(බිමල් ශ්‍යාමන් ජයසිංහ)

පෞද්ගලික බැංකුවක ඒ.ටි. එම්. යන්ත්‍රවලට මුදල්  රැගෙන ගිය වෑන් රථයේ රියදුරු රුපියල් 6,74,19,700  (හය කෝටි හැත්තැහතර ලක්ෂ දහනවදහස්හත්සියයක්) මුදලක් රැගෙන එම වෑන් රථයෙන් පලායමින් සිටියදී නුවරඑළිය බදුල්ල පාර රේන්දපොල හංදිය ආසන්නයේදී අත්අඩංගුවට ගත් බව පොලිස් විශේෂ කාර්ය බලකාය කියයි.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ හිටපු හමුදා සෙබළෙකි.

කොළඹ සිට හැටන් දක්වා පෞද්ගලික බැංකුවක ඒ.ටි.එම් යන්ත්‍රවලට මුදල් දැමීම සඳහා සේප්පුවක බහා මුදල් රැගෙන යමින් සිටි වෑන් රථය හැටන් නගරයේ පෞද්ගලික බැංකුවක් ඉදිරිපිට නවතා එම බැංකුවේ  යන්ත්‍රයට මුදල් දැමීම සඳහා අනෙකුත් නිලධාරීන් වෑන් රථයෙන් බැස ගොස් සිටියදී රියදුරු ලෙස සිටි හමුදා සෙබලා මුදල් රැගෙන පලායන බවට පොලිසියට දන්වා ඇත.

සිද්ධිය සැලවූ සැනින් අවට පොලිසිය මෙන්ම මිහිපිලිපාන පොලිස් විශේෂ කාර්ය බලකා කඳවුරේ නිලධාරීන් සියලුම මාර්ග ආවරණ වන පරිදි විශේෂ මුර කපොලු යොදා මුදල් රැගෙන  පලායමින් සිටි හිටපු හමුදා සෙබලා නුවරඑළිය බදුල්ල පාර අඹේවෙල රේන්දපොල හංදිය දී අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි

මුදල් තොගය සහ සැකකරු කැප්පෙටිපොළ පොලිසිය වෙත බාරදීමට නියමිතය.

පොලිස් විශේෂ කාර්ය බළකා අණදෙන නිලධාරී නියෝජ්‍ය පොලිස්පති නීතිඥ වරුණ ජයසුන්දර මහතාගේ උපදෙස් මත මිහිපිලිපාන පොලිස් විශේෂ කාර්ය බළකා කඳවුරේ අණදෙන නිලධාරී පොලිස් පරීක්ෂක අයි එම් ජේ හේරත් මහතා ඇතුළු නිලධාරීන් නිලධාරීන් කණ්ඩායමක් සැකකරු අත්අඩංගුවට ගෙන ඇත.