(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න )

ගෘහස්ථ ප්‍රචණ්ඩ ක්‍රියා වැළැක්වීමේ පනත (Prevention of Domestic Violence Act, No. 34 of 2005) වඩාත් ඵලදායී ලෙස ක්‍රියාත්මක කිරීම සඳහා අවශ්‍ය සංශෝධන සම්බන්ධයෙන් යෝජනා සලකා බැලීම පාර්ලිමේන්තු මන්ත්‍රීවරියන්ගේ සංසදයේදී සිදු විය.

පාර්ලිමේන්තු මන්ත්‍රීවරියන්ගේ සංසදය පසුගියදා පාර්ලිමේන්තුවේදී රැස් වූ අවස්ථාවේදී මේ පිළිබඳව දීර්ඝ වශයෙන් සාකච්ඡා කෙරිණි.

සංසදයේ සභාපතිනි අමාත්‍ය සරෝජා සාවිත්‍රි පෝල්රාජ් මහත්මිය සහභාගී නොවීම හේතුවෙන්, සංසදයේ නියෝජ්‍ය සම සභාපතිවරියන් වන නීතිඥ චමින්ද්‍රානි කිරිඇල්ල සහ සමන්මලී ගුණසිංහ යන මහත්මීන්ගේ ප්‍රධානත්වයෙන් මෙම රැස්වීම පැවැත්විණි.

ගෘහස්ථ ප්‍රචණ්ඩත්වය වැළැක්වීම සහ එමඟින් පීඩාවට පත්වන පුද්ගලයන්ට කඩිනම් නීතිමය සහන ලබා දීම මෙම පනතේ මූලික අරමුණ වේ. මෙම පනත වෙනුවට යෝජිත නව පනත් කෙටුම්පත සම්බන්ධයෙන් මුස්ලිම් කාන්තා පර්යේෂණ හා ක්‍රියාකාරී සංසදය (Muslim Women’s Research and Action Forum - MWRAF) විසින් යෝජනා රැසක් මෙහිදී ඉදිරිපත් කරන ලදී. ප්‍රචණ්ඩත්වයට ලක් වන වැඩිහිටියන් සහ දරුවන් වෙනුවෙන් නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට හැකි පුද්ගලයන් හා නිලධාරීන්ගේ පරාසය පුළුල් කිරීම, අයදුම් කිරීමේ ක්‍රියාවලිය සරල කිරීම, අතුරු ආරක්ෂණ නියෝග වඩාත් ඵලදායී ලෙස ක්‍රියාත්මක කිරීම සහ ආරක්ෂණ නියෝග සම්බන්ධයෙන් පසු විපරම් ක්‍රමවේද ශක්තිමත් කිරීම ඇතුළු කරුණු මෙහිදී ඉදිරිපත් කෙරිණි.

එමෙන්ම, නීති සම්පාදනයට පමණක් සීමා නොවී, ගෘහස්ථ ප්‍රචණ්ඩත්වයට මුහුණ දෙන කාන්තාවන්ගේ සැබෑ අත්දැකීම් මත පදනම් වූ නීතිමය හා ආයතනික ප්‍රතිසංස්කරණ අවශ්‍ය බව ද මෙහිදී අවධාරණය කෙරිණි.