ඩොලර් සහ ඉන්ධන ප්‍රශ්නය කැබිනට්ටුවට

ඇමැති මණ්ඩල රැස්වීම හෙවත් කැබිනට් රැස්වීමේ දී ඉකුත් සතියේ දීර්ඝ වශයෙන් සාකච්ඡා වූයේ ඉන්ධන ප්‍රශ්නය සහ ඩොලර් ප්‍රශ්නය පිළිබඳවය. ජනාධිපතිවරයා ඒ ගැන ඇමැතිවරුන්ට පැහැදිලි කිරීමක් සිදු කළේය.

මැද පෙරදිග යුද්ධය නිසයි මේ ප්‍රශ්නය උද්ගත වුණේ. අපිට රුපියල් පිළිබඳ ප්‍රශ්නයක් නෑ. රුපියල් සංචිතය වර්ධනය වෙලා. ඒත් ඩොලර් සංචිතයේ අඩුවක් තිබෙනවා. ඩොලරය නැගීම නිසා අපේ  ආනයන වියදම හොඳටම ඉහළ ගිහින්. අප්‍රේල් මාසයේ ආනයන වියදම ඩොලර් බිලියන දෙකක් ඉක්මවා ගියා.’’ ජනාධිපති අනුර කුමාර දිසානායක කියා සිටියේය.

වාහනවලට බදු පනවපු එකත් හොඳයි කියල මතයක් තිබෙනවා.’’ ඇමැති සමන්ත විද්‍යාරත්න කීවේය.

ඔව් ඒක තමයි වාහන අධිභාරය ඉහළ දැම්මේ. ඩොලර් ටික ආරක්ෂා කරන්න.’’ ජනාධිපතිවරයා කීවේය. කලාපයේ සෙසු රටවල් සමග සසඳන විට මෙරට තත්ත්වය සතුටුදායක බවත් ඉන්දියාව දැඩි විදේශ විනිමය පාලනයක සිටින බවත් ඇමැතිවරුන් අතර කතාබහට ලක්විය. සංචාරකයන්ගේ පැමිණීමේ අඩුවක් ඇති බවත් ඉදිරි මාස හතරක් පමණ ගත වූ පසු මෙම තත්ත්වය යහපත් අතට හැරෙනු ඇති බවත් ඇමැතිවරුන් අතර සාකච්ඡාවට ලක්විය. 

අපි මේ ටික කියන්න ඕනෑ. මොනයම් හේතුවක් නිසාවත් අපි තෙල් හිඟයක් ඇති වෙන්න දෙන්නෙ නෑ. ඒ වගේම විදුලිය කපන්නෙ නෑ. ​පොහොර සහ බෙහෙත් හිඟයක් ඇති වෙන්න දෙන්නෙත් නෑ. මිල යම් පමණකින් වැඩි වුණත් මේ වර්ග හතර හිඟයකින් තොරව තියාගන්න එකයි අපේ රජයේ ප්‍රතිපත්තිය. ජනාධිපතිවරයා කියා සිටියේය. ජනාධිපතිවරයා තවදුරටත් කියා සිටියේ මෙම අවස්ථාවේ මෙරටට හැකි තරම් ආයෝජකයන් ගෙන්වා ගැනීමට කටයුතු කළ යුතු බවය.

දින බාගයටත් වතු කම්කරු දීමනාවක්

වතුකම්කරු වැටුප් වැඩි කිරීමේ කටයුත්ත ගැන පසුවිපරමක් කිරීමට මෙම කැබිනට් රැස්වීමේ දී කටයුතු කෙරිණි. වතු සමාගම් වැටුප් වැඩිකිරීමේ දී එක් දිනයක් සඳහා රුපියල් හාරසීයක් ගෙවන අතර දින භාගයක් වැඩ කළ හොත් මුදලක් නොලැබේ. ඇමැති සමන්ත විද්‍යාරත්න කියා සිටියේ දින භාගයක් වැඩකරන වතු කම්කරුවන්ට රුපියල් දෙසීයක මුදලක් ලබාදීම සම්බන්ධයෙන් වතු සමාගම් සමග සාකච්ඡාවක් මේ දිනවල පවත්වමින් සිටින බවය. රජය සතු තේ සහ රබර් වතුවල කම්කරුවන්ටත් මෙම වැඩි කළ දිනක වැටුප ලබාදිය හැකිදැයි සලකා බලාගෙන යන බවද ඇමැතිවරයා පැවසීය. එහිදී දිනක මුළු වැටුපම රජයට දරන්නට සිදුවන නිසා නිලධාරීන් සමග දීර්ඝ සාකච්ඡාවක් පවතින බවද වැවිලි ඇමැතිවරයා ඇමැතිවරුන් දැනුවත් කළේය.

වගා ව්‍යාපෘති තුනකට පණ දෙයි

බදුල්ල දිස්ත්‍රික්කයේ දිට්වා විපතින් හානියට පත් වූ මහා මාර්ග තුනක ප්‍රතිසංස්කරණ කටයුතු ඉකුත් සතියේ ආරම්භ වූයේ වැවිලි කර්මාන්ත ඇමැති සමන්ත විද්‍යාරත්නගේ ප්‍රධානත්වයෙනි. ඌව පරණගම ඌමා ඇළ ව්‍යාපාරය ප්‍රතිසංස්කරණයට රුපියල් මිලියන 228 ක මුදලක් ද බදුලු ඔය ව්‍යාපාරය ප්‍රතිසංස්කරණයට රුපියල් මිලියන 334 ක් හා බත්මැඩිල්ල ව්‍යාපාරය ප්‍රතිසංස්කරණයට රුපියල් මිලියන 130ක් ද වෙන්කර ඇත.

ආරෝග්‍යා සුවතා මධ්‍යස්ථාන

රෝහල් කරා එන රෝගීන් ප්‍රමාණය අඩුකිරීම සඳහා ග්‍රාමීය මට්ටමින් ආරෝග්‍යා සුවතා මධ්‍යස්ථාන ආරම්භ කිරීමට සෞඛ්‍ය අමාත්‍යාංශය කටයුතු යොදා ඇත. මෙම මධ්‍යස්ථානවලට වෛද්‍යවරයෙක්, හෙද නිලධාරීන් ඇතුළු අටදෙනකුගෙන් යුතු කාර්ය මණ්ඩලයක් ද පත්කර ඇත. වෛද්‍යවරයා එම ප්‍රදේශයේ ජනතාවගේ පවුලේ වෛද්‍යවරයා ලෙස ද කටයුතු කරන බවත් එමගින් රෝහල් කරා එන රෝගීන් ප්‍රමාණය අඩුවී රෝහල්වල පහසුකම් වැඩි වන බවත් රජය කියයි.

තේ මංගල්‍යය නවවැනි වතාවටත්

අලුත් වී අස්වැන්නෙන් කිරි ආහාර පුදන අලුත් සහල් මංගල්‍යය මෙරට සුවිශේෂී අස්වනු නෙළන මංගල්‍යයකි. වැවිලි කර්මාන්ත අමාත්‍යංශය එවැනි තවත් සුවිශේෂී මංගල්‍යයක් ‘‘තේ මංගල්‍යය’’ නමින් පවත්වාගෙන එයි. අප්‍රේල් මාසයේ නෙළන නැවුම් තේ දළුවල අස්වැන්න දළදා වහන්සේට පූජා කරන තේ මංගල්‍ය ඉකුත් සතියේ පැවැත් වුණේ වැවිලි කර්මාන්ත ඇමැති සමන්ත විද්‍යාරත්නගේ මූලිකත්වයෙනි. ඇමැතිවරයා සහ අමාත්‍යාංශ නිලධාරීහු නැවුම් තේ අස්වැන්න දළදා වහන්සේට පූජා කර ඉන්පසු මල්වතු සහ අස්ගිරි මහනායක මාහිමිවරුන් ද බැහැ දැක ආශීර්වාද ලබා ගත්හ.
‘‘තේ කියන්නෙ ලංකාවේ ආර්ථිකයට විදේශ විනිමය ගේන්න ප්‍රධාන දායකත්වයක් දෙන වැවිල්ලක්. ගිය වසරේත් ඩොලර් බිලියන එක පැනපු මුදලක් තේ අපනයනයෙන් ලැබුණා. අපේ රටේ නෙළන තේ අස්වැන්නෙන් සියයට අනූපහක්ම අපනයනය කරනවා. තේ වගාවට දායක වෙන මලයගම් ප්‍රජාව ඇතුළු සියලු ශ්‍රමිකයන්ට මෙයින් ආශීර්වාදයක් වේවා’’ ඇමැති සමන්ත විද්‍යාරත්න දළදා මාලිගාවේ දී කියා සිටියේය.

පෝට් සිටි සංගීත සාද ගැන පැමිණිල්ලක්

කොළඹ වීදිය ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටු රැස්වීම ඉකුත් සතියේ පැවැත්වුණේ නියෝජ්‍ය ඇමැති සුනිල් වටගලගේ ප්‍රධානත්වයෙනි. එහිදී මතු වූ එක් ප්‍රශ්නයක් වූයේ වරාය නගරයේ පවත්වන සංගීත සංදර්ශනවලින් අධික ශබ්දයක් නැගෙන බවට ලැබී තිබූ පැමිණිල්ලය.

අධිකරණ තීන්දුවක් තියෙන නිසා රටේ සියලු සංගීත සංදර්ශනවල ශබ්දය රාත්‍රී දහයට නතර කරන්න ඕනෑ. මේක ශබ්දවාහිනිවලට තියෙන නීතියකි. ඒත් කොළඹ පෝට් සිටියේ සංගීත සංදර්ශන තියෙන්නේ ඈත වෙරළෙ ඉඳල නේවාසික ප්‍රදේශවලට කිලෝමීටර් දෙකක් විතර දුරයි. පවතින නීතිය නිසා පොලිසිය රෑ දහයට සංදර්ශන නතර කරනවා. ඒත් විදේශීය ගායකයො වේදිකාවට නගින්නෙම රාත්‍රී දොළහෙන් පස්සෙ. මෙතන හරි ගැටලුවක් තියෙනවා. අපිට දැන් මේ ඇවිත් තියෙන ඉල්ලීමත් ප්‍රසංග පවත්වන වේලාව දීර්ඝ කරල දෙන්න පුළුවන්ද කියලනෙ. අපි මේ ගැටලුව අගමැතිතුමියගෙ මූලිකත්වයෙන් තියෙන දිස්ත්‍රික් සංවර්ධන කමිටුවට යොමු කරමු. ස්ථිර තීන්දුවක් ගන්න එතෙක් අපි පළාත් භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිට යොමු කරමු. ඒ තීන්දුව ගන්නකම් අදාළ කරුණු සොයා බලා තාවකාලිකව දෙන්න පුළුවන් සහන ලබා දෙන්න කියලා’’ නියෝජ්‍ය ඇමැති වටගල එහිදී පැවසීය. පෝට් සිටි වෙරළ තීරය සංචාරක කලාපයක් නිසා සංචාරකයන් ගෙන්වාගැනීමට මෙවැනි නීති නිසා ඇතිවන බලපෑම ද එහිදී සාකච්ඡාවට ලක්විය. එහිදී තවදුරටත් හෙළි වූයේ මේ වන විට ‘‘වෙරළ සාද’’ හෙවත් බීච් පාටි පැවැත්වීම සම්පූර්ණයෙන්ම නතර කර ඇති බවය. සංචාරක හෝටල්වලට තම සීමාව තුළ සාද පැවැත්විය හැකි අතර එහෙත් වෙරළේ සාද පැවැත්විය නොහැකිය. පෝට් සිටි වෙරළ තීරය රටින් පිටත පවතින නිසා එහි සංචාරක ආකර්ශනය නැංවීම සඳහා මෙවැනි සාද පැවැත්වීමට අවසර දිය හැකිදැයි මේ වන විට රජය  සොයා බලාගෙන යයි.

ගම් දහසක වැඩ දහසක්

දිළිඳුකම තුරන් කිරීම සඳහා ප්‍රේමදාස ජනාධිපතිවරයාගේ රජය ජනසවිය හඳුන්වා දුන්නේය. චන්ද්‍රිකා කුමාරතුංග රජය එම වැඩසටහනම සමෘද්ධි ලෙස ක්‍රියාත්මක කළේය. රනිල් ජනපති වූ පසු අස්වැසුම ගෙන ආවේය. වත්මන් රජයේ දිළිඳුකම පිටුදකින ව්‍යාපෘතිය හඳුන්වා දී ඇත්තේ ප්‍රජා ශක්ති යනුවෙනි.

ප්‍රජා ශක්ති දිළිඳු බව තුරන් කිරීමේ ව්‍යාපාරයට සමගාමීව ක්‍රියාත්මක වන ‘‘ගම් දහසක වැඩ දහසක්’’ වැඩ සටහනට රුපියල් මිලියන 25000 ක් තරම් විශාල මුදලක් වෙන් කර තිබේ. රට පුරා සියලුම දිස්ත්‍රික්ක ආවරණය කරමින් සෑම  ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයකටම එක් ව්‍යාපෘතියක් හෝ ක්‍රියාත්මක කිරීමට මෙමගින් සැලසුම් කර ඇත. ප්‍රජා ශක්ති ජනසභා නමැති මාලිමා රජය මගින් පිහිට වූ ආයතන මගින් මෙවැනි ව්‍යාපෘති විසිහතර දහසක් පමණ යෝජනා කර ඇති අතර එයින් තෝරාගත් දහසක් මේ වසර තුළ ක්‍රියාත්මක කිරීමට නියමිතය.

ඒ අතර ක්ලීන් ශ්‍රී ලංකා වැඩ සටහනේ මූල්‍ය දායකත්වයෙන් ප්‍රවාහන මහාමාර්ග හා නාගරික සංවර්ධන අමාත්‍යංශය ‘‘මිතුරු පුරවර’’ නමින් කුඩා නගර විසිපහක් සංවර්ධනය කිරීමේ වැඩසටහනක් ද ආරම්භ කර ඇත.

ශ්‍රී ලංකා නාවික හමුදාවේ දුරස්ථ මුහුදු මෙහෙයුම් හැකියාව ශක්තිමත් කිරීම සඳහා ඇමරිකා එක්සත් ජනපදයෙන් ත්‍යාග ලෙස ලැබුණු ගැඹුරු මුහුදු ආවේක්ෂණ නෞකාව පී 628 අංකය යටතේ නාවික හමුදාවට එක් කිරීම ද ඉකුත් 5 වැනිදා ජනාධිපතිවරයා අතින් සිදුවිය.

අධිකරණ ක්ෂේත්‍රය ගැන විපක්ෂය කැලඹෙයි

විනිසුරුවරුන්ගේ විශ්‍රාම ලබන වයස් සීමාව දිගු කිරීමට රජය කටයුතු කරන බවත් මෙම උත්සාහය පැහැදිලිවම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝනය කිරීමක් බවත් විපක්ෂයේ බොහෝ පක්ෂ ඉකුත් සතියේ ප්‍රකාශ කළේය. විපක්ෂය ප්‍රධාන සටන් පාඨයක් බවට පත් කරගත් මෙම තත්ත්වය උද්ගත වූයේ අධිකරණ සේවා සංගමයේ නිලධාරීන් පිරිසක් සමග ජනාධිපතිවරයා පැවසූ බවට වාර්තා වූ ප්‍රකාශයක් නිසාය. ජුනි මස 1 වැනිදා පැවැති එම සාකච්ඡාවට පෙර ජනාධිපතිවරයා පවසා ඇති බවට මාධ්‍ය තුළ වාර්තා වී තිබුණේ. අගවිනිසුරු ඇතුළු ඉහළ අධිකරණ විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස ස්ථිර වශයෙන්ම දිගු කරන බවය. අධිකරණ සේවා නිලධාරීන්ගේ වෘත්තීය ගැටලු සම්බන්ධ සාකච්ඡාවක් සඳහා ජනාධිපතිවරයා සමග මෙම සාකච්ඡාව පැවැත්වී තිබේ.

විනිසුරුවරුන්ගේ රාජකාරි වයස් සීමාව දිගු කිරීම සඳහා ආණ්ඩුව දරන උත්සාහයට තම විරෝධය දක්වා එජාපය ද සජබයද වහාම නිවේදන නිකුත් කළේය.

ව්‍යවස්ථාව කැඩීමක්

සජබ නායක සජිත් ප්‍රේමදාස මහලේකම් රංජිත් මද්දුම බණ්ඩාර ඇතුළු ජ්‍යෙෂ්ඨ නායකයන් මෙම තත්ත්වය ගැන සාකච්ඡා කළ අතර එහිදී තීන්දු වූයේ මෙම වෑයමට වහාම තම පක්ෂයේ විරෝධය පළකළ යුතු බවය. මෙම තත්ත්වය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝනය කිරීමක් බව සජබයේ මතය විය. උපරිමාධිකරණ විනිසුරුතුමන්ලාගේ විශ්‍රාම ගැන්වීමේ වයස් සීමාව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් නියම කරන ලද්දක් බව කියන සජබය එහි වෙනසක් හෝ සංශෝධනයක් කළ හැක්කේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට කරනු ලබන සංශෝධනයකින් පමණක් බව ජනාධිපතිවරයා ප්‍රමුඛ ආණ්ඩුව නොදැන සිටීම පුදුමයට කරුණක් බවද සඳහන් කරයි.

සජබ නායකයන් අතර කතා බහ වී ඇත්තේ ආණ්ඩුව උපරිමාධිකරණ ඇතුළු ඉහළ අධිකරණවල විනිශ්චයකාරතුමන්ලාගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දිගු කිරීමට උත්සාහ  කරන බවය. මේ සම්බන්ධ රජය හෝ අධිකරණ අමාත්‍යාංශය කිසිම මතයක් පළකර නැති බවද සඳහන් කළ යුතුය. 
ශ්‍රී ලංකා නීතිඥ සංගමය ද රජය උත්සාහ කරන ක්‍රියා පිළිවෙත ගැන තම විරෝධය පළ කළේය. නීතිඥ දයාසිරි ජයසේකර සහ ජනාධිපති නීතිඥ ෆයිසර් මුස්තාපා ද  විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස හමුවී ඉකුත් බදාදා යෝජනා කළේ සියලු පක්ෂ නායකයන් එකතු කර මේ සම්බනධයෙන් විරෝධය පළකළ යුතු බවටය. සියලු පක්ෂ  නායකයන්ගෙන් යුතු කමිටුවක් පත්කර රජයෙන් මෙම වැඩපිළිවෙලට එරෙහිව කටයුතු කරන බව විපක්ෂනායක සජිත් එහිදී කීවේය. 

විපක්ෂය එකතු කළ නාලන්දාරාම සාකච්ඡාව

රට යන අත නිවැරදි ද? රජයට ආර්ථික කළමනාකරණය කරගත හැකි ද? රජය නීතියේ ආධිපත්‍යයෙන් තොර මර්දනකාරී ගමනකට සැරසෙන්නේ ද විපක්ෂයේ පක්ෂ ගණනාවක්ම ඉකුත් දිනවල වරින් වර මේ ගැන සාකච්ඡා කළ අතර මේ සම්බන්ධ පොදු  එකඟතාවකට පැමිණීමට විපක්ෂය මේ වනවිට සමත්ව සිටියි. ඒ අනුව ඉකුත් බදාදා නුගේගොඩ  නාලන්දාරාමයට විපක්ෂයේ සියලු පක්ෂවල නායකයන් හෝ මුල් පෙළේ ක්‍රියාකාරීන් රැස්වූයේ එම පොදු වැඩ පිළිවෙළ ගැන තවදුරටත් සාකච්ඡා කිරීම සඳහාය. නාලන්දාරාමාධිපති තීනියාවල පාලිත හිමියන්ගේ මූලිකත්වයෙන් මෙම වැඩපිළිවෙළ ඇරඹුණු අතර භික්ෂුන් වහන්සේලා පනස් නමක් පමණ වැඩම කර සිටියහ.

සජබ මහලේකම් රංජිත් මද්දුම බණ්ඩාර, රවි කරුණානායක, උදය ගම්මන්පිල, විමල් වීරවංශ, චම්පික රණවක, මහාචාර්ය ජී.එල්. පීරිස් නිමල් සිරිපාල ද සිල්වා ඇතුළු සියලු පක්ෂ නායකයෝ රැස්ව සිටියහ.

ආණ්ඩුව අධිකරණයට ඇඟිලි ගහනවා. කවදාවත් නැති  විදිහට අගවිනිසුරු තුමාගේ විශ්‍රාම වයස දිගු කරන්න යනවා. අපි මේ තීන්දුවලට විරුද්ධයි. පක්ෂයක් ලෙස අපි මේ පියවරට විරුද්ධව නිවේදනයකුත් නිකුත් කෙරුවා. ..‘‘සජබ මහලේකම්  රංජිත් මද්දුම බණ්ඩාර එහිදී කියා සිටියේය.

අපි දැන්  විපක්ෂයේ විරෝධය සම්මන්ත්‍රණවලට පමණක් සීමා නොකර පුළුල් විරෝධතාවලට යන්න ඕනෑ. සිවිල් සමාජය, විශ්වවිද්‍යාල මහාචාර්යවරුන් පමණක් නොව මහා සංඝරත්නයත් ඉන්නෙ කලකිරිලා. රජය නිර්ආගමික හැටියටයි පෙනී සිටින්නේ. ඒ අතර බෞද්ධාගමට දැඩි පහරක් එල්ල වෙනවා.  භික්ෂු කතිකාවතක් ගැනත් සංඝාධිකරණ ගැනත් අදහස් පළවෙනවා.

රාජ්‍යයයි ආගමයි දෙකක් වෙන්න ඕනෑ සහ රාජය කිසිම ආගමකට විශේෂ   තැනක් ලබා දිය යුතු  නෑ කියන එකයි වත්මන් රජයේ මතය. ඒක රටේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැණියි. ව්‍යවස්ථාවේ නවවැනි වගන්තියෙන් බුද්ධාගමට ප්‍රමුඛ ස්ථානය හිමිවිය යුතු බව සඳහන් වෙනවා. මේ ප්‍රමුඛතැන දැන් නැති බවයි බොහෝ විහාරස්ථානවල මතය. මේ ගැන අපි පොදු එකඟතාවකට එන්නයි මේ හමුව අද සංවිධානය කළේ...’’ මහාචාර්ය ජී.එල්. පීරිස් එහිදී කියා සිටියේය. 

සජිත් වෙසක් කලාපවල

බෙල්ලන්විල රජමහා විහාරස්ථානයේ වෙසක් කලාපය ආරම්භ කිරීමේ පිංකමට විපක්ෂනායක  සජිත් ප්‍රේමදාසද සහභාගී විය. බෞද්ධ  සියලු  දෙනාම උතුම් වෙසක් මංගල්‍යය සමරන මේ මොහොතේ සම්බුද්ධ ශාසනය ආරක්ෂා කිරීමට රටේ පාලකයන්ට මෙන්ම සියලු දෙනාටම වගකීමක් ඇති බව විපක්ෂ නායකවරයා තම කතාවේදී පැවසීය. ‘‘රටක් ලෙස අපි මේ මොහොතේ අභියෝග ගණනාවකට මුහුණ දෙනවා. ආර්ථික හා සමාජයීය ලෙස ජන ජීවිතය පරිහානියට ලක්වෙමින් පවතිනවා. කර්මාන්ත කඩා වැටෙනවා. ලක්ෂ ගානක ජනතාවට එදා වේල පිරිමසා ගන්න අමාරුයි. ජනතාවට සහන ලබාදී දුකට පත් ජනතාව සුවපත් කිරීමට හැම දෙනාම  එකතුවිය යුතුයි.’’යැයි ද විපක්ෂනායක සජිත් එහිදී පැවසීය. 

මහ බැංකුව ගැන රවි තේරීම් කාරක සභාවක් ඉල්ලයි

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් ඩොලර්  මිලියන 695ක ණය වාරිකය ලැබුණාද ලංකාවේ මුල්‍ය එක්කය වන රුපියල් යළිත් වේගයෙන් අවප්‍රමාණය වන ආකාරය දැකගත හැකිය. සති දෙකකට පෙර රුපියල වේගයෙන් අවප්‍රමාණය වෙද්දී ශ්‍රී ලංකා මහ බැංකුව තමන් එකතු කරගෙන තිබූ සංචිත ඩොලර් ප්‍රමාණයක් වෙළෙඳ පොළට මුදාහැරීමෙන් රුපියල අවප්‍රමාණය වීම අඩු වුවද යළිත් ඩොලරය ඉහළ නගින්නට පටන් ගෙන ඇත. සමස්ත ඩොලර් දිනපතාම වෙළෙඳ පොළට නිකුත් කිරීමට මහ බැංකුවට හැකියාවක් නොවීම එයට හේතුවය.

විපක්ෂයේ මන්ත්‍රී රවී කරුණානායක ඉකුත් කාලය පුරාම පැවසුවේ මහ බැංකුවට ස්වාධීනත්වය ලබාදීමට ගත් තීන්දුව නිවැරදි නොවන බවය. එවැනි ස්වාධීනත්වයක් ලබාදී ඇතත් මේ වනවිට රුපියල දිගින් දිගටම අවප්‍රමාණය වෙමින් ආර්ථිකය අවුල් සහගත වෙද්දී මහ බැංකු නිලධාරීන්ට  එම තත්ත්වය වෙනස් කිරීමට හැකියාවක් ලැබී නැතැයි රවි කියයි.

හිටපු මුදල් ඇමැතිවරයකු වන රවි කරුණානායක ඉකුත් සතියේ පාර්ලිමේන්තුවේ මහ ලේකම්වරයාට යෝජනාවක් භාර දුන්නේ මහ බැංකුවට ලබාදී ඇති බලතල ඔවුන්ට දරාගත නොහැකි අතර රටටද නොගැළපෙන බව සඳහන් කරමිනි. එම  නිසා මහ බැංකු බලතල ගැන විමසා බැලීම සඳහා තේරීම් කාරක සභාවක් පත්කරන ලෙස රවි එමගින් ඉල්ලා සිටියි. එම යෝජනාවට මන්ත්‍රීවරුන් හතළිස් දෙනකු අත්සන් කර ඇත.

නාමල් සහ චතුරංග කතා කළේ මොනවා ද?

වෙසක් සතිය  තුළ නාමල් රාජපක්ෂට වෙසක් උත්සව ගණනාවක් සඳහා ආරාධනා ලැබි තිබිණි. ඒ අතර බිරිඳ ලිමිණි සහ දරු දෙදෙනා ද සමග වෙසක් සැරසිලි සකසා අවසන් කළ නාමල් අනතුරුව නුගේගොඩ සිරි ධම්මාරාම මහා විහාරය සංවිධානය කළ පෙරහරට සහ පිළිම වහන්සේලා නිරාවරණය කිරීමේ පිංකමට සහභාගී විය. නියෝජ්‍ය ඇමැති චතුරංග අබේසිංහ ද එම පිංකමට ආරාධනා ලැබ සිටියේය. පිළිම වහන්සේලාට මල් පූජා කිරීම සඳහා මුලින්ම මල් වට්ටිය ලැබුණේ නාමල්ටය. ‘‘ඇමැතිතුමා ඔබතුමා ඉස්සෙල්ලාම මල් පූජා කරන්න’’ නාමල් චතුරංගට තමා අතේ තිබූ මල් වට්ටිය දෙමින් කීවේය. චතුරංග ඇමැතිවරයා සමග ටික වේලාවක් දේශපාලන සහ සාමාන්‍ය කරුණු කාරණා ගැන කතා බහක යෙදුණු නාමල් බොරැල්ල තොරණ විවෘත කිරීමේ  අවස්ථාවටද සහභාගීවීමට තිබූ නිසා චතුරංගගෙන් සමුගෙන පිටත්ව ගියේය. ඉන්පසුව ගංගාරාම වෙසක් කලාපය විවෘත කිරීමේ අවස්ථාවට තම බිරිඳ ද සමග සහභාගි වූ නාමල් වෙසක් සිරි නරඹින් එදින සැදෑව ගත කළේය.

නැව බාල නම් මාව සී.අයි.ඩි යේ

සඳුදා උදෑසන නාමල් නෙළුම් මාවත කාර්යාලයට පැමිණියේ හදිසි සාකච්ඡාවක් සඳහාය. ජොන්ස්ටන් ප්‍රනාන්දු, ඩී.වී. චානක, සාගර කාරියවසම්, සංජීව එදිරිමාන්න ඇතුළු පිරිසක් එම රැස්වීමට සහභාගි වී සිටියහ. ඉන්ධන මිල ඉහළ දැමීම පිරිසේ සාකච්ඡාවට බඳුන් විය.

ගල් අඟුරු බාල නිසා ඒ පාඩුව පියව ගන්නයි තෙල් මිල ඉහළ දාන්න වෙලා තියෙන්නේ...’’  ඩී.වී. චානක පැවසීය. 

‘‘ලෝකෙ වැඩිම මිලටනෙ මේ රටට තෙල් ගෙනත් තියෙන්නේ. ඒ පාඩුවත් ජනතාවට දරා ගන්නයි වෙලා තියෙන්නේ...’’ නාමල් රාජපක්ෂ කියා සිටියේය.

කලින් කිව්වා ඔවා කරන්න ආණ්ඩු ඕනෑ ද කියලා.  මෙයාලාගෙ නොහැකියාව නිසා දැන් සියලුම පාඩු ජනතාවගේ කරපිටට දාලා.’’ ජොන්ස්ටන් ප්‍රනාන්දු කීවේය.

ගල් අඟුරු නැවක් බාල ගල් අඟුරු ගෙනත්ද කියලා දැන ගන්න ක්‍රමයක් තියෙනවා’’ නාමල් පැවසීය. 
‘‘ඒ කොහොමද?’’ ජොන්ස්ටන් විමසුවේය. 

‘ඇයි ආපු ගල් අඟුරු තොගය බාලයි නම් ඒක වහගන්න මාව සී.අයි.ඩී. එකට කැඳවනවනෙ....’’ නාමල් කීවේ සිනාසෙමිනි.

දැන් විපක්ෂයේ අනික් පක්ෂ අපිට ගහනවා... අපිට දිගින් දිගටම පැමිණිලි එනවා. අපි ඒවට  උත්තර දෙන්න ඕනෑ...’’ එක් මන්ත්‍රීවරයෙක් කීවේය.

ඒවට අපි උත්තර දෙන්න ඕනෑ නෑ. මොකද අපේ ගමන වෙනත් ගමනක්. අපේ සටනත් ගෙන්නෙ ආණ්ඩුව සමග මිස විපක්ෂය එක්ක නොවෙයි. මහ  ලේකම්තුමා ඒක අපේ අයට දැනුම් දෙන්න...’’නාමල් කීවේ  මහලේකම් සාගර කාරියවසම්ටය.

‘‘ඔව්. මම එක් හැමෝටම දැනුම් දෙන්නම්’’ සාගර කීවේය. 

නාමල්ගේ කකුල් වෙව්ලු දා....

නාමල් ඇතුළු පක්ෂයේ ප්‍රධානීන් පිරිසක් හා ශ්‍රී  ලංකා පොදුජන පෙරමුණේ තරුණ පිරිසක් අතර හමුවක් පැවැතියේ අඟහරුවාදා නෙළුම් මාවතේදීය.

‘‘කවුද අපේ රැස්වීම්වල කතා කරන්න කැමැති’’ජොන්ස්ටන් ප්‍රනාන්දු විමසීය.

‘අපි ආසයි... ඒත් ටිකක් නුහුරුයි වගේ....’’ තරුණ පිරිසේ කෙනෙක් කීවේය.

‘‘මමත් ප්‍රේමදාසගෙ කාලේ පළාත් සභාවලට ඉල්ලනකොට මයික් එකක් අරගෙන තනියම කතා පැවැත්වුවා.’’ජොන්ස්ටන් කීවේය.

මටත් හොඳ අත්දෑකීම් තියෙනවා. මම එතකොට ලන්ඩන්වල ඉඳල ආපු ගමන්. එතකොට මහින්ද ජනාධිපතිතුමා මුල්ම ජනාධිපතිවරණයට තරග කළ කාලෙ. මාත් ගියා රැස්වීමකට. ඒකෙදී මම රැස්වීම නරඹමින් ඉන්න කොට සුනිල් හඳුන්නෙත්ති අයියා මට කතාවක් කරන්න කීවා. මාව වෙව්ලන්න ගත්තා. හැබැයි මම ඇඳගෙන හිටියේ ලොකු කලිසමක්. ඒක ඒ කාලෙ ෆැෂන් එක. ඒකෙ කකුල් ලොකු නිසා මගේ කකුල් වෙව්ලනවා. කවුරුවත් දැක්කෙ නෑ..’’ නාමල් කියද්දී එහි සිටි කාටත් සිනාව නවතාගත නොහැකි විය.’’ ඒ නිසා කතා කරන්න බය වෙන්න එපා. දිගටම කතා කරන්න’’ නාමල් තරුණ පිරිසට උපදෙස් දුන්නේය.  

ජයග්‍රාහී ගමනක යෙදී සිටින ඒකාබද්ධ විපක්ෂ කණ්ඩායම රනිල් හමුවට ආවේ විසඳා ගන්නට මෙන්ම කතාබහ කරන්නට ප්‍රශ්න රාශියක් සිත්හි තබාගෙනය. මන්ත්‍රී කණ්ඩායම පැමිණෙන විටත් රනිල් හිටපු ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල් දිනිත් චින්තක කරුණාරත්න සමඟ ඒකාබද්ධ විපක්ෂයේ ඉදිරි මෙහෙයුම් කටයුතු සම්බන්ධව සාකච්ඡාවක යෙදී සිටියේය.  

ධර්මාධිකරණය ගැන කතාවක්

රනිල් හමුවට ආ මන්ත්‍රීවරුන්ගේ මූලික කතාබහ වූයේ බුදු දහමට එල්ල වෙමින් පවතින අවැඩදායක තත්ත්වයන් ගැනය.රනිල් වැනි ප්‍රායෝගික බෞද්ධ නායකයකු සමඟ ඒ සම්බන්ධයෙන් කරුණු ගැඹුරින් කතා කිරීම ඔවුන්ගේ ඒකායන අරමුණ විය.

ධර්මාධිකරණයක් පිහිටුවීමට ආණ්ඩුවකට කිසිම බලයක් නැතැයි ඒ වන විටත් එක්සත් ජාතික පක්ෂය තම ස්ථාවරය පැහැදිලි කරමින් නිවේදනයක් නිකුත් කර තිබිණ.

“වෙසක් කියලා ආණ්ඩුවෙන් දවසක් ප්‍රකාශයට පත් කළත් වෙනදා තරම් වෙසක් සිරියක් ඇත්තෙන්ම අපි දැක්කේ නෑ”‍ වජිර කතාවට මුල පිරුවේ වෙනදා වෙසක් සිරියෙන් ඇලළී තිබූ කොළඹ වීදි පාළුවෙන් වෙළී තිබෙන ආකාරය සියැසින්ම දුටු නිසාය.

“සිංහල අවුරුද්දකුත් තිබුණෙ නෑ නේද? ඒ වගේම තමයි වෙසක්.පොසොන් එකට මොනවා වෙයිද කියලා දන්නේ නෑ”‍ රනිල් පැවසූයේ සංවේගයෙනි.

“සර් ආණ්ඩුවට විරුද්ධව බෞද්ධ බලවේගයක් බිම් මට්ටමෙන් නිරායාසයෙන්ම පැන නගිමින් තියෙන්නේ.ආණ්ඩුව සිංහල බෞද්ධ නායකයන් දඩයම් කිරීම ගැන සමාජයේ පැහැදීමක් නෑ. මේ රටේ බෞද්ධ පුනරුදය වෙනුවෙන් ලොකු මෙහෙවරක් කළ ඔබතුමා වගේම මහින්ද, මෛත්‍රී වගේ නායකයන්ගෙන් පළිගන්න ආණ්ඩුව බලාගෙන ඉන්නේ.ඒ වැඩේ වෙන්නේ ආගමට පහර ගැහීමේ ගමනේම තවත් දිගුවක් විදියට.උසස් තනතුරුවල ඉන්න ප්‍රධාන බෞද්ධ අයත් දැන් පැත්තකට දමමින් ඉන්නවා”‍ සුගීෂ්වර පැවසීය.

චෝදනා පත්‍රයක්වත් ඉදිරිපත් නොකර පල්ලේගම හිමියන් තනතුරුවලින් ඉවත් කිරීම සිදුකර ඇති බව ද මන්ත්‍රී කණ්ඩායම් හමුවේදී සාකච්ඡාවට බඳුන් විය.

”‍සුද්දන්ගේ කාලෙත් නීති සකස් කළා. ඒත් සුද්දෝ ඒ නීති සකස් කළේ බුද්ධාගම ගැන දැනගෙන.දැන් වර්තමානයේ ඉන්න උදවිය මේවා කරන්න හදන්නේ බුද්ධාගම ගැන මෙලෝ හතරක් නොදැන”‍ රනිල් පැවසූයේ නළල රැලි ගන්වමිනි.

“අඩු ගානේ මේ උදවිය වඳින ඉරියව්ව වත් දන්නෙ නෑනේ”‍ සුගීෂ්වර පැවසූයේ ආණ්ඩුවේ නියෝජ්‍ය ඇමති කෙනෙක් පන්සලක උත්සවයකට ගිහින් මෑතකදී කළ රංගනයක් සිහිපත් කරමිනි.

“ධර්මය ගැන කිසිම ප්‍රශ්නයක් නැහැනේ. එහෙම තත්ත්වයක් යටතේ ධර්මාධිකරණයක් ඇති කරන්නේ කොහොම ද? ඒ වගේම ධර්මාධිකරණයක් ඇති කළොත් එය ශ්‍රේෂ්ඨාධිකරණය කොහොම පිළිගනී ද? ව්‍යවස්ථාවේ ඉඩ තියෙන්නේ සංඝාධිකරණයකට විතරයි.ධර්මාධිකරණයක් ඇති කළොත් ශ්‍රේෂ්ඨාධිකරණයට ඊට එරෙහිව ක්‍රියා කරන්න පුළුවන්. ඒ වගේම මේක ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුකූල ද කියලා බලන්න ශ්‍රේෂ්ඨාධිකරණයට යවන්න සිද්ධ වෙනවා. එහිදී අනිවාර්යයෙන් තීරණය වෙනවා ධර්මාධිකරණයකට බලය නැති බව. ව්‍යවස්ථාවෙන් බලය තියෙන්නේ සංඝාධිකරණයක් පිහිටුවීමට පමණයි.විජේදාස රාජපක්ෂ කෙටුම්පතක් සැකසුවේත් සංඝාධිකරණයක් සඳහායි.” රනිල් නීතිය සහ පවතින තත්ත්වය ඇසුරින් විස්තරයක් කළේය.

“ඒ වගේම ධර්මාධිකරණයක් ඇති කරන්න සංකල්ප පත්‍රිකාවක් හදපු නිලධාරීන් කවුද කියලා හොයන්න ඕන. මොනවා පාලනය කළත් ධර්මය පාලනය කරන්නේ කොහොම ද? ධර්මය ගැන කියවා අතැඹුලක් සේ දැන සිටි රනිල් කීවේ සංවේගයකිනි.

පළාත් සභාවට අලියගෙන්

පළාත් සභා මැතිවරණය වෙනුවෙන් දැනටමත් ජනප්‍රිය චරිත රනිල් හමුවෙමින් සිටින බව ආරංචිය.ජනප්‍රිය හිටපු යුද සෙන්පතියෙක්ද බෞද්ධ බලවේගයක් සහිත ටියුෂන් ගුරුවරයෙක්ද රනිල් හමුවී සාකච්ඡා පවත්වා තිබේ.

සජිත්ට දැන් තිබෙන එකම විකල්පය ඒකාබද්ධ විපක්ෂය සමග එකතුවීමයි.නාමල්ද වඩා කැමැත්තෙන් සිටිනුයේ ඒකාබද්ධ විපක්ෂය සමඟ වැඩ කිරීමටයි.

“මේ අය දැන් අයි.එම්.එෆ් එකට අන්තිමට යට වෙලා.සර්, අයි.එම්.එෆ් එකට යට වෙලා කියලා තමයි කලින් චෝදනා කළේ. එදා ඔවුන් නඟපු චෝදනාව සත්‍යයක් නෙමෙයි කියල දැන් පොඩි ළමයෙකුට වුණත් තේරෙනවා ඇති.සර් කළේ අයි.එම්.එෆ් එක ලවා රටට ඕන දේවල් කරගන්න එක. සර් අයි.එම්.එෆ් එකෙන් ප්‍රයෝජනය ගත්තා.ඒක යට වීමක් නෙමෙයි. මෙන්න මේවට තමයි යටවෙනවා කියන්නේ”‍ වජිර පැවසූයේ පොදු සමාජයේ නිරන්තරයෙන් එල්ල වන චෝදනා සම්බන්ධයෙන් උපුටා දක්වමිනි.

“මම භාණ්ඩාගාරය සහ මහ බැංකුව එක්ක කටයුතු කළේ ස්ථාවරය ඇති කරන්න.ඒක කළේ දළ දේශීය නිෂ්පාදිතය වැඩි කරමින්. දැන් ඒ වැඩ කටයුතු කරන දක්ෂයො ඔක්කොම ඉවත් වෙලා ගිහින්” රනිල් කීය.

ඒකාබද්ධ විපක්ෂයේ වැඩගොඩක්

ඒකාබද්ධ විපක්ෂයේ කැඳවුම්කරු මහාචාර්ය ජී.එල් පීරිස්ගේ නායකත්වයෙන් යුතු ඒකාබද්ධ විපක්ෂය මේ වන විට විශාල වශයෙන් ක්‍රියාකාරකම් පටන්ගෙන තිබේ.ඔවුහු පළමුවෙන්ම ආණ්ඩුවේ දූෂණ ගැන ජනතාව දැනුම්වත් කිරීම සඳහා සම්මන්ත්‍රණ මාලාවක් පටන් ගත්හ.එහි පළමු වැන්න කොස්ගම දීද දෙවැන්න මාතර දීද තුන්වැන්න ජා ඇළ දීද පැවැත්වූ අතර හතර වැනි රුස්වීම මහනුවරදී ලබන 14 වැනිදා පැවැත්වීමට සියලු‍ කටයුතු සංවිධාන වී තිබේ. එමෙන්ම එම සම්මන්ත්‍රණ කළුතර, ගාල්ල ඇතුළු තම ප්‍රදේශවල පවත්වන ලෙස සංවිධායකයන්ගෙන් ඉල්ලීම් ලැබෙමින් පවතී. මේ වෑයම සඳහා එකතු වන පක්ෂ සංඛ්‍යාව දිනෙන් දින වැඩිවෙමින් ඇත.

ආර්ථික අර්බුදය ගැන ජනතාව දැනුම්වත් කරන සම්මන්ත්‍රණයක්( inform public opinion)  අමාරි හෝටලයේදී සඳුදා පැවැත්වීමට නියමිතව ඇත. ඒ ආර්ථික විශේෂඥයන්ගේ ප්‍රමුඛත්වයෙනි.ඊට අමතරව මහා සංඝරත්නය දැනුවත් කෙරෙන වැඩපිළිවෙළක් ද ආරම්භ කර තිබේ.එහි පළමු පියවර ලෙස ඒකාබද්ධ විපක්ෂ නායකයෝ තිනියාවල පාලිත නා හිමි බැහැ දුටු අතර පැපිලියානේ ප්‍රසිද්ධ විහාරස්ථානයකටත් ගියහ. මහනුවරදී මල්වතු අස්ගිරි මහනාහිමිවරුන් බැහැ දැකීමටත් නියමිතය.
මේ වැඩ පිළිවෙළ ගැන අදහස් දක්වමින් මහාචාර්ය ජී.එල් පීරිස් පැවසූයේ කරුණු දැනගත් සමාජයක් බිහි කිරීම තම වැඩ පිළිවෙළේ මූලික අරමුණක් බවයි.

”‍මැද පෙරදිග යුද්ධය පොදුවේ කාටත් තියෙන කාරණයක්. හැබැයි වෙනත් රටවල පාලකයන් ජනතාවට ඇත්ත කියනවා.ඒ වගේම හානිය අවම කරගන්න ඔක්කොම එකතුවෙලා සාමූහික විසඳුම් හොයනවා. මේ රටවල් වැඩිපුර කාලය යොදවන්නේ ජනතාව එක්ක අවංක සංවාදයකට.ලංකාවේ තත්ත්වය ඊට හාත්පසින් වෙනස්.ඔවුන් ජනතාවට බොරු කියනවා.උදාහරණයක් විදිහට භාණ්ඩාගාරයේ නැති වෙච්ච සල්ලි ආපහු ලබාගන්නා බව ආණ්ඩුව කියනවා. නමුත් ඔවුන් හොඳටම දන්නවා මේ මුදල් නැවත නොලැබෙන බව.

ඒ වගේම අපි අයි.එම්.එෆ්. එක හම්බවෙන්න ලියුමක් ලියා අවස්ථාවක් ඉල්ලනවා. ඔවුන් අපිට මුදල් දෙන්නේ පරිත්‍යාගයක් ලෙස නොවූ ණයක් හැටියටයි. මේවා වාණිජ ණය. පොලිය සියයට අට දක්වා විතර ගමන් කරනවා.

මේ ණය නැවත ගෙවන්න ඕන අපේ රටේ ජනතාව.මේ මුදල් නිසි අරමුණකට යොදවනවා ද කියා වග බලාගන්න මූල්‍ය අරමුදලට වගකීමක් තිබෙනවා. එහෙම නැත්නම් මේ මුදල් හොරකම් කරලා මගඩි වැඩ කරලා අවසානයේ ජනතාවට ගෙවීම් කරන්න වෙනවා” යැයි ජී.එල්. අදහස් දැක්වීය.

රාජ දූත