IMG-LOGO

2025 සැප්තැම්බර් මස 18 වන බ්‍රහස්පතින්දා


මනාලියන් දෙදෙනකු මාරුවීමෙන් උපන් ජංජාලයක් Laapataa Ladies

පිච්චැර් පිස්සා

 

අලුත බැඳපු මනාල ජෝඩු දෙකක මනාලියන් දෙදෙනා මාරු වීම නිසා සිදු වන අපූරු ජංජාලයක් ගැන කතාවක් රැගත් Laapataa Ladies මෑත කාලයේ නිර්මාණය වූ ඉන්දියානු චිත්‍රපට අතර බොහෝ කතාබහට බඳුන් වූ සිනමා කෘතියක්. කාන්තාවන් දෙදෙනකු කේන්ද්‍ර කරගත් මෙම සිනමාපටය අධ්‍යක්ෂණය කර ඇත්තේ ද කාන්තාවක විසින් වීම විශේෂත්වයක්. මෙහි අධ්‍යක්ෂවරිය වන කිරන් රාඕ කලෙකට පෙර ප්‍රසිද්ධියට පත්ව සිටියේ ජනප්‍රිය බොලිවුඩ් නළු ආමීර් ඛාන් ගේ බිරිඳ හැටියට යි.  මේ වනවිට ඔවුන් දික්කසාද වෙලයි ඉන්නේ. එහෙත් තවමත් කිරන් සහ ආමීර් ඉතා හොඳ මිතුරන් සේ කටයුතු කරන අතර වෘත්තීය කටයුතුවලදීත්, දරුවන් සම්බන්ධ කටයුතුවලදීත් බොහොම  සහයෝගයෙන් ක්‍රියා කරනවා. කිරන් රාඕ Laapataa Ladies අධ්‍යක්ෂණය කරද්දී එයට මුදල් යෙදවූ නිෂ්පාදකවරයකු ලෙස ආමීර් කටයුතු කළා.

Laapataa Ladies චිත්‍රපටය ආරම්භ වන්නේ ඉන්දියාවේ ඈත පිටිසර ප්‍රදේශයක දුම්රියකින් ගමන් කරමින් සිටින  අලුත් මනාල ජෝඩු දෙකක් පිළිබඳ දර්ශන පෙළකින්. ඉන්දියාවේ ග්‍රාමීය ප්‍රදේශවල විවාහය සහ කාන්තාවන්  වැනි කාරණා සම්බන්ධයෙන් ඉතා දැඩි සම්ප්‍රදායන් ක්‍රියාවට නැගෙන බව රහසක් නොවෙයි. මෙම මනාල ජෝඩු දෙකේ මනාලියන් දෙදෙනාත් එවැනි සම්ප්‍රදායන්ට යටත් කරනු ලැබූ දෙදෙනෙක්. ප්‍රසිද්ධ තැන්වල දී ඔවුන්ට මුහුණු නිරාවරණය කරගෙන සිටින්නටවත් අවසරයක් නැහැ. ඒ නිසා ඔවුන් මංගල දිනයේ සිය සැමියන්ගේ ගම් ප්‍රදේශ කරා දුම්රියෙන් ගමන් කරමින් සිටින්නේ සාරි පොටවලින් මුහුණු වසාගෙන යි.
ඔවුන් ගමන් කරන දුම්රිය මගීන්ගෙන් හොඳටම පිරිලයි තියෙන්නේ. මේ නිසා එක් ජෝඩුවකට එක ළඟ වාඩි වීමට ලැබෙන්නෙත් නැහැ. කෙසේ හෝ වේවා, දීර්ඝ ගමනකින් පසු මෙම ජෝඩු දෙක දුම්රිය ස්ථාන දෙකක දී දුම්රියෙන් බසින අතර තම මනාලියන් දෙදෙනා මාරු වී ඇති බව මනාලයන් ඇතුළු පිරිස තේරුම් ගන්නා විට ප්‍රමාද වැඩියි.
මේ එක මනාලියකගේ නම ජයා. ඇයගේ සැමියා ප්‍රදීප්. අනෙක් මනාලිය පූල්. ඇගේ සැමියා දීපක්. පූල් ගේ සැමියා වන දීපක් දුම්රියෙන් බසින තැන දී වැරදීමෙන් ජයා ගේ අතින් අල්ලාගෙන ගිහින් තමයි දුම්රියෙන් බහින්නේ. ඒ වනවිට ඔහුගේ සැබෑ මනාලිය පූල් සිටින්නේ තද නින්දේ. 
දීපක්ට වැරදීමක් සිදුවුනු බව ජයා නොදන්නවා නොවෙයි. නමුත් ඇය ඔහු සමග දුම්රියෙන් බසින්නේ ඇයට ඒ වනවිට ප්‍රදීප්ගෙන්  පලා යාමට වුවමනා වී ඇති නිසා යි. ප්‍රදීප් යනු දෑවැද්ද ගැන පමණක්  අවධානය යොමු කරන, ප්‍රචණ්ඩ ගති පැවතුම් ඇති, සුරාසොඬ, කාන්තාලෝලී පුරුෂයෙක්.
කෙසේ හෝ වේවා, මනාලියන් දෙදෙනා මාරුවීමෙන් පසු  දිග හැරෙන්නේ  ඉතා රසවත් සහ කුතුහලය දනවන කතාවක්. මනාලියන් දෙදෙනාටත්, මනාලයන් දෙදෙනාටත් ඔවුන්ගේ සැබෑ සහකරුවන්, සහකාරියන් සොයා දෙන්නට පොලිසිය, නෑදෑයින් ඇතුළු විවිධ පාර්ශ්ව දරන උත්සාහය හරහා යි චිත්‍රපටය ඉදිරියට යන්නේ. නමුත් ජයා ගේ සිතේ මේ කව්රුත් නොදන්නා සැලසුමක් තියෙනවා.
කෙසේ හෝ වේවා, මනාලියන් දෙදෙනෙකු මාරු වීම පිළිබඳ මේ සිද්ධිය හරහා
ඉන්දියාවේ, විශේෂයෙන් ග්‍රාමීය ප්‍රදේශවල කාන්තාවන් පෙළන සමාජ, සංස්කෘතික පීඩනයන් ගැන අපූරු කතාවක් ගොඩනගන්නට නිර්මාණකරුවන් සමත් වෙනවා. ඉන්දියාවේ මෙම පසුගාමී සමාජය කාන්තාවන්ට සලකන්නේ මොන තරම් අසාධාරණ සහ කෲර ආකාරයෙන් ද, පීඩාකාරී ආකාරයෙන් ද යන්න ප්‍රේක්ෂකයාගේ හදවතටම දැනෙන ආකාරයෙන් හැඟීම්බර ලෙස ඉදිරිපත්  කිරීමට Laapataa Ladies ට හැකි වෙනවා.
ඉන්දියාවේ පවතින මෙවැනි පීඩාකාරී, අමානුෂික, අසාධාරණ   සමාජ, සංස්කෘතික ආධිපත්‍යයන් බිඳ දැමීමට ඉතා දැනුම්වත්ව  වෙර දරන ජනප්‍රිය සිනමා ධාරාවක් දැන් කාලයක සිටම එරට දැකගත හැකියි. මෙම චිත්‍රපට නිර්මාණය වන්නේ සීමිත පිරිසකට පමණක් ගෝචර වන,  "කලාත්මක" හෝ "සම්භාව්‍ය" යයි පිළිගැනෙන ආකෘතීන්ට අනුව නොවෙයි. ඊට වඩා පුළුල් ප්‍රේක්ෂක පිරිසක් වෙත ළඟා විය හැකි සරල, විනෝදාත්මක ආකෘතීන්ට අනුවයි. ඒ නිසා සමාජයේ වැඩි පිරිසක් තුළ බලපෑමක් ඇති කිරීමටත්, ඒ හරහා වටිනා සමාජ දේශපාලනික  මෙහෙවරක් ඉටු කිරීමටත් ඒවාට හැකි වෙනවා. Laapataa Ladies ද ඉඳුරාම මෙම සිනමා ධාරාවට අයත් වන ප්‍රගතිශීලී සිනමා කෘතියක්.
ඉන්දියානු ග්‍රාමීය සමාජයට අරක්ගත් පීඩාකාරී අධිපති සම්ප්‍රදායන්ට, ආකල්ප ආදියට එරෙහිව ගසන කැරැල්ලක් බඳු Laapataa Ladies ඒ ග්‍රාමීය සමාජයේ ප්‍රේක්ෂකයන්ට රස විඳිය නොහැකි ශෛලියකින් නිර්මාණය වූවා නම් එයින් ඉටුවන සමාජ මෙහෙවර බෙහෙවින් සීමා වීමට ඉඩ තිබුණා.
මේ සිනමාපටය ඉන්දියානු ජනප්‍රිය සිනමාවේ බොහෝ අංග ඇතුළත් චිත්‍රපටයක්.  එවැනි ශෛලියක් භාවිත කරමින්, පුළුල් ප්‍රේක්ෂක පිරිසක් වෙත ළඟා වෙමින් Laapataa Ladies වටිනා සමාජ මෙහෙවරක් ඉටු කරනවා.
මේ චිත්‍රපටය අධ්‍යක්ෂණය කළේ කිරන් රාඕ වුවත් මෙහි කතාව මුලින්ම හමු වී තිබුණේ ආමීර් ඛාන්ට යි. ඒ එක්තරා තිරනාටක රචනා තරගයක  දී. ඊට සහභාගි වූ තරගකරුවෙක් තමයි මෙය ලියා තිබුණේ. ඔහුගේ නම බිප්ලාබ් ගෝස්වාමි. මෙම කතාව දුටු ගමන් ආමිර් ඊට වහවැටී තිබූ අතර පසුව ඔහු ඒ ගැන කිරන් සමග සාකච්ඡා කර තිබුණා. Laapataa Ladies නිර්මාණය වීමට පසුබිම සකස් වී තිබුණේ ඒ ආකාරයෙනු යි.
ආමීර් සහ කිරන් කොහොමටත් ජනප්‍රිය සිනමාව වඩාත් ප්‍රගතිශීලී සමාජ මෙහෙවරක් සඳහා යොදවන්නට නැඹුරුවක් දක්වන දෙදෙනෙක්. ඔවුන්  නිෂ්පාදනය කළ දන්ගල්, තාරේ සමීන් පාර්, සීක්‍රට් සුපර්ස්ටාර් වැනි චිත්‍රපට මගේ මතකයට එන නිදසුන් කිහිපයක්.
මේ වසරේ පැවති ඔස්කාර් සම්මාන උළෙලට ඉන්දියාව ඉදිරිපත් කළ චිත්‍රපටයත් Laapataa Ladies.

 



අදහස් (0)

මනාලියන් දෙදෙනකු මාරුවීමෙන් උපන් ජංජාලයක් Laapataa Ladies

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්

මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 31301 38


රන්ජන් පීල්ල මාරු කරයි
2025 සැප්තැම්බර් මස 14 13496 10

මහින්දගේ නිල නිවෙස සීඅයිඩියට
2025 සැප්තැම්බර් මස 03 10997 30


මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි 2025 සැප්තැම්බර් මස 17 107 0
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 931 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 280 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

Our Group Site