විමුක්ති එස්. රුද්‍රිගු

ලංකා ගල් අඟුරු සමාගම නොරොච්චෝලේ ලක්විජය ගල්අඟුරු බලාගාරය සඳහා ඉකුත් 2009 සිට 2016වසර හතක කාලයේ දී ගල් අඟුරු මිලදී ගැනීමේ දී සිදුවූ අක්‍රමිකතා සහ දුර්වලතා හේතුවෙන් රුපියල් කෝටි 414 කට අධික පාඩුවක් සිදුව ඇතැයි විශේෂ විගණන වාර්තාවකින් තොරතුරු අනාවරණය වී ඇත.

එම පාඩුවට වගකිව යුතු නිලධාරීන් හඳුනාගත යුතු බවත්, ඉදිරියේ දී මෙවැනි අලාබ, අතිරේක වියදම් සහ ආදායම් අහිමිවීම් ඇති නොවන පරිදි ගල් අඟුරු ප්‍රසම්පාදන ක්‍රියාවලිය විධිමත් කළ යුතු බවත් විගණකාධිපතිවරයා එම වාර්තාවෙන් නිගමනය කර ඇත.

පාර්ලිමේන්තු බලශක්ති පිළිබඳ ආංශික අධීක්ෂණ කමිටුවේ ඉල්ලීම පරිදි පසුගිය 2009 සිට 2016 වසර දක්වා කාලයේ දී ලංකා ගල් අඟුරු සමාගම කළ ප්‍රසම්පාදන සම්බන්ධයෙන් මෙම විශේෂ විගණන වාර්තාව සකස් කෙරිණ.

කෝටි 414 කට පාඩුවට අලාබ, ආදායම් අහිමිවීම් සහ අතිරේක වියදම් අදාළ වන බව ද විශේෂ විගණන වාර්තාවේ සඳහන් වේ.

ගල් අඟුරු ප්‍රමාණවත් ලෙස සපයා ගැනීමට නොහැකිවීම හේතුවෙන් බලාගාරය අඩු ධාරිතාවකින් ක්‍රියාත්මක කිරීමට සිදුවීමෙන් ඇති වූ අමතර වියදම සම්බන්ධයෙන් ද විගණන වාර්තාවෙන් දැඩි අවධානයක් යොමුකර තිබේ.

ගල් අඟුරු ප්‍රමාණවත් ලෙස සපයා ගැනීමට නොහැකි වීමෙන් බලාගාරය අඩු ධාරිතාවකින් ක්‍රියාත්මක කිරීමට සිදුවීම නිසා වැයවූ අමතර වියදම රුපියල් කෝටි 1,250ක් බව අමාත්‍යාංශ ලේකම්වරයා ගණනය කර තිබූ බව විගණන වාර්තාවේ සඳහන් වේ.

එහෙත්, විදුලිබල මණ්ඩලයේ සභාපතිවරයාගේ ගණනය අනුව එය රුපියල් කෝටි 98 ක් බව ද වාර්තාවේ දැක්වේ.

ප්‍රසම්පාදනයේ දී අවම පිරිවැයකින් උපරිම ආර්ථික වාසියක් ලබාගැනීම, ගුණාත්මකභාවය සහ කාලෝචිතභාවය තහවුරු කිරීම, නියමිත ප්‍රමිතීන්, නීති හා රෙගුලාසි අනුගමනය කිරීම, සුදුසුකම් ලත් ලංසුකරුවන්ට සාධාරණ හා සමාන අවස්ථා ලබාදීම සහ ප්‍රසම්පාදන ක්‍රියාවලියේ විනිවිදභාවය තහවුරු කිරීම යන මූලික ප්‍රසම්පාදන අරමුණු විගණනයට ලක්වූ ප්‍රසම්පාදනවල සපුරා නොමැති බව ද එම විගණන වාර්තාවේ සඳහන් වේ.

මේ අතර, ගල් අඟුරු ප්‍රමාණය හා ගුණාත්මකභාවය ගිවිසුම්ගත ආකාරයට නොතිබීම හේතුවෙන් අය කරගත යුතු දඩ මුදල් අය කර ගැනීමට නොහැකිවීමෙන් ද විශාල පාඩුවක් සිදුව තිබෙන බව ද එම වාර්තාවේ දැක්වේ.

නිසි අධ්‍යයනයක් කිරීමෙන් හෝ අනුමැතිය ලබාගැනීමෙන් හෝ තොරව, ගල්අඟුරු කැටවල ප්‍රමාණය මත පදනම්ව ගුණාත්මකභාවය මත මිල සකස් කිරීමේ කොන්දේසිය ඉවත් කිරීම හේතුවෙන් ඇමෙරිකානු ඩොලර් 7 58,358 ක (රුපියල් 98,586,540), ඇමෙරිකානු ඩොලර් 562,763ක (රුපියල් 73,159,190) සහ ඇමෙරිකානු ඩොලර් 409,537ක (රුපියල් 53,239,810) දඩ මුදල් ලිබර්ටි කොමෝඩිටීස් සමාගමෙන් අය කරගැනීමට නොහැකි වී තිබෙන බව ද විශේෂ විගණන වාර්තාව පෙන්වා දුන්නේය.