(චමිලා අල්විස්)

හොරණ ප්‍රදේශයේ රාජ්‍ය බැංකුවකින් රුපියල් කෝටි තුනහමාරක මුදලක් කොල්ල කෑමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන රැඳවුම් නියෝග මත ප්‍රශ්න කරනු ලැබූ එම බැංකුවේ සහකාර කළමනාකරු ජුනි 23 වැනිදා දක්වා රිමාන්ඩ් භාරයේ තැබීමට හොරණ ප්‍රධාන මහේස්ත්‍රාත් ලක්මිණි විදානගමගේ මහත්මිය අද  නියෝග කළාය.

මෙසේ රිමාන්ඩ් භාරයට පත් කරනු ලැබුවේ එම බැංකුවේ සහකාර කළමනාකරු ලෙස සේවය කළ 54 හැවිරිදි නන්දන සරත් කුමාර නමැති පුද්ගලයෙකි.

නඩුව කැඳවූ අවස්ථාවේදී අධිකරණයට කරුණු දැක්වූ බස්නාහිර පළාත් උතුරු බුද්ධි අපරාධ විමර්ශන කොට්ඨාසයේ නිලධාරීන් සඳහන් කළේ අදාළ බැංකුවේ කාර්ය පටිපාටිය සම්බන්ධ වාර්තාවක් කැඳවා ඇති බවත්, පොදු දේපළ පනත යටතේ සැකකරුට එරෙහිව නඩු පැවරීමට කටයුතු කරන බවත්ය.

සැකකරු සම්බන්ධයෙන් සාක්ෂි සම්පිණ්ඩන වාර්තාවක් ඉදිරියේදී අධිකරණයට ඉදිරිපත් කරන බව ද ඔවුහු දැනුම් දුන්හ.

මෙහිදී මහේස්ත්‍රාත්වරිය පොලිසියට නියෝග කළේ, සිද්ධිය වූ දිනයේ ස්වයංක්‍රීය බැංකු යන්ත්‍ර (ATM) සඳහා රැගෙන ගිය බව කියන මුදල්වල අංක සටහන් කර තිබේ නම්, එම මුදල්වල අංක සහ බැංකුවේ ගබඩා කාමරයේ තිබී සොයාගත් මුදල්වල අංක සමාන ද යන්න පරීක්ෂා කර වාර්තාවක් ඉදිරිපත් කරන ලෙසය.

එමෙන්ම සිද්ධියට අදාළ ආරක්ෂිත කැමරා දර්ශන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස ද මහේස්ත්‍රාත්වරිය නියෝග කළාය.

අධිකරණයේදී අනාවරණය වූයේ බැංකුවේ මූල්‍ය කටයුතු සම්බන්ධයෙන් පුද්ගලයකු විසින් සිදු කළ පැමිණිල්ලකට අනුව මෙම විමර්ශන ආරම්භ කර ඇති බවය.