(ඩයනා උදයංගනී)

කම්කරු අමාත්‍යාංශයේ මෙහෙයවීමෙන් සහ ආසියානු ඵලදායීතා සංවිධානයේ දායකත්වය ඇතිව ජාතික ඵලදායීතා ලේකම් කාර්යාලය සංවිධානය කල ‘හරිත ඵලදාතා මෙවලම් සහ ශිල්ප ක්‍රම මුද්‍රණ කර්මාන්තයට ව්‍යාප්ත කිරීමේ සම්මන්ත්‍රණය’ කම්කරු අමාත්‍ය  නිමල් සිරිපල ද සිල්වා මහතාගේ ප්‍රදානත්වයෙන් බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී ඊයේ (22) පැවැත්විණි.

ජාතික ඵලදායීතා ලේකම් කාර්යාලය ක්‍රියාත්මක කර ඇති ‘හරිත ඵලදාතා මෙවලම් සහ ශිල්ප ක්‍රම මුද්‍රණ කර්මාන්තයට ව්‍යාප්ත කිරීමේ වැඩපිළිවෙල යටතේ රාජ්‍ය මුද්‍රණ නීතිගත සංස්ථාව සහ විජය පුවත්පත් සමාගම සම්බන්ධ කරගනිමින් මාස 18 ක කාලයක් පුරා ආදර්ශ ව්‍යාපෘතියක් ද ක්‍රියාත්මක කෙරුණු අතර එහි සාර්ථකත්වය පිළිබඳව ද මෙහිදී සාකච්ඡා කෙරිණි.

හරිත ඵලදායිතාව සහ ද්‍රව්‍ය ප්‍රවාහ පිරිවැය ගිණුම්කරණය  යන සංකල්ප භාවිතා කරමින් ආසියානු ඵලදායිතා සංවිධානයේ හරිත ඵලදායිතා විශේෂඥ ඇලෙක්ස් යැප් මහතාගේ උපදේශකත්වය යටතේ රාජ්‍ය මුද්‍රණ නීතිගත සංස්ථාවේත්, විජය පුවත්පත් සමාගමේත් ක්‍රියාත්මක කළ ආදර්ශ ව්‍යාපෘති වල ප්‍රතිඵල මෙහිදී ඉදිරිපත් කෙරුණු අතර එම ආයතන වෙත ඇගයීම් සහතික ප්‍රදානය කිරීම ද අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා අතින් මෙහිදී සිදුකෙරිණි.

විවිධ කර්මාන්තවලදී සිදුවන බලශක්ති හා යෙදවුම් නාස්තිය හා කාබන් විමෝචනය අවම කිරීම මෙම ව්‍යාපෘතියේ අරමුණ වන අතර විජය පුවත්පත් සමාගම ලබන වසර වන විට කාබන් විමෝචනය ශුන්‍ය කිරීමටත්, මුද්‍රණ කටයුතු වෙනුවෙන් සූර්ය බලශක්තිය යොදාගැනීමටත් සූදානමින් සිටී.

කම්කරු අමාත්‍යාංශ ලේකම්, ආසියානු ඵලදායිතා සංවිධානයේ ශ්‍රී ලංකා අධ්‍යක්‍ෂ එම්.පී.ටී.යූ.කේ මාපා පතිරණ, රජයේ මුද්‍රණ නීතිගත සංස්ථාවේ සභාපති සහ විජය පුවත්පත් සමාගමේ ප්‍රධාන මෙහෙයුම් නිලධාරී සහ සාමාන්‍යාධිකාරී ඉංජිනේරු ජනක රත්නකුමාර, විජය පුවත්පත් සමාගමේ ජ්‍යෙෂ්ඨ කළමනාකරු නිහාල් ගුණරත්න යන මහත්වරු ද මෙම අවස්ථාවට එක්ව සිටියහ.

(ජායාරූප: රුෂිරුකොළඹතන්ත්‍රීගේ)