මහ වැස්ස ස්වාභාවික සංසිද්ධියකි. එහෙත් පැය කිහිපයක වර්ෂාවකින් පවා මහා මාර්ග ගංගා බවට පත්වී, නගරයේ පහත් බිම් ජලයෙන් යටවී, දහස් සංඛ්‍යාත ජනතාවගේ දෛනික ජනජීවිතය අඩාළ වන්නේ නම් එය හුදෙක් ස්වාභාවික විපතක් ලෙස බැහැර කළ හැකි ද? වැසි ජලය බැස යෑමට නිසි ක්‍රමවේදයක් නොමැතිකම, අවහිර වූ ජලවහන පද්ධති, අවිධිමත් නාගරික සංවර්ධනය සහ නගර සැලසුම්කරණයේ පවතින දුර්වලතා මෙවැනි තත්ත්වයන්ට කොතෙක් දුරට බලපාන්නේද යන්න බරපතළව විමසා බැලිය යුතු කරුණකි.

පසුගියදා පැය කිහිපයක් පුරා ඇදහැළුණු අධික වර්ෂාවත් සමඟ කොළඹ නගරයේ ප්‍රධාන මාර්ග රැසක් ජලයෙන් යටවී, පහත් බිම් ගණනාවක් හදිසි ජල ගැලීම් තත්ත්වයකට මුහුණ දුන්නේය. ඒ හේතුවෙන් රථවාහන ගමනාගමනය අඩාළ වූ අතර, රැකියා සඳහා පිටත්ව ගිය ජනතාවගේ සිට දෛනික අවශ්‍යතා සඳහා නගරයට පැමිණි ජනතාව දක්වා බොහෝ දෙනෙකුට දැඩි අපහසුතාවලට මුහුණ දීමට සිදුවිය.

පොඩි වැස්සටත් කොළඹ යට වෙන්නේ ඇයි? ‘ඉරිදා ලංකාදීප‘ අපි කොළඹ නාගරික කොමසාරිස් ඒ. ඩී. එස්. රෝහණගෙන් විමසීමක් කළෙමු.

”වැසි තියෙන හැම කාලෙකම වගේ වතුර වැඩිවෙලා මෙවැනි තත්ත්වයන් ඇති වෙලා තියෙනවා. සාමාන්‍යයෙන් විශාල වැස්සක් එකපාරම ඇති වුණාම මේ තත්ත්වය ඇති වෙන එක සාමාන්‍යයි. පසුගිය සිකුරාදා 5.50ට විතර තමයි වැස්ස පටන් ගත්තේ. 6.50 වෙනකොට පළවෙනි පැයේදී මිලිමීටර් 90ක වැසි වැටුණා. ඊට පස්සේ 7.00ත් 7.20ත් අතර වෙනකොට වැස්ස අඩු වුණා.

මෙහිදී දත්තවලත් ප්‍රශ්නයක් තියෙනවා. කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියනවා මිලිමීටර් 120ක පමණ වර්ෂාපතනයක් ආවා කියලා. ආපදා මධ්‍යස්ථානය කියනවා කිරුළපන ප්‍රදේශයට මිලිමීටර් 146ක පමණ වර්ෂාපතනයක් ආවා කියලා. මිලිමීටර් 120යි 146යි අතර මිලිමීටර් 26ක ලොකු වෙනසක් තියෙනවා. ඒ කියන්නේ සාමාන්‍යයෙන් ලොකු වර්ෂාපතනයක්.

සාමාන්‍යයෙන් වර්ෂාමාන ළඟ ළඟ හදන්නේ නෑ; ප්‍රදේශයකට එකක් වගේ තමයි හදන්නේ. ඒ නිසා අපි උපකල්පනය කරනවා එක් එක් ප්‍රදේශවලට මෙහෙම වැස්සා කියලා. මෙය හදිසියෙන් ඇති වුණු වර්ෂාවක් නිසා ප්‍රදේශයෙන් ප්‍රදේශයට වෙනස්. කිරුළපනට විශාල වර්ෂාපතනයක් ඇවිල්ලා තියෙනවා. මෙය සිදු වුණේ රාත්‍රියේ නම් ඔච්චරම ප්‍රසිද්ධියක් එන්නේ නෑ.

වාර්ෂික වර්ෂාපතනය මිලිමීටර් 2,500කට වැඩි නගර ලෝකයේ තියෙන්නේ ටිකයි. සිංගප්පූරුවත් ඒ වගේ නගරයක්. නමුත් සිංගප්පූරුව තාක්ෂණික හා සැලසුම් වශයෙන් ඉදිරියට ගියපු නගරයක් නිසා දැන් අපිට වඩා ගොඩක් ඉදිරියෙන් ඉන්නවා. ඉස්සර අපි ඉදිරියෙන් හිටියා. නමුත් ඇමෙරිකාව, තායිලන්තය වගේ ලෝකයේ වෙන රටවල් ගත්තත්, ඒ ගොඩක් රටවල මේ වගේ ක්ෂණික ගංවතුර ආවහම යට වෙනවා. එය සාමාන්‍ය ස්වභාවය. අපි යමකට සූදානම් වෙලා හිටියත් ඊට වඩා විශාල තත්ත්වයක් ආවොත් කරන්න දෙයක් නැහැ. එය තීරණය වෙන්නේ අපිට තියෙන මුදල් ප්‍රමාණය, හැකියාව සහ පහසුකම් මතයි.”‍

ඔබ කියන්නේ වැස්ස වැඩිවීම මිසක් ගංවතුරට කාණු පද්ධතිවල ධාරිතාව ගැන ගැටලු‍වක් නැහැ කියලා ද?

”මිලිමීටර් 30 කියන්නේ කාණු පද්ධතිවල පැයක ධාරිතාව; ඒ කියන්නේ පැයකට බැහැර කළ හැකි ශීඝ්‍රතාව. අපි කතා කරන්නේ වැස්සේ තීව්‍රතාව ගැනයි. පළවෙනි පැයේදී මිලිමීටර් 90ක් වැස්සා; පැය එකහමාරකදී මිලිමීටර් 110ත් 115ත් අතර වැස්සා. විශාල තැනකින් ජලය ඇවිත් කුඩා විවරයකින් පිටවෙනකොට එතැන වතුර රැඳීමක් වෙනවා.

අවසානයේදී වතුර බැහැර කරන්නේ එක පැත්තකින් මුහුදටයි. සමහර ඒවා බේරේ වැව හරහා ඉවත් වෙන අතර ඉතිරි ජලය අවට තියෙන ඇළ මාර්ග හරහා මුහුදට ගලනවා. මේ සම්බන්ධයෙන් පස්වෙනි පටුමගේ සහ තුම්මුල්ලේ ඇළ මාර්ග හතරක් හදලා තියෙනවා. ඊට අමතරව නිව් මුතුවැල් හා ඕල්ඞ් මුතුවැල් කියලා තවත් ඇළ මාර්ග දෙකක් තියෙනවා. නිව් මුතුවැල් 2010 දී හැදුවා. ඕල්ඞ් මුතුවැල් ලන්දේසි සමයේ හදපු එකක්.

ඉස්සර අවුරුදු ගාණකට කලින් තුම්මුල්ල ප්‍රදේශය යටවුණාම වතුර ඉවත් නොවී දවසකට වැඩි කාලයක් තිබුණා. එතකොට ඉදිකිරීම් මඟින් තමයි විසඳුම් හොයන්න පුළුවන්. දැනුත් එහෙම තැනක් තියෙනවා. ප්‍රධානම තැන තමයි ජේතවන පන්සල ළඟ. එතැන වතුර බැහැලා යන්නේ නැහැ; සෑහෙන වෙලාවක් තිබිලා තමයි ඉවත් වෙන්නේ. එය ඉදිකිරීම් මඟින් නිවැරදි කරන්න ඕනේ. නමුත් එය ලොකු මුදලක් වැයවන විශාල වැඩපිළිවෙළක්.

දැන් නගරයට මේ ආපු වතුර ගංවතුරක් නෙවෙයි, වැහි වතුරක්. ගංවතුරක් එන එක පාලනය කරන්න ගොතටුව පැත්තෙන් නගරය වටා ඉස්සර ඉඳන්ම බැමි දාලා තියෙනවා. නාගලගම් වීදියේ ෆ්ලඞ් ගේට්ස් මඟින් නගරය ආරක්ෂා කරලා තියෙනවා. ඒ මඟින් ගංවතුර තත්ත්වයකදී පොඩි ප්‍රදේශයක් යට වුණත් ලොකු ප්‍රදේශයක් ආරක්ෂා වෙනවා.

දවසක වර්ෂාපතනය මිලිමීටර් 40ක් වුණත්, ඒ වැස්ස විනාඩි 30කින් වැස්සොත් නගරය යටවෙන්න පුළුවන්. පැය භාගෙකට මිලිමීටර් 40ක් වැස්සා නම්, පැයකට මිලිමීටර් 80ක තීව්‍රතාවයක්. වහින්නේ පුංචි කාලයක් වුණාට ඒ ගණනය කිරීම තමයි නිවැරදි. ඕනෑම ජල ගැලීමක් අපි සූදානම් වෙලා ඉන්න තත්ත්වයට වඩා වැඩියෙන් සිදු වෙන්න පුළුවන්.

ඒ වගේම කැළිකසළ ප්‍රශ්නයකුත් තියෙනවා. කොළඹ නගරයේ කුණු බැහැර කරන්න අපේ යෝජනාවක් අනුව හදපු ලංකාවේ පළවෙනි කසළවලින් විදුලිය නිපදවන බලාගාරය කෙරවලපිටියේ තියෙනවා. වසර කිහිපයකට කලින් මීතොටමුල්ල කසළ කන්ද නාය යාමෙන් පස්සේ තමයි අපි ඒ බලාගාරයට ගියේ. එහිදී දිරන සහ නොදිරන කසළ පුච්චලා විදුලිය හදනවා. මේ ක්‍රියාවලිය හරිම ප්‍රයෝජනවත්.

අපි හැමෝටම කියන්නේ කසළ වෙන් කරලා දෙන්න කියලා. වෙන් කරලා අරගෙන නොදිරන ප්ලාස්ටික් පුච්චලා තමයි දිරන ටික පුච්චන්නේ. එහෙම වුණේ නැත්නම් ඒ බලාගාරය ක්‍රියාත්මක කරන්න බැහැ. මේ දේ දකිනකොට මිනිස්සුන්ගේ උනන්දුව නැතිවෙන්න පුළුවන්. හැබැයි අපි හැමවෙලේම කියන්නේ කසළ වෙන් කරන්න ඕනේ කියලයි. සමහර මිනිස්සු කොච්චර කිව්වත් කසළ වෙන් කරන්නේ නැහැ. ඒවා අපි භාරගත්තේ නැති වුණහම ඔවුන් ඒවා ඇළ මාර්ගවලට හෝ රක්ෂිතවලට විසි කරනවා. එතකොට මේ වගේ අධික වැස්සකදී වටේපිටේ දාපු කසළත් සෝදගෙන ඇවිත් කාණුවල හිරවෙනවා.”‍

නගරයේ අනවසර ඉදිකිරීම් මේ තත්ත්වයට ප්‍රධාන ලෙස බලපෑවා නේද?

”ඔව්, නිවාසවල අනවසර ඉදිකිරීම් බලපෑමක් එල්ල කරනවා. නගරයේ සියයට පනහක පමණ ජනතාව ජීවත් වෙන්නේ අඩු පහසුකම් ජනාවාසවල. මේ කොටස්වල අනවසර ඉදිකිරීම් බොහොමයක් තිබෙනවා. එහිදී කෙරෙන්නේ ඉඩ තියෙන තැන්වල තව ගෙවල් හැදීමයි. මේවාට අදාළ ප්‍රජාවගෙන්ම විරුද්ධත්වයක් එනවා නම් අපිට පියවරක් ගන්න පුළුවන්. නමුත් ඒක නොදන්වා ඉඩ දුන්නොත් පහුවෙලා පියවරක් ගන්න අපහසුයි.

මහ පාර අයිනේ කාණු නම් අපිට ශුද්ධ කරන්න පුළුවන්. ඒ වුණාට වතු ඇතුළෙන් ගලන වතුර පාරවල් අයිනට වෙනකල් මිනිස්සු ගෙවල් හදනවා. එහෙම වුණහම අපිට කානු ශුද්ධ කරන්න එක තැනක ඉඳන් මීටර් 150ක් 200ක් විතර කසළ ඇදගෙන යන්න වෙනවා. ඒවා ශුද්ධ කරන්න හැකියාවක් නැහැ. ඒ වගේම වතු ඇතුළේ ජීවත් වන ජනතාව කැළිකසළ ඉවත් කරන්නේ ඇළ මාර්ගවලටයි.

පසුගියදා ගංවතුරෙන් පස්සේ හිර වුණු කානුවල වැඩිපුරම තිබුණේ ප්ලාස්ටික් බෝතල් වැනි ද්‍රව්‍ය. ඒවා උඩින් පාත් වෙන්නේ නැහැ; මේ කොළඹ නිවාසවල ජීවත් වන මිනිස්සු බැහැර කරන දේවල්. ජනතාව හරි විදිහට කැළිකසළ බැහැර කරනවා නම් මේ වැසි වතුර ගැටලු‍ මෙතරම් දරුණු වෙන්නේ නැහැ. තව සමහරු කානු පද්ධති මත අනවසර ඉදිකිරීම් කරලා පදිංචි වෙලත් ඉන්නවා. ඉස්සර මානුෂික හේතූන් මත සලකා බැලීම් තිබුණා. නමුත් දැන් මේ තත්ත්වය නිසා අනවසර ඉදිකිරීම්වල පදිංචි ජනතාව ඉවත් කිරීම තමයි විසඳුම වෙලා තියෙන්නේ. ඒ අනුව දැන් අපි අවශ්‍ය පියවර ගනිමින් ඉන්නවා.”‍

ඉමේෂි මන්දිරා ජයරත්න
වර්ෂා සමරසිංහ