(විමුක්ති එස් රුද්‍රිගු)

සෞදි අරාබියට ප්‍රහාරයක් එල්ල වුවහොත් තුර්කිය, සෞදි අරාබිය සහ පාකිස්තානය අතර ඇති කරගත් ආරක්ෂක ගිවිසුම බලාත්මක විය හැකි බව පකිස්තාන ආරක්ෂක අමාත්‍ය කවාජා අසිෆ් මහතා පසුගියදා ප්‍රකාශ කළේය.

එක් රටකට එල්ල කරන ප්‍රහාරයක් සියලුම සාමාජික රටවලට එල්ල කරන ප්‍රහාරයක් ලෙස සලකා ඊට ප්‍රතිචාර දැක්වීමට මෙකා ආරක්ෂක සන්ධාන ගිවිසුමෙන් එකඟ වී ඇති බව ඔහු පැවසීය. පාකිස්තානය ඊට ගරු කිරීමට බැඳී සිටින බවද ඔහු ප්‍රකාශ කළේය.

හූති සටන්කාමීන්ගේ ප්‍රහාර හමුවේ සෞදි අරාබියේ දකුණු ප්‍රදේශයේ බලශක්ති පහසුකම් මධ්‍යස්ථාන කීපයක මෙහෙයුම් නතර කර ඇති පසුබිමක පාකිස්තාන ආරක්ෂක ඇමැතිවරයා මෙම ප්‍රකාශය සිදුකර තිබිණි.

හූති සටන්කාමීන් දිගින් දිගටම ප්‍රහාර එල්ල කළහොත් මෙකා ආරක්ෂක සන්ධාන ගිවිසුම බලාත්මක වනු ඇති බවත් එවැනි අවස්ථාවකාරී ගිවිසුමට ගරු කිරීමට පාකිස්තානය බැඳී සිටින බවත් ඔහු පැවැසුවේය. ඒ පිළිබඳව කිසිඳු සැකයක් තබාගත යුතු නැතැයිද අසිෆ් මහතා ප්‍රකාශ කළේය.

මෙකා යනු පාර්ශ්වයකට පහරදීම සඳහා ඇතිකරගත් ගිවිසුමක් නොවන බවත් එය ආරක්ෂක ගිවිසුමක් බවත් ඔහු පැවැසුවේය.