
පොසොන් පුර පසළොස්වක පොහොය ලබන 29 වැනිදාට යෙදී තිබේ. මුළු රටම පොසොන් උත්සවය වෙනුවෙන් සැරසෙන මොහොතේ අනුරාධපුර ශුද්ධ බුද්ධ භූමිය ඒ වෙනුවෙන් සැරසෙන්නේ කෙසේද? මේ ඒ ගැන අනුරාධපුර මහ දිසාපති රංජිත් විමලසූරිය සමග කළ සාකච්ඡාවකි.
Q කොහොම ද පොසොන් උලෙළට සැරසීම?
මෙවරත් සුපුරුදු පරිදි මිහින්තලය පුදබිම පදනම් කරගනිමින් රාජ්‍ය පොසොන් උත්සවය උත්කර්ෂවත් ලෙස පැවැත්වීමට සියල්ල සූදානම්. මිහින්තලා රජමහා විහාරාධිපති වලවාහැංගුණවැවේ ධම්මරතන නායක ස්වාමීන් වහන්සේගේ අවවාද අනුශාසනා පරිදි ඒ සියලු කටයුතු සිද්ධ වෙනවා. මෙවර සමරන්නේ 2334 වැනි පොසොන් සැමරුමයි. පොසොන් සතිය ඇරැඹෙන්නේ ජුනි 26 වැනිදා. ජුලි 2 වැනිදා දක්වා පොසොන් සතිය පැවැත්වෙනවා.
අහුබුදු හිමි ගුණ බලෙන් යුද ගිනි නිවේවා’’ යන තේමාව යටතේ තමයි මෙවර පොසොන් උත්සවය පැවැත්වෙන්නේ. මිහින්තලා පුදබිම. අටමස්ථානය, තන්තිරිමලය යන පුදබිම්වල එහි නායක ස්වාමීන්වහන්සේලාගේ අනුශාසකත්වයෙන් ශීල ව්‍යාපාර ඇතුළු ආගමික වැඩසටහන් රැසක් සංවිධානය වෙලා තියෙනවා.
Q පොසොන් උලෙළේ වැඩ සැලැස්ම ගැන කතා කළොත්?
මිහින්තලාව පුදබිමේ සති පිරිත් පිංකම ජුනි 20 වැනි දින සවස පැන් පෙරහරෙන් ආරම්භ කරලා 27 වැනිදා දහවල් දානයෙන් අවසන් වෙනවා. මිහින්තලේදී හේවිසි ශිල්පින් පනස් දෙදෙනකුගේ සහභාගීත්වයෙන් හේවිසි පූජාව පැවැත්වෙනවා. මිහින්තලා පුදබිමේ ආලෝක පූජාව ජුනි 28 වැනිදා සිට 30 වැනිදා දක්වා පැවැත්වෙන අතර ඒ සඳහා ත්‍රෛනිකායික මහා නායක ස්වාමීන් වහන්සේලා සහ විදෙස් රටවල තානාපතිවරුන් ඇතුළු සම්භාවනීය අමුත්තන් විශාල පිරිසක් සහභාගිවීමට නියමිතයි. වාර්ෂික මිහිඳු පෙරහර ජුනි 28 වැනිදා වීථි සංචාරය කිරීමට කටයුතු යොදනවා.
Q අටමස්ථානය ආශ්‍රිතව සිදුවන පින්කම් සැලසුම කොහොම ද?
මෙවර පැන් පෙරහර ජුනි 25 වැනිදා සිදු කිරීමට නියමිතයි. තිසා වැවෙන් ලබාගන්නා ජලය ඉසුරුමුණිය විහාරස්ථානයේ සිදුකරන ආගමික වතාවත්වලින් පසුව පෙරහැරින් ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේ අබියස ඇති පිරිත් මණ්ඩපයට රැගෙන ඒමට නියමිතයි. එම කටයුත්ත ජුනි මස 26 වැනිදා සිට ජුලි 2 වැනිදා දක්වා පැවැත්වෙනවා.
අටමස්ථානය කේන්ද්‍ර කරගනිමින් ඒ විහාරස්ථානවල ශීල සමාදාන කටයුතු ඇතුළු ආගමික වැඩසටහන් පැවැත්වෙනවා. රුවන්වැලි මහා සෑය අබියසදි ශිල්පීන් පනස් දෙනෙකුගේ සහභාගීත්වයෙන් හේවිසි පූජාව පැවැත්වෙනවා. පොහොය දින සිල් සමාදන්වන හැට දහසකට වඩා පිරිස වෙනුවෙන් සවස ගිලන්පස පූජාව ලංකා බැංකුවේ අනුග්‍රහයෙන් පැවැත්වෙනවා. පොසොන් පොහොය දිනයේ ජය ශ්‍රී මහා බෝධිය අසල සිල් සමාදන්වන විසි පන්දහසකට අධික පිරිසට හීල් දානය පිරිනැමීම පිරිත් පිංකම් කමිටුවේ සහ මහජන බැංකුවේ එකමුතුවෙන් සිදුකිරීමට නියමිතයි.
මිහින්තලයේ සහ අනුරාධපුරයේ සිල් සමාදන්වන හැට දහසකට අධික පිරිස සඳහා දහවල් දානය පිරිනැමීම මධ්‍යම නුවරගම් පළාත, නැගෙනහිර නුවරගම් පළාත, මැදවච්චිය, තලාව, නාච්චාදූව යන ප්‍රාදේශීය ලේකම් කාර්යාලවල මූලිකත්වයෙන් සිදුවෙනවා. අටමස්ථානයේ සිල් සමාදන්වන පිරිසට දහවල් දානය මිහින්තලය, කහටගස්දිගිලිය, හොරොව්පතාන, ගලෙන්බිඳුණුවැව, තිරප්පනේ, රඹෑව යන ප්‍රාදේශීය ලේකම්වරුන් සහ නිලධාරීන්ගේ මූලිකත්වයෙන් සිදුවනවා.
විජය පුවත්පත් සමාගම මෙවරත් සුපුරුදු පරිදි තන්තිරිමලය පුද බිමේ ආලෝක පූජාව සිදුකරනවා. අවුකන, විජිතපුර ඇතුළු අවට විහාරස්ථානවල ද ආගමික වැඩසටහන් සංවිධානය කෙරෙනවා.
Q පොසොන් සමයම අනුරාධපුරයට අතිවිශාල පිරිසක් එනවා. ඒ එන බැතිමතුන්ට සපයන පහසුකම් මොනවාද?
පෙර වසරවලදි මෙන්ම මෙවරත් බැතිමතුන්ට පිරිසිදු පානීය ජලය ලබාදීමට ජලසම්පාදන මණ්ඩලය පියවරගෙන තියෙනවා. පොදු ජල කනු සවිකර තිබෙනවා. පෞද්ගලික අංශය ද පිරිසිදු ජලය ලබාදීමට අනුග්‍රහය දක්වලා තියෙනවා.
විදුලිය සැපයීම අඛණ්ඩව හා නිසි පරිදි සිදු කිරීමට විදුලිබල මණ්ඩලය පියවරගෙන තියෙනවා.
අවශ්‍ය පරිදි තාවකාලික වැසිකිළි පද්ධති ඉදිකර තිබෙනවා. ඒ වගේම ක්ලීන් ශ්‍රී ලංකා වැඩසටහන් යුද හමුදාව හා නගර සභාව ඒකාබද්ධව ඒ කටයුතු සිදුකරනවා.
Q පොසොන් සමයේදී අනුරාධපුරයෙන් දියේ ගිලීම් අනතුරු බහුල වශයෙන් වාර්තා වෙනවා. ඔබට ඒ සම්බන්ධයෙන් දීමට තිබෙන උපදෙස් මොකක් ද?
ඇත්තෙන්ම ඒක ඉතාම අවාසනාවන්ත තත්වයක්. අනවබෝධය, වගකීම් විරහිත බව නිසා ජීවිත අකාලයේ වැනසෙනවා. අපි මොන උපදෙස් දුන්නත් ඒවා පිළිපදින්නේ නැත්නම් වැඩක් නෑ. වන්දනාවේ එන බැතිමතුන් බුද්ධිමත්ව හා වගකීමෙන් කටයුතු කළ යුතුයි.
වැව් ආශ්‍රිත අනතුරු සිදුවන නිසා විශේෂයෙන්ම ජීවිතාරක්ෂක සේවාවන් විධිමත් කරලා තියෙනවා. තිසාවැව, අභය වැව, නුවර වැව, කනදරාව, මහ බුලංකුලම, කලාවැව ඇතුළු පිවිසුම් මාර්ගවල ඇති ජලාශවලට පවා ජීවිතාරක්ෂක සේවාවන් යෙදවීමට කටයුතු කරනවා. ජීවිතාරක්ෂක සේවා සංගමය, පොලිසිය, නාවික හමුදාව එක්ව විසි හතර පැය පුරාම මෙම ජීවිතාරක්ෂක සේවාව පවත්වාගෙන යාමට නියමිතයි.
Q සෞඛ්‍ය පහසුකම් ගැන කතා කළොත්?
සෞඛ්‍ය සේවා දෙපාර්තමේන්තුවේ මෙහෙයවීමෙන් පැය 24 පුරා ප්‍රතිකාර ලබාදීමේ වැඩපිළිවෙළ ක්‍රියාත්මකයි. පොසොන් සතිය තුළ අනුරාධපුර පැරැණි නගරයේ රෝහල පැය 24 පුරා ක්‍රියාත්මකයි. එමෙන්ම ඩෙංගු මර්දන විශේෂ වැඩසටහන් නගර සභාව, මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ මැදිහත්වීමෙන් සිදු කරනවා.
මීට අමතරව රතු කුරුස සංවිධානය, සෞඛ්‍යදාන ව්‍යාපාරය, ශාන්ත ජෝන් ගිලන් රථ සේවාව, සර්වෝදය, පළාත් ආයුර්වේද දෙපාර්තමේන්තුව ඇතුළු විවිධ සංවිධාන මගින් ප්‍රථමාධාර සේවා ස්වේච්ඡාවෙන් සිදුකිරීමට ඉදිරිපත් වී සිටිනවා. මිහින්තලය, අටමස්ථානය, තන්තිරිමලය තුළ සෞඛ්‍ය කඳවුරු ක්‍රියාත්මකයි.
Q මේ එන ලක්ෂ ගණනක ජනයාට ප්‍රවාහන පහසුකම් කොහොම ද?
ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලය හා මාර්ගස්ථ මගී ප්‍රවාහන අධිකාරිය හා දුම්රිය දෙපාර්තමේන්තුව මගින් ප්‍රවාහන පහසුකම් නිසි පරිදි ක්‍රියාත්මක කරනවා. ඒ අනුව කොළඹ ඇතුළු දුර ප්‍රදේශවල සිට අනුරාධපුරයට බස්රථ සේවා ක්‍රියාත්මක කරන අතර කොළඹ සිට විශේෂ දුම්රිය සේවා ද ක්‍රියාත්මකයි. ඒ වගේම අනුරාධපුර දුම්රිය ස්ථානයේ සිට මිහින්තලය දක්වා නොමිලේ දුම්රිය සේවාව
මෙවරත් ක්‍රියාත්මකයි. එය ජූනි 28 වැනිදා ඉඳලා දවස් තුනක් ක්‍රියාත්මක වෙනවා.
Q බැතිමතුන්ගේ ආරක්ෂාව සම්බන්ධයෙන්?
පොසොන් සමය තුළ බැතිමතුන්ගේ ආරක්ෂාව තහවුරු කිරීම සඳහා ආරක්ෂක අංශවල තුන් දහසකට ආසන්න පිරිසක් යොදවනවා. ඒ වගේම උත්සව සමයේදී ගැට කපන්නන්ගෙන් ජනතාව ආරක්ෂා කර ගැනීමට ද සැලසුම් තියෙනවා. වාහන තදබදය අවම කර ගැනීම සඳහා විශේෂ ප්‍රවාහන සැලැස්මක් තියෙනවා. එමෙන්ම බැතිමතුන්ට සහායවීම සඳහා මහමෙවුනා උයන, රුවන්වැලි සෑ රථ ගාල අසල පොකුණු තුන අසල ශ්‍රී මහා බෝධි මාවත, ථූපාරාමය අසල දිස්ත්‍රික් ලේකම් කාර්යාලය හා ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාව ඒකාබද්ධව විශේෂ විමසුම් කාර්යාල ඉදිකරනවා.
Q ලක්ෂ ගණනින් ජනතාව එනකොට පරිසරය ආරක්ෂා කිරීමත් විශාල ගැටලුවක්?
ඔව් ! ඒ නිසාම පරිසරය ආරක්ෂා කිරීම සඳහා විශේෂ අවධානයක් යොමු කරනවා. දන්සල් ආදිය සඳහා පොලිතින් භාවිතය සම්පූර්ණයෙන්ම තහනම් කරලා තියෙන්නේ. එමෙන්ම ප්ලාස්ටික් වතුර බෝතල් වෙනුවට විකල්ප වතුර බෝතල් භාවිත කළ යුතුයි. අවශ්‍ය තරම් පිරිසිදු පානීය ජලය සපයන නිසා ප්ලාස්ටික් වතුර බෝතල්වල ජලය රැගෙන ඒමෙන් වළකින ලෙස ඉල්ලනවා. ඒ වගේම කසළ බැහැර කිරීම ස්ථානගත කර ඇති කසළ බඳුන්වලටම කසළ බැහැර කළ යුතුයි. සාමාන්‍යයෙන් අනුරාධපුර ප්‍රදේශයේ කසළ එකතුවෙන්නෙ ටොන් 25 ක් පමණ වුණත් පොසොන් සමයේදී දිනකට කසළ ටොන් 500ක් පමණ ප්‍රමාණයක් එකතුවෙනවා. බැතිමතුන් මේ ගැන විශේෂ අවධානය යොමු කළ යුතුයි.
අනුරාධපුර නගර සභාව හා ශාන්ත ජෝන් විද්‍යාලය එක්ව වන්දනාවේ පැමිණි ජනතාවට නගරයට පිවිසෙන ස්ථාන හතරක දි කසළ බහාලුම් ලබාදීමට සැලසුම් කර ඇති අතර ඒවාට එකතුවන කසළ වන්දනාවේ ගොස් ආපසු පැමිණෙන විට එම බහාලුම් ලබාගත් ස්ථානයටම භාරදීම කළ යුතුයි.
Q දන්සල් සම්බන්ධයෙන් යොමුකර ඇති අවධානය?
ලක්ෂ සංඛ්‍යාත බැතිමතුන් සඳහා ආහාර පාන, සිසිල් බීම, ඔසු පැන් ආදි දන්සැල් රැසක් ක්‍රියාත්මක වෙනවා. අනුරාධපුර අවට පමණක් දන්සැල් 700කට ආසන්න ප්‍රමාණයක් ලියාපදිංචි වෙලා තියෙනවා. මේ සෑම දන්සැලක්ම මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ දැඩි පරීක්ෂාවට ලක් කරනවා.
මේ සියල්ලම පොසොන් සමයේ අනුරාධපුරයට එන ලක්ෂ සංඛ්‍යාත බැතිමතුන් සඳහායි. ඒ නිසා වන්දනාවේ යන ඔබත් ඔබගේ පුරවැසි වගකීම එයට හිමි නිසි බරින්ම ඉටුකිරීමට වගබලා ගන්නා ලෙස ඉල්ලා සිටිනවා.
ප්‍රසන්න සංජීව තෙන්නකෝන්

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd