගේ කාලයේ ගෙනාවේ තාවකාලික පනතක් විදියට. නමුත් ඒක කොටි සටන නිසා ස්ථිර වුණා. රට ඉදිරියට යනකොට යම් යම් නීති රීති පාර්ලිමේන්තුව මගින් වෙනස් කරන්න ඕනෑ.  


ප්‍රශ්නය:-  අද අපරාධ සම්බන්ධයෙන් ජාත්‍යන්තරයේ ඉල්ලා සිටින මට්ටමෙන් යමක් තවමත් සිද්ධ වුණේ නෑ.

  
පිළිතුර:- එතැන නෑ කියලා කියන්නේ කොහොමද? දැනට නවාස් කොමිසම බොහෝ දෙනා ළඟට ගිහින් සාක්ෂි විමසලා තියෙනවා. ජන මාධ්‍ය වලින් මේක හරියට කියන්නේ නැති වුණාට ශ්‍රේෂ්‍ඨාධිකරණ විනිශ්චයකාරවරුන්ගේ ප්‍රධානත්වයෙන් කොමිසමක් පත් කළා. අපි ජාත්‍යන්තරයට කියන්නේ අපේ රටේ ව්‍යවස්ථාවට අනුව අපි රටේ උසස්ම අධිකරණය ශ්‍රේෂ්ඨාධිකරණයයි. එහි විනිශ්චයකාරතුමෙක්ගෙන් සමන්විත කොමිසමකින් මේ කටයුතු හොයා බලන්න අපි එකඟයි කියලා. එහෙම නැතිව විදේශ නඩුකාරයන්ගෙන් සමන්විත යුද අධිකරණයකින් කරුණු සොයන්න කියලා ඒ ගොල්ලො කියපු දේ අපේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුව ඉඩක් නෑ.  


ප්‍රශ්නය:- ආණ්‍ඩුව පත් කරපු සමහරු තානාපතිවරුන් තාම ගිහින් නෑ. ඒක රාජ්‍ය තාන්ත්‍රික කටයුතුවලට බාධාවක් නොවෙයිද?  


පිළිතුර:- ජනාධිපතිතුමා තානාපතිවරයෙක් පත් කරන්නේ රජය නියෝජනය කිරීමටයි. තානාපතිවරයෙක් අපි පත්කළාම එයාට එහෙට යන්න ඒ රට කැමැති වෙන්න ඕනෑ. සමහර රටවල් අපි පත් කරපු කෙනාට එකඟ නෑ. ඕක රාජ්‍ය තාන්ත්‍රික මට්ටමින් අපට විසඳගන්න තියෙනවා. සමහර අය පත්කරලා ඒ රට එකඟ වෙලත් නොයන අයත් ඉන්නවා. ඉතින් ඒ අය මං හිතන්නේ නෑ ජනාධිපතිතුමා හා රජය වෙනුවෙන් ශ්‍රී ලංකා රාජ්‍යයේ ගැඹුර අවබෝධ කරගත් අය කියලා. එහෙම දඩබ්බරව නොයන අය ඉන්නවා නම් කවුරුහරි ඒක වැරදියි. ඇමැතිවරයා හැටියට මම කියනවා ඒක වැරදියි කියලා. එයා යන්න ඕන. කී දෙනෙක් ගියාද? සමහරු අසනීප වුණා. ඇෆ්ගනිස්ථානයෙ හිටපු අපේ දෙවැනියා කොරෝනාවලට ගොදුරුවෙලා ජීවිතය නැතිවුණා. තව රටවල් ගණනාවක අය අසනීප වුණා. ඒත් දාලා ඇවිත් නෑ. තමන්ගේ රට නියෝජනය කිරීමට ඔවුන් කැප වෙලා ඉන්නවා. අපේ මහාචාර්ය නලින්ද සිල්වා මැතිතුමා රෝගාතුර වෙලා ඉන්නේ.  


ප්‍රශ්නය:- මියන්මාරයේ තානාපති නලින්ද සිල්වා කිව්වා ‘‘මට කරන්න කිසි වැඩක් නෑ’’ කියලා.  


පිළිතුර:- එහෙම කිව්වට එතුමා ඇවිත් ආපහු ගියානේ. වැඩක් නැති වුණාට එතුමා තානාපති හැටියට ඉන්නවනේ. පත් කළාම යන්න ඕනෑ. ​නොගියොත් පත්වීම අවලංගු වුණු බවට සලකන්න වෙනවා.  


ප්‍රශ්නය:-  ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ඉඟි කළා දෙවැනි වාරයටත් ඉදිරිපත් වෙනවා කියලා.  


පිළිතුර:- ජනාධිපතිතුමා කල්පනා කරලා බලලා කරල තියෙන ප්‍රකාශයක්නේ.  


ප්‍රශ්නය:- ඔබත් දෙගිඩියාවෙන් ඉන්න ඇත්තේ කවුරු එයිද කියලා.  


පිළිතුර:- මෙහෙමයි. එතුමාට දෙවැනි වරටත් ඉදිරිපත්වීමට හැකි වගන්ති අපේ ව්‍යවස්ථාවේ තියෙනවා. ඕක එතුමාත් පත්වෙන කෙනාත් දන්නවා. රටත් දන්නවා. එහෙම නෑ කියලා අපේ ප්‍රතිපාක්ෂිකයෝ කියන්න ඇති. නමුත් ව්‍යවස්ථාවේ ප්‍රතිපාදන තියෙනවා. ඩී.බී. විජේතුංග මැතිතුමයි මෛත්‍රීපාල සිරිසේන මැතිතුමයි තමයි දෙවැනිවර ඉදිරිපත් නොවුණේ. අපේ රටේ ජනාධිපතිධුරයට පමණයි වාර දෙකක් කියලා සීමා කරලා තියෙන්නේ. අගමැතිධුරයට එහෙම නෑ. රටේ බරපතළ තත්ත්වය අවබෝධ කරගෙන ඒ ඉඟිය දෙන්න ඇති.  

 

 

 

සාකච්ඡා කළේ 
ප්‍රසන්න සංජීව තෙන්නකෝන්   ​