IMG-LOGO

2025 සැප්තැම්බර් මස 15 වන සඳුදා


සහරාන්ගේ නුවරඑළියේ පුහුණු කඳවුර

මොහොමඩ් සහරාන් කඳවුර පැවැත් වූ නුවරඑළියේ රුවන්එළියේ බ්ලූ අයි ඉන් ලැගුම්හල.

අම්පාර සිට රැගෙන ආ මොහොමඩ් හසීස් සැකකරු රඳවා තිබූ වාහනය

මොහොමඩ් සහරාන් අවි පුහුණුවට ගෙනා ආයුධ තබා තිබූ කාමරය යුද හමුද‌ා නිලධාරින් පරික්ෂා කරද්දී.

 

 

2019 අප්‍රේල් 21 වන පාස්කු ඉරු දින කුරිරු ත්‍රස්තවාදීන් එල්ල කළ පාපතර ප්‍රහාරය ශ්‍රී ලංකාව ඇතුළු ලෝකවාසීන්ම කම්පනයට පත් කරන්නට සමත් විය. එම සිද්ධිය සමගම නුවරඑළියේ වසන්ත උත්සවයට සැරසුණු නුවරඑළිය නගරය ද එක තැන නතර වූයේ ඉදිරි උත්සව සැණකෙළි සියල්ල අවලංගු කරමිනි. අවමංගල සිරිගත් නුවරඑළිය නගරය සුදුකොඩිවලින් පිරී ගියේය. මාසයක් පුරා වසන්ත උත්සවය සඳහා දිවා රෑ ආරක්ෂාව සැපයූ පොලිස් නිලධාරීන් ඇතුළු ආරක්ෂක අංශය විඩාවකින් පසු හුස්ම ගත්තා පමණකි. යළිත් ඔවුන්ට රටේ ආරක්ෂාව පිළිබඳව තම දැඩි අවධානය යොමු කරන්නට සිදුවිණි.  


 දින දින රට පුරා ත්‍රස්තවාදී ක්‍රියාකාරකම්වලට සැරසුණු අයුරු සඟවා තිබූ අවි ආයුධ හමු වීමත් බුද්ධි සේවා අංශයේ හා පොලිසියත් ත්‍රිවිධ හමුද‌ාවේ නිලධාරින් එක්ව කළ සක්‍රීය මෙහෙයුමත් නිසා කොයි කාගේත් සිත් දැඩි ලෙස පෙළෙන්නට විණ.  


 දිවයිනේ විවිධ ප්‍රදේශවලින් තියුණු ආයුධ තොග හමුවෙද්දී අම්පාර දිසාවේ ආරක්ෂක අංශ නිලධාරීන් විසින් 2019.04.26 වන දින සමන්තුරේ දී හා කල්මුනේ දී නොසිතූ අයුරින් ආයුධ තොගයක් සොයා ගැනිණ. එහිදී මරාගෙන මැරෙන ත්‍රස්තවාදීන් කීප දෙනෙකු ද මියගිය බව දන්නා කරුණකි. මෙම සිද්ධිවලින් පසුව අම්පාර කාත්තන්කුඩි මුහුමදුආරු පාරේ පදිංචිව සිටි 24 වියැති අබ්දුල් හසීස් මොහමුදු රියාසාත් යන අය අත්අඩංගුවට ගැනීමට ආරක්ෂක අංශවලට හැකි විය.  


 එම සැකකරුගෙන් කළ ප්‍රශ්න කිරීම්වල දී මීට මාස ගණනාවකට පෙරදී 2018 වසරේ මැද භාගයේ දී නුවරඑළියේ කිසියම් වූ නිවසක තව්හිත් ජමාත් නායක මොහොමඩ් සහරාන් විසින් කඳවුරක් පවත්වා ඇති බවත් අද‌ාළ සැකකරු ද කඳවුරට සහභාගි වී ඇති බවත් අනාවරණය විය. ඒ අනුව නුවරඑළියේ පුහුණුව ලැබූ ස්ථානය පිළිබඳව ආරක්ෂක අංශවල අවධානය යොමු විය. මෙ පුහුණු කඳවුර පැවැත් වූ බව කියන වයිට් හවුස් නමින් වූ නිවසක් පිළිබඳව දින ගණනාවක් විමර්ශනය කෙරිණ. රාජ්‍ය බුද්ධි සේවාව ඇතුළු ආරක්ෂක කණ්ඩායම් ත්‍රස්තයන්ගේ පුහුණු කඳවුරු පැවැත් වූ ස්ථානය සොයන්නට වෙහෙසුණා. දින ගණනාවක් නුවරඑළියේ විමර්ශන සිදුකළ අතර නුවරඑළිය පොලිස් අධිකාරි අයි.බී.ටී. සුගතපාල මහතා, අම්පාර පොලිස් අධිකාරි සාමන්ත විජේසේකර මහතා වෙත දැනුම් දෙමින් අද‌ාළ කඳවුරු පැවැති ස්ථාන සොයා ගැනුමට සැකකාර අබ්දුල් හසීස් මොහොමුදු රියාසාත් නුවරඑළියට එවන ලෙස ඉල්ලීමක් කර ඇත.  


 ඒ අනුව අම්පාර පොලිස් අධිකාරිවරයාගේ උපදෙස් මත දැඩි ආරක්ෂාව සහිතව ආරක්ෂක නිලධාරින් කණ්ඩායමක් සැකකරු 2019.05.05 වන දින නුවරඑළියට රැගෙන පැමිණ ඇත. 5 වන දින රාත්‍රිය වනතුරු සැකකරු විසින් අනුමාන වශයෙන් සඳහන් කරන තොරතුරු ඔස්සේ හඹා ගිය රාජ්‍ය බුද්ධි අංශ නිලධාරින් හා පොලිසිය හමුද‌ාව විමර්ශන කටයුතු කළ ද අද‌ාළ කඳවුරු පැවැති ස්ථානය සොයා ගැනීමට අපොහොසත් විය.  


යළි පසු දින සැකකරුගෙන් විටින් විට ප්‍රශ්න කරමින් නුවරඑළිය මීපිලිමාන කන්දේඇළ, රුවන්එළිය නානුඔය දක්වා වූ ප්‍රදේශ ද දැඩි සෝදිසියකට ලක් කළහ.  


 නිලධාරින් සැකකරු එල්ඊඩී දැන්වීම් පුවරුවක් සම්බන්ධව දැක්වූ අදහසක් ඔස්සේ ද විමර්ශනය සිදුකරමින් කළුකැලේ ප්‍රදේශයට ද ගොස් පරික්ෂණ සිදුකර ඇත. ඒත් සමගම සැකකාර අබ්දුල් විසින් කඳවුර පැවැත් වූ බව කියන ලද දෙමහල් ගොඩනැගිල්ලෙන් පඩිපෙළ ඔස්සේ පහළට බසිද්දී දිගැති උස් ගොඩනැගිලි දෙකක් දුටු බව සඳහන් කර ඇත. ඒ අනුව ආරක්ෂක අංශ නුවරඑළිය, රුවන්එළිය පල්ලිය පාරේ අංක 81/1 (බ්ලූ අයි ඉන්) නමැති ස්ථානය සොයා ගැනිණ.  


 ආරක්ෂක අංශ නිලධාරින් එම ස්ථානයට යන විට එම ගොඩනැගිල්ල වසා දමා තිබිණ. අළුපාට තින්ත ආලේප කර තිබුණු මෙම ගොඩනැගිල්ල ලැගුම්හලක් ලෙස ගම්පොළ ප්‍රදේශයේ පුද්ගලයෙකු විසින් බද්දට ගෙන පවත්වාගෙන යන්නක් බව අවට ප්‍රදේශවාසීන්ගෙන් කළ විමසීම්වල දී අනාවරණය විය. ඉන්පසු වසා දමා තිබූ නිවසේ ඉහළ මහලට නිවසට බාහිරින් පිහිටි පඩිපෙළක් ඔස්සේ නැග පසුපස දොරක් විවෘත කළ ආරක්ෂක නිලධාරීහු ඊට ඇතුළු වී විමර්ශන කටයුතු ආරම්භ කළහ. සැකකාර අබ්දුල් හසීස් මොහොමදු රියාසාත් ද ආරක්ෂක නිලධාරින් විසින් පරික්ෂණය සඳහා දෙමහල් ගොඩනැගිල්ලට කැඳවා ගනිමින් කාමරයක් කාමරයක් පාසා ඔහු කැටුව ගොස් ඔහුගෙන් තොරතුරු ලබාගත්හ. එහිදී අද‌ාළ සැකකරු තවුහිත් ජමාත් සංවිධානයේ නායක මොහොමඩ් සහරාන් විසින් පන්ති පැවැත් වූ කාමරය ඔහු ලැගුම් ගත් කාමරයත්, ටී 56 ගිනි අවිය ගලවා එය යළි සවි කරන අයුරු හා අවි පිළිබඳවත් බෝම්බ පිළිබඳවත් පුහුණුව ලබා දී දේශන පැවැත් වූ වීඩියෝ පටි ගණනාවක් ද තමන් ඇතුළු කණ්ඩායමට පෙන්වූ බවට ද කරුණු අනාවරණය කර ඇත.  


මෙම පුහුණු කඳවුරේ දී සහරාන් විසින් සහභාගි වූ අයගෙන් දිවුරුමක් ද ලබාගත් බවත් ඇතැම් දෙනා එය සිදුනොකළ බවත් ඔහු තවදුරටත් පවසා ඇත. අද‌ාළ දෙමහල් ගොඩනැගිල්ලේ දොර ජනෙල් සියල්ලම වසා තිර රෙදිවලින් ආවරණය කොට පුහුණුව පැවැත් වූ අතර පුහුණුවට සහභාගි වූ ඔවුනොවුන් අතර අදහස් හුවමාරු ද සහරාන් විසින් තහනම් කර තිබුණු බවට සැකකරු විසින් සඳහන් කොට ඇත.  


 අබ්දුල් හසීස් නමැති මෙම සැකකරු මීගමුවේ කටුවාපිටිය දේවස්ථානයේ දී මරාගෙන මැරුණු පුද්ගලයා හොඳින් දන්නා හඳුනන අයෙකු බව ද තාක්ෂණය පිළිඳ දැනුම ඇත්තකු බව ද ආරක්ෂක අංශ විසින් හඳුනාගෙන ඇත. පුහුණු කඳවුරට සහභාගි වූ අය අතර පාස්කු ඉරු දින මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයට සහභාගි වූ අය ද සිටි බවට සැකකරු සඳහන් කර ඇති බව කියැවේ.  


 සහරාන්ගේ මේ නුවරඑළිය පුහුණු කඳවුරට අයත් ලැගුම්හල බදු පදනමක් මත පවත්වාගෙන ගිය ගම්පොළ නිකපිටිය, කැකිරිගොඩ ගෙදර සුනිල් කුලරත්න නමැති 57 වියැති පුද්ගලයා 2019.05.06 වන දින ගම්පොළ සිට රාත්‍රියේ නුවරඑළිය පොලිසියට පැමිණීමෙන් පසු ඔහුගෙන් කළ ප්‍රශ්න කිරීම්වලදී 2018.06.06 වන දින නුවරඑළිය පදිංචි තැනැත්තියකගෙන් බදු වශයෙන් ගෙන මෙම දෙමහල් නිවස පවත්වාගෙන යන බවත් එම නිවසේ නුවරඑළියට එන සංචාරකයින්ට ලැගුම් දෙන බව ද පවසා ඇත.  
 2018 වසරේ දී තමා බදු ගත් පසු වාර තුනක් පමණ ලැගුම්හල තුළ ගුරුවරුන් පිරිසකට නවාතැන් පහසුකම් සපයා දෙන ලෙස විටින් විට ගම්පොළ සිට යතුරුපැදියකින් පැමිණි දෙදෙනෙකු විසින් නිවස අත්තිකාරම් දී වෙන් කොට ගිය බවත් ඒ සෑම අවස්ථාවකදීම තමාගේ කාමරය ද ඔවුන් විසින් ලබාගත් බවත් තමා එම දිනවල වෙනත් නිවසක ලැගුම් ගත් බව ද පවසා ඇත.  


 ‘බ්ලූ අයි ඉන්’ කියා නිවසට දැන්වීමක් ගසා තිබුණ ද ලැගුම්හල් හිමියා විසින් ‘ටියුලිප් විලා’ යනුවෙන් ද මෙම ලැගුම්හල භාවිත කර ඇති බව පොලිසිය විසින් තොරතුරු අනාවරණය කරගෙන ඇත. මෙම නිවසට අප්‍රේල් මාසයේ මැද භාගයේ දී නැගෙනහිර ප්‍රදේශයේ සිට පිරිස් පැමිණ ලැගුම් ගෙන සිටි බවට ද තොරතුරු අනාවරණය වේ.  

 

මොහොමඩ් සහරාන් අනුගාමිකයින්ට පන්ති පැවැත් වූ කාමරයේ ඔහු අසුන්ගත් තැන.

කඳවුරු නිවස සොයාගත් අවස්ථාවට එක් වූ පොලිස් නිලධාරින්.

 


 මේ වන විට ලැගුම්හල පවත්වාගෙන ගිය සුනිල් කුලරත්න යන අයව රැඳවුම් නියෝග මත තවදුරටත් විමර්ශනය කටයුතු සිදුකරගෙන යන බව නුවරඑළිය පොලිස් අධිකාරි අයි.බී.ටී. සුගතපාල මහතා සඳහන් කර සිටියේය. අම්පාර පොලිස් අධිකාරි සාමන්ත විජේසේකර මහතා සඳහන් කර සිටියේ ස්ථිර වශයෙන්ම දෙවතාවක් සහරාන් නුවරඑළියේ අද‌ාළ ලැගුම්හලේ අනුගාමිකයින්ට කඳවුරු පවත්වා ඇති බවට තොරතුරු අනාවරණය වී ඇති බවය. තුන් වෙනි වතාවක් පිළිබඳ තාමත් විමර්ශන සිදුකරන බවය. මෙම ලැගුම් හල සොයා ගැනීම පිළිබඳව වැඩිදුර පරික්ෂණ කටයුතු නුවරඑළියේ පොලිස් අධිකාරි අයි.බී.ටී. සුගතපාල මහතාගේ මෙහෙයවීම මත මූලස්ථාන පොලිස් පරික්ෂක චන්දන බස්නායක මහතා ප්‍රධාන පොලිස් කණ්ඩායමක් සිදුකරති.  


නුවරඑළිය සංචාරකයින්ට නිදැල්ලේ ගැවසිය හැකි තෝතැන්නක් ලෙස සලකන නිසාම සහරාන් මෙම කඳවුර නුවරඑළියේ පවත්වන්නට ඇති බව විශ්වාස කෙරේ. මේ හේතුව මතම නුවරඑළිය සංචාරක නගරයක් ලෙස සලකා ආරක්ෂාව පිළිබඳව දැඩි නීති රීති අනුගමනය කරමින් හෝටල් හා ලැගුම්හල් මෙන්ම පෞද්ගලික නිවාසවල කාමර කුලියට දෙන අය පොදු සැලසුමක් මත ක්‍රියා පිළිවෙතකට අනුගත කළ යුතුව ඇත. ඒ සඳහා අද‌ාළ ආයතන හා බලධාරින් වහ වහා ක්‍රියා කළ යුතු යුගයක් උද‌ා වී ඇති බව නුවරඑළියේ බහුතර ජනතාවගේ මතයයි. එයින් කොයි කාගේත් ජීවිත ආරක්ෂාවත් එමෙන්ම මාතෘ භූමියේ ආරක්ෂාවත් සැලසෙන බව අවසානයේ කිව යුතුව ඇත.

 

 

ඡායාරූප හා සටහන :
නුවරඑළිය ෂෙල්ටන් හෙට්ටිආරච්චි



අදහස් (1)

සහරාන්ගේ නුවරඑළියේ පුහුණු කඳවුර

sena Sunday, 19 May 2019 12:34 AM

මෙතරම් රට පූරා ආයුද ගබඩා යුද පුහුණු කඳවුරු තිබියදී බුද්ධි අංශ වලට සොයා ගන්නට අපහසු වුවේ රජය ඔවුන් අපහසුවට පත් කිරීම නිසාය.මේවා හිතා මතාම කල දේවල් බව සිතිය හැක. 60,000ක් තරුණයන් මැරීමට නියෝගකළ කෙනෙකුට තව ඕන තරම් මිනී මැරීමට පුළුවන

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්



මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 24528 26

’’අනුර ගෝ ගම පටන් ගත්තා’’
2025 අගෝස්තු මස 26 18139 35

මහින්දගේ නිල නිවෙස සීඅයිඩියට
2025 සැප්තැම්බර් මස 03 10857 30

මේවාටත් කැමතිවනු ඇති

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 574 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 172 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 832 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

Our Group Site