(ඩයනා උදයංගනී)

හරිත කෘෂිකර්මාන්තයට යොමුවීම හොඳ ප්‍රතිපත්තියක් වුවත් එය නිවැරදිව සමාජ ගත කිරීමට නොහැකි වූ බවත්, රජයේ පාර්ශවයෙන් ද ඊට අවශ්‍ය සහයෝගය නොලැබුණු බවත් කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා පැවසීය.

ගොවි ජනතාව රසායනික පොහොර ඉල්ලා උද්ඝෝෂණය කරමින් තමන්ගේ පඹයන් පුළුස්සද්දී හා ඒවාට පහර දෙද්දීත් ප්‍රතිපත්තිය වෙනස් නොකළේ එයා ඉතා හොඳ එකක් නිසා බව කී ඇමතිවරයා එසේ වුවත් දිගින් දිගටම ඉදිරිපත් වන ඉල්ලීම් හමුවේ යළිත් රසායනික පොහොර ආනයනයට පියවර ගත් බව ද සඳහන් කළේය.

මෙතරම් කෙටි කාලයක් තුළ තමන්ගේ පඹයන් පිළිස්සූ තරම් ප්‍රභාකරන්ගේ පඹයන්වත් පුළුස්සා නැතැයි කී ඇමතිවරයා හරිත කෘෂිකර්මාන්තයක් සඳහා යොමුවීමේ ක්‍රමවේදයේ වරදක් නැති නමුත් එය නිසි ලෙස සමාජගත කරන්නට නොහැකි වූ බව ද කීවේය.

එමෙන්ම රජයේ පාර්ශවයෙන් ද එයට සහය නොදුන් බව කී ඇමතිවරයා රජය තුළත් ඒ සම්බන්ධයෙන් විවිධ මත තිබූ බව සඳහන් කළේය.

ඇමතිවරයා මේ බව පැවසුවේ රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේදී අද (24) පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේදීය.