මුදල් හා ප්‍රාග්ධන වෙළෙඳපොළ ව්‍යවසාය ප්‍රතිසංස්කරණ රාජ්‍ය ඇමැති අජිත් නිවාඩ් කබ්රාල් 

රටේ ආර්ථිකය සම්බන්ධයෙන් මුදල් හා ප්‍රාග්ධන වෙළෙඳපොළ ව්‍යවසාය ප්‍රතිසංස්කරණ රාජ්‍ය ඇමැති අජිත් නිවාඩ් කබ්රාල් මහතා සමග කළ සාකච්ඡාවකි.  


ප්‍රශ්නය:- සඳුදා රට විවෘත කරනවා ද?  


පිළිතුර:- මට ඒක තවම හරියටම කියන්න බෑ. කොහොම වුණත් මගේ මතය නම් මේ රට විවෘතව තැබිය යුතුයි කියලයි. විවෘත නොකළොත් ඉතා දැවැන්ත පාඩුවක් රටට විඳින්න වෙයි. ර​ටේ ලක්ෂ 45කට වැඩි ප්‍රමාණයකට ඉතා බරපතළ ආර්ථික අවපාතයකට මුහුණ දෙන්න වෙනවා. එසේ නොවන්නේ නම් ජීවනෝපාය රැකගන්නට නම් රට විවෘත කළ යුතුමයි කියලයි මගේ අදහස.  


ප්‍රශ්නය:- ​ඔබේ ගණන් මිනුම්වලට අනුව රට වහලා තියෙන එක දවසකට අලාභය කොච්චරක් ද?  


පිළිතුර:- මම මහ බැංකුවත් එක්ක මේ ගැන කතා කළා. බිලියන 15ක්වත් අවම තරමේ පාඩුවක් වෙනවා. අපේ රටේ නිෂ්පාදිතය බිලියන 15කින් පමණ අඩු වෙනවා දවසකට. අපේ රටේ සාමාන්‍යයෙන් බිලියන 41ක් පමණ තමයි නිෂ්පාදිතය තියෙන්නේ. ඒකෙන් බිලියන 15ක් පමණ රටට අහිමි වෙනවා එක දවසක් රට වහලා තිබ්බාම. දවස් 10ක් වහල තිබ්බොත් බිලියන 150ක් අහිමි වෙනවා. මේ ගණන් හිලව් පොඩ්ඩක් එහා මෙහා වෙන්න පුළුවන්. ඒක විතරක් නොවෙයි. සර්ව ආර්ථික සාධක මනිනකොට කියන කතාවක්නේ. ඉහළ මට්ටමින් මැනලා කියන කතාවක්නේ. ඒ වුණාට හිතලා බලන්න. ත්‍රීවීල් රථ රියැදුරකුට ආදායම නැති වුණාම එයා කොහොම ද එයාගේ ණය ගෙවාගන්නේ. එයා කොහොම ද ගෙවල් කුලිය ගෙවන්නේ. දරුවන්ගේ අවශ්‍යතාවන් සපුරන්නේ කොහොම ද? ඔය ආර්ථික ඔස්තාර්ලාට නොයෙක් දේවල් කියන්න පුළුවන්. අර දෛනික ආදායම් ලබන්නන් හා සුළු ආදායම් ලබන පිරිස් මුහුණ දෙන ගැටලු ගැන ඔය ඔස්තාර්ලා කතා කරන්නේ නැහැ.  


ප්‍රශ්නය:-පළමු හා දෙවැනි රැල්ල පාලනය කරන්න ආණ්ඩුව ගත්ත මහන්සිය තුන්වැනි රැල්ල පාලනය කරන්න ආණ්‍ඩුව ගත්තේ නෑ. රටට මෙහෙම වුණේ එ් නිසයි?  


පිළිතුර:- ආණ්ඩුවයි සෞඛ්‍ය අංශයි ඒ ගැන සැලකිලිමත් වෙන්න අවශ්‍යයි. මම මගේ මේ තර්කයට පදනම් කරගන්නේ බොහොම සරළ කාරණාවක්. මේ ජනතාවගේ ජීවනෝපාය අහිමි කළාම ඒ ජනතාවට ජීවත් වෙන්න විදිහක් නෑ. ඉතින් මේ තීරණ ගන්නකොට ඒ අය ගැනත් හිතන්න ඕනෑ. මාසේ පඩිය ගන්න පුද්ගලයාට මේ තීරණයේ බරපතළකම තේරෙන්නේ නෑ. එයාට මාසෙ අන්තිමට පඩිය යනවා බැංකුවට. මටත් එහෙමයි. මාස දෙක තුනක් වැඩ නොකර හිටියත් මටත් ආදායමක් තියෙනවා. මට ප්‍රශ්නයක් නෑ ඇත්තටම. ඒත් මම දන්නවා දෛනික ආදායම්ලාභීන්ට එහෙම ජීවත් වෙන්න බෑ කියලා. ඒකයි මම මේ කතා කරන්නේ. 

 
ප්‍රශ්නය:-මිනිසුන්ව මැරෙන්න ඇරලා ආර්ථිකය හදලා මොකට ද කියන එකත් වලංගු තර්කයක්?  


පිළිතුර:- ඒ තර්කය වලංගු නෑ. දැන් විදුලිබල මණ්ඩලයේ මිනිස්සු මැරිලා තියෙනවා ද? ඔවුන් වැඩ කරනවනේ. ජල සම්පාදන මණ්‍ඩලය ක්‍රියාත්මකයි. එතැන මිනිස්සු මැරිලා නෑ. පොලිසියේ අය මැරෙනවා ද? රේගුව ගන්න, සෞඛ්‍ය ක්ෂේත්‍රය ගන්න. අපි ඒ අයව මැරෙන්න ඇරලා නෑ. ඒ අයට උපදෙස් දීලා තියෙනවා ඉන්න ඕනෑ විදිහ, වැඩ කරන ක්‍රමය. ඉතින් අනිත් අයටත් වැඩ කරන ක්‍රමය කියලා දෙන්න ඕනෑ. දැන් පාරවල් හදන මිනිස්සු ඉන්නවනේ. ඒ අයට අවසර දීලා තියෙනවා පාරවල් හදන්න. එහෙනම් කැඳ හදලා විකුණන මනුස්සයාට ඒ අවසරය දෙන්නේ නැත්තේ ඇයි. ඉඳිආප්ප හදලා විකුණන මනුස්සයාට ඒ අවසරය නෑ. ඒ අයටත් කියන්න සෞඛ්‍ය මාර්ගෝපදේශවලට අනුව තමන්ගේ වැඩ කරගෙන යන්න කියලා. මට තේරෙන්නේ නෑ එතැන ප්‍රශ්නයක් තියෙනවා කියලා.  


ප්‍රශ්නය:- රට අරින වහන එක ගැන ආණ්‍ඩුවේම අය කියන්නේ පරස්පර කතා?  


පිළිතුර:- ආණ්ඩුව ඒ ඒ අවස්ථාවලදී ඉදිරිපත් වෙන කරුණුවලට අනුවනේ තීන්දු තීරණ ගන්නේ. උසාවියට ගියාම නඩුකාරතුමා තීරණය ගනිද්දී එතැනට ඉදිරිපත් වෙලා තියෙන කරුණු දිහා බලලා තමයි තීරණය ගන්නේ. සමහරවිට ඔය මම ගේන තර්කය ඉදිරිපත් නොවෙන්න ඇති. එහෙම නැත්නම් ඒ තර්කය ප්‍රබල ලෙස ඉදිරිපත් නොවෙන්න ඇති. ඒ නිසා තමයි මම ඔබ සමගත් මේ ගැන කතා කරන්නේ. මේ තර්කයත් අහන්න. ටීවී ප්‍රවෘත්තිවල විනාඩි 30න් විනාඩි 28ක්ම කියන්නේ රට වහපන් කියලයි. ඉතින් බොහෝ දෙනෙක් ඒ මතයට නැඹුරු වෙනවා.  


ප්‍රශ්නය:-මේ මොහොතේ ප්‍රමුඛතාවය දිය යුතතේ සෞඛ්‍ය අංශයේ මතයට?  


පිළිතුර:- ඔව්. ඉතාම සාධාරණයි. ඒ වගේම ඒ මතය සාධාරණ නම් ඒ අය මේ අසරණ වෙන අය බලාගන්නවා ද? අහලා බලන්න ත්‍රීවීල් එකක් එළවන මනුස්සයකුගෙන් ඒ මතය සාධාරණ ද කියලා. මාසෙ අන්තිමට පඩි හම්බ වෙන අය නම් කියයි සාධාරණයි කියලා.  


ප්‍රශ්නය:-විපක්ෂය නම් කියන්නේ සෞඛ්‍ය මතයට ඇහුම්කන් නොදී ආණ්ඩුව උද්ධච්ඡ විදිහට කටයුතු කරනවා, ඒකයි කොරෝනා වගුර ගැඹුරු වුණේ කියලා?  


පිළිතුර:- එහෙම නම් ඒ අයට කියන්න, ඔය කතාව ගිහිල්ලා මේ ලොක්ඩවුන් එකෙන් අන්ත අසරණභාවයට පත්වෙච්ච ජනතාවට කියන්න කියලා. ටෙලිවිෂන් එකේ හැංගිලා කියන්නේ නැතිව. විපක්ෂයේ අයට ඕනෑම දෙයක් කියන්න පුළුවන්. ඒ අයට න්‍යායපත්‍රයක් තියෙනවනේ. ඒ නිසා ඒ අයට රජය කරන කිසිම දෙයක හොඳක් කියන්න බැහැනේ. ඒ නිසා ඒ අයට දොස් කියන්න බෑ. ආණ්ඩුව වට්ටන්න ට්‍රයි කරන්න, හැබැයි මිනිස්සු වට්ටන්න එපා. ඇත්තටම විපක්ෂය කළ යුතු දෙයක් තමයි මම මේ කරන්නේ. විපක්ෂයයි කියන්න ඕනෑ ‘මිනිස්සු අසරණ වෙලා ඉන්නේ, රට අරින්න’ කියලා. ඒ වෙනුවට විපක්ෂය කියන්නේ රට වහපන් කියලයි. ඒකෙන් ඒ අය බලන්නේ ආර්ථිකය දුර්වල කරන්න.  


ප්‍රශ්නය:-එක පැත්තකින් කියනවා රටේ ආර්ථිකය දුර්වලයි කියලා. අනිත් පැත්තෙන් රජයේ ගුරුවරුන්ට රුපියල් පන්දාහකින් වැටුප් වැඩි කරනවා. එහෙම දෙන්න පුළුවන් ද?  


පිළිතුර:- ඇත්ත වශයෙන්ම. මම හිතන්නේ ඒ තීන්දුව ගන්න තිබුණේ මේ අමාරු කාලය ඉක්මවා ගියාට පස්සෙයි. මේ අවස්ථාවේදී ගුරුවරුන්ගේ ඉල්ලීම අසාධාරණයි. ඒ අය මස් රාත්තලම අද ඉල්ලන්නේ නැතිව ඉන්න ඒ අයට තිබුණා. මේ ඉතාමත්ම අර්බුදකාරී වෙලාවක ලක්ෂ ගණනක් මිනිසුන්ට ජීවත් වෙන්න අමාරු වෙලාවක එවැනි ඉල්ලීමක් නොකර හිටියා නම් හොඳයි කියලයි මම හිතන්නේ. රටේ පොදු මතයත් ඒකමයි. 

 
ප්‍රශ්නය:- රුපියල් පන්දාහ ගුරුවරු ඉල්ලුවේ නෑ. කැබිනට් එක තමයි තීරණය කළේ? 

 
පිළිතුර:- ඔය ප්‍රශ්නය විසඳන්න ඇමැති අනුකමිටුවක් පත්කළානේ. ඔවුන්ගේ නිර්දේශ අනුව තමයි ඒ තීරණය ගත්තේ. ගුරු වෘත්තීය සමිති ඉල්ලන ඔක්කෝම ඒවා දුන්නා නම් රජය බරපතළ අපහසුතාවකට පත්වෙනවා.  


ප්‍රශ්නය:-ගුරුවරු කියන්නේ ‘මේ ඉල්ලීම් අද එපා, හෙට එපා, දෙන දවස නිශ්චිතව නිල වශයෙන් දැනුම් දෙන්න’ කියලයි? 

 
පිළිතුර:- ඒ අයට කියන්න බෑනේ කවදා ද කොවිඩ් අවසන් වෙන්නේ කියලා. ගුරුවරුම ඔහොම කතා කිරීමත් පුදුමයි. යමක් කමක් දන්නැති පුද්ගලයෙක් ඇවිල්ලා කිව්වා නම් අපට හිතන්න පුළුවන් නූගත්කම නිසා ඔහොම කියනවා කියලා. මේ වෙලාවේ බොහොම අමාරුවේ වැටිලා ඉන්න පිරිස් ඉන්නවනේ. ඒ කිසිම කෙනෙක් පාරට බැහැලා මෙහෙම ආර්ථික ඉල්ලීම් ඉදිරිපත් කරලා නෑ. මේක මේ අපේ රටට පමණක් නොවෙයි හැම රටකටම ඉතාම අමාරු කාලයක්. ඒත් වෙන කිසිම රටක මෙහෙම වෘත්තීය සමිති පාරට බැහැලා නෑ. පසුගිය අවුරුදු එක හමාරක කාලය ගත්තොත් පඩි වැඩි කරන්න කියලා පාරට බැස්සේ අපේ රටේ විතරයි. මේක මේ ලජ්ජා වෙන්න ඕනෑ කාරණයක්. වෙන කිසිම රටක මෙහෙම වෙලා නෑ. වැඩ කරන්න ඉඩ දෙන්න කියලා පාරට බැහැලා තියෙනවා. එන්නත දෙන්න කියලා පාරට බැහැලා තියෙනවා. පඩි වැඩි කරන්න කියලා කිසිම රටක මිනිස්සු පාරට බැහැලා නෑ. ඇත්තටම මේක පුදුමාකාර ලජ්ජා නැති වැඩක්. ගෙදර ඉඳගෙන වැඩි පඩි ඉල්ලන ලෝකයේ එකම රට. ඒ තත්ත්වයට පත්වීම ගැන අපි ලජ්ජාවට පත්විය යුතුයි.  


ප්‍රශ්නය:- ඩොලර් හිඟයට මොකද වෙන්නේ?  


පිළිතුර:- අපි දැනගෙන හිටියා ඩොලර් හිඟයක් එනවා කියලා. මොකද සම්පූර්ණයෙන්ම සංචාරක ව්‍යාපාරය කඩා වැටිලා තියෙන්නේ. කවුරුවත් කියන්න කලින් ඩොලර් හිඟයක් ඇති වෙනවා කියලා අපි දැනගෙන හිටියා. ඒ නිසා තමයි ආනයනය අපි නැවැත්තුවේ. අපි දැනගෙන හිටියා මේක වෙනවා කියලා. ඒ නිසා තමයි අද අපිට මේ විදිහට යන්න පුළුවන් වෙලා තියෙන්නේ. ඩොලර් හිඟයක් එයි කියලා තිබුණ පුරෝකථනය නිසා අපි වෙන වෙන මාර්ගවලින් ඩොලර් එකතු කරන්නත් කටයුතු කරලා තියෙනවා. ඒ නිසා තමයි ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් අපට ලැබුණේ ඩොලර් මිලියන 787ක්. අපි බංග්ලාදේශයෙන් ඩොලර් මිලියන 200ක් ලබාගත්තා. චීන සංවර්ධන බැංකුවෙන් ඩොලර් මිලියන 300ක් ලබාගත්තා. ඉදිරි කාලයේදී අර ඌනපූර්ණයට ලබාගෙන තියෙන විවිධ සම්පත් එක්ක බද්ධ කරලා කටයුතු කිරීම හරහා අපි තවත් ඩොලර් මිලියන 400ක් 500ක් විතර ලබාගන්න බලාපොරොත්තු වෙනවා. රජයත් සමග එකතු වෙලා සාකච්ඡා කරලා ඔබ දකින්න ඇති මම ගියා මැදපෙරදිග රටවල්වලට. අපි ඒ හරහා අලුතෙන් ඩොලර් එකතු කරන්න කටයුතු කළා. මෙහෙම හිඟයක් එන බව දන්න නිසා තමයි අපි මෙහෙම කළේ. ඩොලර් හිඟය අවම කරගන්න පුළුවන් තත්ත්වයක් එයි.  


ප්‍රශ්නය:- ඩොලර් නැති නිසා අපේ ව්‍යාපාර කඩා වැටෙනවා. අපට තියෙන උත්තරය මොකක් ද කියලා සමාගම් ප්‍රශ්න කරනවා?  


පිළිතුර:- කෙටි කාලයකට ඒ ප්‍රශ්නය තිබුණා. නමුත් මේ ගිය සතියේ ඒ ප්‍රශ්නය නිරාකරණය වුණා. මහ බැංකුවෙන් මිලියන දෙසීයකට වඩා වැඩි ගාණක් මුදාහැරියා. එහෙම කරලා කිව්වා දැන් මේවාම පාවිච්චියට ගන්න කියලා. ඩොලර් බැංකුවෙන් බැංකුවට මුදාහරින්න අවශ්‍යතාවක් නෑ. වෙළෙඳපොළේ තියෙන ඉල්ලුමට අපි සෑහෙන ප්‍රමාණයකින් මුදලක් මුදාහැරියට වෙළෙඳපොළේ ද්‍රවශීලතාව වැඩි වෙන්න පටන්ගන්නවා. ද්‍රවශීලතාව වැඩි වීම හරහා ගනුදෙනු කිරීමට හැමෝටම පෙලඹෙන්න පුළුවන්. ඒ නිසා එහෙම ප්‍රශ්නයක් මතු වෙන්නේ නෑ. අපේ රටේ බැංකු 27ක් විතර තියෙනවා. ඒවාට එකින් එකට දෙන්න අවශ්‍ය වෙන්නේ නෑ. ලොකුම බැංකු දෙක තුනට මුදාහැරියම ඒ අය වෙළෙඳපොළට එන්නේ නැහැනේ ඒ අයගෙ අවශ්‍යතාවන් සඳහා. එතකොට වෙළෙඳපොළේ ඉල්ලුම අඩු වෙනවා. ඉල්ලුම අඩු වුණාම ද්‍රවශීලතාව ඇති වෙනවා. ඒ පදනම මත තමයි ඒක කරලා තියෙන්නේ. ඒ නිසා යළිත් ඩොලර් හිඟයක් ඇති වෙන්නේ නෑ.  


ප්‍රශ්නය:- ඔබේ අමාත්‍යාංශය කෑලි ගලවලා ඇමැති නාමල් රාජපක්ෂට පවරලා තියෙනවා?  


පිළිතුර:- ඔව්. මට ඒක කිසි ගැටලුවක් නෑ. මගේ රාජකාරිවලින් කොටසක් තවත් අමාත්‍යවරයකුට ගියා කියලා මට කිසිම ප්‍රශ්නයක් නෑ. මේවා අපේ බූදල් නොවෙයි. මේවා අපට සදාකාලිකව තියාගන්න පුළුවන් දේවල් නොවෙයි. එහෙම තියාගන්න අවශ්‍යතාවකුත් නෑ මට. මගේ කොටසක් වෙන අමාත්‍යාංශයකට පැවැරුවා කියන එක මට ගැටලුවක් නොවෙයි. මම හිතන්නේ මෙහෙම පවරද්දී ඒවාට සුදුසු වාතාවරණයක් එක්කම පවරන්න ඕනෑ. මෙතැනදී හොඳ කැබිනට් අමාත්‍යාංශයක් හදලා තියෙනවා. ඒක හොඳ දෙයක්. ඒකෙන් රටට සේවයක් වෙයි කියලා මම හිතන්නේ.  


ප්‍රශ්නය:- හිතට දුකක් නෑ?  


පිළිතුර:- ​අපෝ නෑ. මට එහෙම දුක් වෙන්න හේතුවකුත් නෑ. ඇත්තෙන්ම මම කාර්ය බහුලයි. හැමෝම දන්නවා මම කොහොම හරි වැඩක යෙදෙනවා කියලා. ඒ නිසා මට දුක් වෙන්න කිසිම හේතුවක් නෑ. මම හැම වෙලාවෙම සතුටෙන් ඉන්න කෙනෙක්. දැන් ඉන්නෙත් ඒ සතුටෙන්.  

 

සාකච්ඡා කළේ 
ප්‍රසන්න සංජීව තෙන්නකොන්