එල්නිනෝ අවදානමක් ආරම්භ වී ඇති බව විද්‍යාඥයෝ අනතුරු අඟවයි. මෙම තත්ත්වය දැනටමත් ආරම්භ වී ඇත. එල්නිනෝ යනු පෘථිවි පෘෂ්ඨයේ උෂ්ණත්වය ඉහළ යාම නිසා ඇතිවන බලපෑම මත සුළං ධාරාවල ගමන් මඟ වෙනස් වීමෙන් වර්ෂාව හා නියඟය ඇති කිරීමට බලපාන සංසිද්ධියකි. මෙවර එය හටගන්නේ ලෝකයේ ජල ප්‍රමාණයෙන් සීයට50කට වැඩිපුර දරාගෙන සිටින පැසිපික් සාගරයෙනි. පැසිපික් සාගරයේ උෂ්ණත්වය ඉහළ යාම නිසා එම වායුධාරා අනෙක් ප්‍රදේශවලට හමායාමෙන් වර්ෂාව ලැබිය යුතු ප්‍රදේශවලට නියඟයත්, නියඟ ප්‍රදේශවලට දැඩි වර්ෂාවත් ඇති වී ගංවතුර තත්ත්වයක්ද ඇති වේ.

මෙහි ප්‍රතිඵලය ලෙස ඉන්දියාව සහ ශ්‍රී ලංකාව දෙසට දැඩි රශ්මියක් සහිත සුළං ධාරා ගලා ඒමට ඉඩ ඇති බව විද්‍යාඥයෝ අනතුරු හඟවති.ඇමෙරිකාවේ LOAA සංවිධානය දක්වන පරිදි පොළොවේ උෂ්ණත්වය සෙල්සියස් අංශක 0.8ක් ඉහළ ගියහොත් එය එල්නිනෝ තත්ත්වයකි. එය කලින් අර්ථ දක්වා තිබුණේ 0.5ක් ලෙසය. එසේම මෙම තත්ත්වය 1.5-2.0 දක්වා ඉහළ ගිය හොත් එය සුපර් එල්ලිනෝ තත්ත්වයකි. නමුත් මෙවර ඇතිවන එල්නිනෝ තත්ත්වය සෙල්සියස් අංශක 2.8-3.2ක් අතර විය හැකි බවට අනාවැකි පළ කොට පුරෝකථනය කර තිබේ. 

එය සුපර් එල්නිනෝ තත්ත්වයකට වඩා බරපතළය. මෙම තත්ත්වය නිසා ලෝකයේ දේශගුණය උඩු යටිකුරු වීම සිදු වේ.  එසේම වායු තලයේ උෂ්ණත්වය ඉහළ යයි. එය සෘජුවම ඇළ දොළ ගංගා ගහ කොළ සතා සිව්පාවන්ට බලපායි. එසේම මුහුදු ජලය උෂ්ණත්වය ඉහළ යාම නිසා මුහුදු රළෙහි ද බරපතළ වෙනස්කම් සිදු වේ. මෙය මුහුදු ජීවින්ටද බලපායි. මුහුදු ජලයේ උෂ්ණත්වය ඉහළ යාම නිසා පෘථිවියේ උෂ්ණත්වය සමතුලිත කිරීමේ හැකියාව ගිලිහී යයි. මෙම තත්ත්වය උග්‍ර අතට හැරීම නිසා ලෝකයේ දේශගුණික විපර්යාස ඇතිවීම වැළැක්විය නොහැක. 

මෙම තත්ත්වය ශ්‍රී ලංකාවට බලපාන අයුරු මෙන්ම රටේ කෘෂිකර්මය සහ ආහාර සුරක්‍ෂිතතාවට බලපාන අයුරු සලකා බැලුව හොත් ඉතා අවාසනාවන්ත තත්ත්වයක් ඇති විය හැකි බවට කරුණු පෙනේ. ශ්‍රී ලංකාවේ ප්‍රධාන ජලාශ 73 ක් ඇති අතර තවත් මහා පරිමාණ ජලාශ 158 ක් වශයෙන් ජලාශ්‍ර 231 ක් ප්‍රධාන වශයෙන් ඇත. සුළු පරිමාණ ජලාශ දහස් ගණනක් ඇත. සුළු පරිමාණ ජලාශ දහස් ගණනක් ඇත. මේවායේ ජල ධාරිතාව ඝන මීටර් මිලියන 4200කි. දළ වශයෙන් යළ කන්නයේ හෙක්ටයාර 4 1/2- 5 ක් ද මහ කන්නයේ 7 1/2 -8 ක් ද වගා කෙරේ. මහ කන්නයේ ජල අවශ්‍යතාවෙන් සීයට 95ක් ම සපයන්නේ ජලාශවලිනි. එසේම ජාතික වී නිෂ්පාදනයෙන් සීයට 65ක් සපයන්නේ මහ කන්නයේය. එල්නිනෝ තත්ත්වයේ බරපතළ ආපදාව ඇතිවන්නේ මහ කන්නයටය. යල කන්නයේ අඩක් දැන් ගෙවී හමාරය.

මහ කන්නයේ ජල අවශ්‍යතාවෙන් සීයට95ක් ම සපයන්නේ ජලාශවලිනි. එසේම ජාතික වී නිෂ්පාදනයෙන් සීයට65ක් සපයන්නේ මහ කන්නයේය. එල්නිනෝ තත්ත්වයේ බරපතළ ආපදාව ඇතිවන්නේ මහ කන්නයටය. යල කන්නයේ අඩක් දැන් ගෙවී හමාරය.

නිරිත දිග මෝසම ජූලි මැද දක්වා සක්‍රීයව පැවතුණ හොත් යළ කන්නයේ ජල අවශ්‍යතාව සියයට60 - 70 අතර ප්‍රමාණයක් සම්පූර්ණ වී අවසන්ය. ගොයම් පැසීම අවසන් ව අස්වනු නෙළන අවධිය වන විට ජල අවශ්‍යතාව පැන නගිනුයේ අඩුවෙනි. ඒ අනුව මහකන්නය සැප්තැම්බර් 15 ආරම්භ වන විට ජල හිඟයක් ඇතිවුව හොත් දරුණු විපාකවලට මුහුණ දීමට සිදු වනු ඇත. එල්නිනෝ තත්ත්වයේ බලපෑම බරපතළ ලෙස ඇතිවන්නේ ලංකාවේ වියළි කලාපයටය. ඒ අනුව වී වගා කරන ප්‍රධාන දිස්ත්‍රික්ක පිහිටි මෙම ප්‍රදේශවල තත්ත්වය බරපතළ ව්‍යවසනයකට පත්විය හැක. අනුරාධපුරය, පොළොන්නරුව, කුරුණෑගල, වව්නියාව, මඩකලපුව, අම්පාර, හම්බන්තොට වැනි ප්‍රදේශ මෙන්ම මහවැලි B.C.G.H.D. වැනි කලාප ද උඩවලවේ වැනි කලාපවලටද උග්‍ර ජල හිඟයකට මුහුණපෑමට සිදුවිය හැක. එසේම කෙත්වතු විනාශවීමට ඉඩ ඇත.

විද්‍යාඥයන් පළ කරන පුරෝකථන අනුව ලෝකයේ වගා කරන බිම් වලින් සියයට30 ක් මෙම එල්නිනෝ තත්ත්වය හමුවේ විනාශ විය හැකි බවය. එය ලංකාවටද පොදු තත්ත්වයකි. වී වගාව සම්බන්ධයෙන් පමණක් නොව මෙම තත්ත්වය තේ, පොල්, රබර් ප්‍රධාන වැවිලි භෝග, සුළු අපනයන භෝග, එළවළු, පලතුරු ඇතුළු සියලු කෘෂිකාර්මික භෝග සහ ඖෂධ පැළෑටි ආදි සියල්ලටම බලපානු ඇත. මල් වගාවට පවා බලපාන බැවින් මෙම තත්ත්වය සුළුවෙන් තැකිය නොහැක. එසේම මොන ක්‍රියාමාර්ග ගත්තද එහි රුදුරු ස්වභාවය පාලනය කළ නොහැක. සිදුවන්නේ එයට මුහුණ දීම පමණයි. නමුත් එහි බලපෑම අවම කර ගැනීමට පියවර ගතහැක.

ශ්‍රී ලංකාවේ විදුලිබල නිෂ්පාදනයෙන් සියයට40 ක් නිපදවන්නේ ජල විදුලියෙනි. එබැවින් ජල විදුලිය නිපදවීම සඳහා ජලය අවශ්‍ය කෙරේ. මහ කන්නයේ හෙක්ටයාර ලක්‍ෂ 8 ක් වගා කිරීම සඳහා ජලය අවශ්‍ය කෙරේ. මහා කන්නයේ වර්ෂාව ලැබෙන්නේ වියළි කලාපයට ඊසාන දිග මෝසම මගිනි. ඔක්තෝබර් සිට ජනවාරි දක්වා මෙම මෝසම් වර්ෂාව පවතී. එල්නිනෝ තත්ත්වයේ ආයුකාලය සාමාන්‍ය වසර දෙකකි. ඒ අනුව මෙම එල්නිනෝ තත්ත්වය අවම වශයෙන් ලබන අප්‍රේල් දක්වා පවතින බවට අනාවැකි පළ කෙරේ.

එසේ වුව හොත් මහ කන්නය සඳහා අවශ්‍ය ජලය නොලැබී යා හැක. මහ කන්නය සියයට95ක වගා කරන්නේ මහා වාරිමර්ග ජලය මගිනි. ඒ අනුව මහ කන්නය අසාර්ථක වීමට බොහෝ ඉඩකඩ ඇත. මීට අමතර වශයෙන් සමස්තයක් වශයෙන් මුළු රටම ජලය හිඟයකට මුහුණපායි. පානීය ජලය, එදිනෙදා ගෘහස්ථ කටයුතුවලට අවශ්‍ය ජලය හා කර්මාන්තශාලා සඳහා අවශ්‍ය ජලය ආදී සියල්ලටම මෙහි බලපෑම ඇති කරයි. සමස්තයක් වශයෙන් ගත් කල රටම අකර්මණ්‍ය විය හැක.

මෙම තත්ත්වය මඟහරවා ගැනීම සඳහා රජය වහාම පියවර ගත යුතුය. මහ ජනතාව මේ සම්බන්ධව දැනුම්වත් වී නොමැත. මෙහි බරපතළකම තේරුම් ගෙන නොමැත. ජලය අරපිරිමැස්මෙන් භාවිත කිරීම, නියඟයට ඔරොත්තු දෙන ප්‍රභේද වගා කිරීම, වී වගාව එකම කාලයකට යායම ආරම්භකොට ජලය අරපිරිමැස්මෙන් භාවිත කිරීම, ප්‍රධාන ජලාශ වල ජලය භෝග ප්‍රමුඛතාව මත නිදහස් කිරීම, කන්න රැස්වීම් ආදිය කලට වේලාවට පවත්වා තීන්දු ගෙන මුළු රටම එම කාලයක වගාව ආරම්භ කිරීම ගෘහස්ථ ජල පාරිභෝජනය සීමා කිරීම වැනි ක්‍රියාමාර්ග ගත යුතුව තිබේ. 

රනිල් වික්‍රමසිංහ ජනාධිපති ධුරය හොබවන කාලයේ 2023 ජූලි 10 දින එවකට සිටි කැබිනට් මණ්ඩලය ජල පනතක් අනුමත කරන ලදී. නමුත් දේශපාලන හේතු මත මෙම ජල පනත ක්‍රියාත්මක වූයේ නැත. එසේ වූවා නම් ජලය සඳහා යම් මුදලක් අයකිරීමට තීරණය කර තිබිණ. අප රටේ ජලය සම්පතක් වන අතර මුදල් ගෙවීමක් සිදු නොවේ. ජල සම්පාදන මණ්ඩලය මගින් සපයන ජලයට මුදල් ගෙවූවද ඇළ දොළ සඳහා මුදල් අය නොකෙරේ. මෙම පනත මගින් මුදල් අය කිරීමට යෝජනා වී තිබිණ. එය එසේ වූවා නම් ජනතාවට ජලයේ වටිනාකම දැනෙනු ඇත. මුදල් දී ජලය මිලදී ගැනීමේ දී යම් නිසි සීමාවක් සිදුවේ. අද බොහෝ තැන්වල ජලය විශාල වශයෙන් අපතේ යවයි. අරපිරිමැස්මක් නැත. 

එසේම ජලාශ, ඇළ දොළ, ගංගා සියල්ල මිනිසුන් විසින් බරපතළ ලෙස අපිරිසිදු කෙරේ. දිට්වා සුළි කුණාටුව මෙන්ම එල්නිනෝ ද ලංකාවට පමණක් නොව ලෝකයටම බලපෑම් කරන්නේ මහජනයා විසින් පරිසරයට කරන විනාශයේ ප්‍රතිඵලයක් ලෙසය. ඕනෑම ක්‍රියාවකට ප්‍රතිවිරුද්ධ ක්‍රියාවක් ඇත. එය ලොව ධර්මතාවකි. ඒ අනුව අප පරිසරයට කරන විනාශයට පෙරළා ලැබෙන දඬුවම අප විඳගත යුතුව තිබේ.

එල්නිනෝ තත්ත්වය නිසා ආහාර අර්බුදයක් පැන නැගීමට බොහෝ ඉඩ කඩ ඇත. සියලු ආහාර ද්‍රව්‍යවල හිඟයක් මෙන්ම මිල ඉහළ යාමක් සිදු වේ. අප රටේ ආහාර සුරක්‍ෂිතතාවක් නැත. මෙම එල්නිනෝ තත්ත්වය ඉන්දියාව, පකිස්ථානය, බුරුමය, ඉන්දුනීසියාව වැනි රටවලටද බලපායි. එවිට අපට අවශ්‍ය සහල්, අර්තාපල්, බී ලූනු, පරිප්පු, අනෙකුත් ද්‍රව්‍ය ආනයනය කර ගැනීමේද ගැටලු පැන නගී. එම රටවල් ද මෙවැනි තත්ත්වයකට මුහුණ දුන් විට එවැනි ද්‍රව්‍ය අපනයනය සීමා කිරීම සහ තහනම් කිරීම සිදු කරයි. ඒ ඔවුන්ගේ ජනතාවට කන්න දීමට එම ආහාර ද්‍රව්‍ය අවශය බැවිනි. එවිට ශ්‍රී ලංකාව අනාථවනු ඇත. දැනටමත් අන්තර් ජාතික සංවිධාන පෙන්වා දෙන්නේ මැදපෙරදිග යුද්ධය නිසා ආහාර අර්බුදයක් පැන නගින දෙවන රට ශ්‍රී ලංකාව බවයි. එසේ නම් මෙවැනි තත්ත්වයක් යටතේ ශ්‍රී ලංකාවට අත්වන ඉරණම අමුතුවෙන් කිවයුතු නොවේ.

පොහොර ඉල්ලා රජයට විරෝධය පාන එක නවතා ගොවි සංවිධාන මෙන්ම ගොවි නායකයන් තම තමන්ගේ ප්‍රදේශවලට එල්ල විය හැකි හානිය ගැන කල්පනා කොට ඒවායින් මිදීමට දැන් සිටම පියවර ගත යුතුව තිබේ.

මෙැවනි එල්නිනෝ තත්ත්වයක් මීට ප්‍රථම ඇති වී ඇත්තේ 1867 වසරේ දී ය. මීට වසර 150කට පෙරය. මෙම තත්ත්වයේ දී උග්‍ර ආහාර හිඟයක්ද, උෂ්ණත්වය ඉහළ යාමෙන්ද මිනිස් ජීවිත මිලියන ගණනක් විනාශ වූ බව පැවැසේ. මේ පිළිබඳව දත්ත හෝ තොරතුරු ප්‍රකටව නැත. අප මුතුන් මිත්තන්ද එවැන්නක් ප්‍රකාශ කර නැත. සාගත තත්ත්වයක් උද්ගත වී තිබුණා විය හැක. 

1867 වසරේ දී ඉංග්‍රීසින්ගේ පාලනය යටතේ අප ගත කළ යුගය වන අතර මුලින්ම ලංකාවට තේ වගාව හඳුන්වා දුන් වර්ෂයයි. මෙවැනි සාගත තත්ත්වයක් පැහැදිලිව දක්වා නොමැත. සමහර විට ලෝකයේ අනෙකුත් රටවලට බලපෑවද ලංකාවට දරුණු ලෙස බල නොපාන්නට ඇත. ඈත ඉතිහාසයේ බැමිණිටියා සාය නමින් දුර්භික්ෂයක් පැවැති බව ඉතිහාසගත කරුණුවල සඳහන් කර තිබේ. මේ ගැන විස්තරයක් නොමැත. කෙසේ වෙතත් අතීතය අමතක කොට වර්තමාන තත්ත්වයට අප මුහුණ දිය යුතුය. ඒ සඳහා අවශ්‍ය පියවර ගත යුතුය. 

පොහොර ඉල්ලා රජයට විරෝධය පාන එක නවතා ගොවි සංවිධාන මෙන්ම ගොවි නායකයන් තම තමන්ගේ ප්‍රදේශවලට එල්ල විය හැකි හානිය ගැන කල්පනා කොට ඒවායින් මිදීමට දැන් සිටම පියවර ගත යුතුව තිබේ. ආරක්‍ෂා කරගත හැකි ආහාර ද්‍රව්‍ය ආරක්‍ෂා කර ගැනීමට සුදුසු වී ප්‍රභේද සහ එළවළු වර්ග වගා කිරීම, ජලය අරපිරිමැස්මෙන් භාවිත කිරීම ආදිය සාකච්ඡා කොට ක්‍රියාත්මක කළ යුතුය. සිදුවිය හැකි හානිය අවම කර ගැනීමට මෙයින් හැකියාව ඇත. එසේම මිනිස් ජීවිත සඳහා සහ උෂ්ණය නිසා යම් තර්ජනයක් පවතී නම් එයින් ආරක්‍ෂා වීමට කටයුතු කළ යුතුය.

අප රටේ ජනතාවගේ පුරුද්ද වී ඇත්තේ යම් විපතක්, කරදරයක් වන තුරු බලා සිටීම මිස එයින් මිදීමට පෙර සූදානමක් නොමැති වීමයි. මෙරට කාලගුණ දෙපාර්තමේන්තුවට දිට්වා සුළි කුණාටුව පිළිබඳ අනතුරු අඟවා තිබියදී ජනතාව ඒවා ගණන් ගත්තේ නැත. විශාල විනාශයක් වන තුරු බලා සිටියේය. රජය වුවද ගත යුතු නිසි ක්‍රියාමාර්ග ගත්තේ නැත. උදාහරණයක් ලෙස කොත්මලේ ජලාශයේ ජලය විටින් විට මුදාහැරියා නම් ගම්පල, ගෙලිඔය, පේරාදෙණිය වැනි ප්‍රදේශවලට සිදුවිය හැකි හානිය අවම කර ගැනීමට ඉඩ තිබිණි. 

රජයේ මෙන්ම ජනතාවගේද මේ සම්බන්ධ උනන්දුව සහ සහයෝගය ලැබිය යුතුය. දිගින් දිගටම අප රට ස්වාභාවික ව්‍යසනයන්ට යටත් වෙමින් සිටී. කොරෝනා ව්‍යසනය, ආර්ථික අර්බුදය, දිට්වා සුළිකුණාටුව, මැද පෙරදිග යුද ගැටුම් බලපෑම ආදිය 

නිසා රටේ සමාජ ජීවිතය අඩාළ වෙමින් පවතී. එබැවින් සමාජය වගකීමක් ලෙස සලකා සැවොම එක් වී මෙම තත්ත්වය පාලනය කර ගැනීමට කැප විය යුතුය.

මාගේ පෞද්ගලික විශ්වාසය වන්නේ මෙම එල්නිනෝ තත්ත්වය ශ්‍රී ලංකාවට දැඩි බලපෑමක් එල්ල නොකරනු ඇත යන්නය. ලංකාව මුහුදෙන් වට වූ දූපතක් වන බැවින්ද, අප රටේ තෙත් කලාපය ජල පෝෂක ප්‍රදේශයක් බැවින්ද තද බල සුළං ධාරා ඉන්දියාව හරහා ගමන් කිරීමට ඉඩ ඇති බැවින්ද බොහෝ දුරට අපට විය යුතු පීඩාව අවම වේ යැයි විශ්වාස කරමි.