(මනෝප‍්‍රිය ගුණසේකර)

පාස්කු ඉරිදා බෝම්බ ප‍්‍රහාරය වළක්වා ගැනීමට හෝ එම ප‍්‍රහාරයේ බලපෑම අඩුකර ගැනීමට ක‍්‍රියා නොකිරීම සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර බාරයට පත් කරනු ලැබ සිටි හිටපු ආරක්‍ෂක ලේකම් හේමසිරි ප‍්‍රනාන්දු සහ අනිවාර්ය නිවාඩු ගන්වා සිටින පොලිස්පති පුජිත් ජයසුන්දර යන මහත්වරුන්ට ඇප නියම කරමින් කොළඹ ප‍්‍රධාන මහෙස්ත‍්‍රාත් දුන් නියෝගයේ කිසිදු නෛතික දෝෂයක් නොමැති හෙයින් එම නියෝගය ප‍්‍රතිශෝධනය කිරීමට කිසිදු අවශ්‍යතාවයක් නැතැයි ඔවුන් වෙනුවෙන් පෙනී සිටි නීතීඥවරුන් කොළඹ ප‍්‍රධාන මහාධිකරණ විනිසුරු විකුම් කළුආරච්චි මහතා හමුවේ කරුණු ඉදිරිපත් කරමින් අද (19) පැවසුහ.

පාස්කු ඉරිදා බෝම්බ ප‍්‍රහාරය වළක්වා ගැනීමට හෝ එම ප‍්‍රහාරයේ බලපෑම අඩුකර ගැනීමට ක‍්‍රියා නොකිරීම සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර බාරයට පත් කරනු ලැබ සිටි හිටපු ආරක්‍ෂක ලේකම් හේමසිරි ප‍්‍රනාන්දු සහ අනිවාර්ය නිවාඩු ගන්වා සිටින පොලිස්පති පුජිත් ජයසුන්දර යන මහත්වරුන්ට ඇප නියම කරමින් කොළඹ ප‍්‍රධාන මහෙස්ත‍්‍රාත් ලංකා ජයරත්න මෙනවිය ලබාදුන් නියෝගයට එරෙහිව නීතීපතිවරයා ඉදිරිපත් කර ඇති ප‍්‍රතිශෝධන ඇයැදුම්පත කැඳවනු ලැබු සම්බන්ධයෙන් විත්තිකරුවන් වෙනුවෙන් කරුණු ඉදිරිපත් කරමින් එසේ පැවසීය.

ඒ අනුව මෙම ප‍්‍රතිශෝධන ඇයැදුම් පත සම්බන්ධයෙන් කැඳවනු ලැබු අවස්ථාවේදී මෙහි සැකකාර වගඋත්තරකරුවන් වශයෙන් නම් කර ඇති හේමසිරි ප‍්‍රනාන්දු සහ පුජිත් ජයසුන්දර යන මහත්වරු අධිකරණය හමුවේ පෙනී සිටියහ.

මෙම ප‍්‍රතිශෝධන ඇයදුම්පත සම්බන්ධයෙන් නීතීපතිවරයා වෙනුවෙන් මීට පෙර දිනයේදී නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් දිලීප පිරීස් මහතා සිය දේශන ඉදිරිපත් කළේය.

හේමසිරි ප‍්‍රනාන්දු මහතා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතීඥ අනුජ පේ‍්‍රමරත්න මහතාද පුජිත් ජයසුන්දර මහතා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතීඥ අනුර මැද්දේගොඩ මහතා ද දීර්ඝ වශයෙන් කරුණු ඉදිරිපත් කළහ.

මෙම සිද්ධියට අදාළව තම සේවාදායකයින් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කළ අවස්ථාවේදී කොළඹ ප‍්‍රධාන මහෙස්ත‍්‍රාත්වරිය ඔවුන්ට ඇප නියම කළ බවත් ඇය එලෙස ඇප නියම කොට ඇත්තේ නීතීමය රාමුව යටතේ බවත් පැවසු නීතීඥවරු කොළඹ ප‍්‍රධාන මහෙස්ත‍්‍රාත් තම සේවාදායකයින්ට ඇප ලබාදීමේ නියෝගයේ කිසිදු නෛතික දෝෂයක් නොමැති හෙයින් ඇගේ නියෝගය ප‍්‍රතිශෝධනය කිරීමට කිසිදු අවශතාවයක් නැතැයි ද පැවසුහ.

තම සේවාදායකයින් රාජකාරී පැහැර හැරි බව පැවසුවත් ඔවුන් හිතාමතාම රාජකාරීය පැහැර හැරි බවට පැමිණිලි පාර්ශයෙන් කිසිදු කරුණක් අධිකරණයට ඉදිරිපත් කර නැතැයි පෙන්වා දුන් නීතීඥවරුන් ඒ තත්වය අනුව මහෙස්ත‍්‍රාත්වරිය තම සේවාදායකයින්ට ඇප නියම කර ඇතැයි ද සඳහන් කළේය.

තම සේවාදායකයින්ගෙන් ප‍්‍රකාශ ලබාගැනීමකින් තොරව ඔවුන්ට මීනීමැරීම වැනි බරපතල චෝදනා එල්ල කිරීම සුදුසු නොවන බවත් ඒ බව ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුවලද සඳහන් වී ඇතැයි ද පෙන්වා දුන් නීතීඥවරු එම තත්වය අනුව මහෙස්ත‍්‍රාත්වරියගේ තීන්දුවේ කිසිදු නෛතික දෝෂයක් නැතැයි ද පෙන්වා දුන්හ.

මේ තත්වය මත කොළඹ ප‍්‍රධාන මහෙස්ත‍්‍රාත් ලංකා ජයරත්න මෙනවිය ලබාදුන් නියෝගයේ කිසිදු නෛතික දෝෂයක් නොමැති හෙයින් එම නියෝගය ප‍්‍රතිශෝධනය කිරීමට කිසිදු අවශ්‍යතාවයක් නැතැයි පැවසු හේමසිරි ප‍්‍රනාන්දු සහ පුජිත් ජයසුන්දර යන මහත්වරුන් වෙනුවෙන් පෙනී සිටි නීතීඥවරු තම සේවාදායකයින් පෙර ඇප මතම මුදා හැරීමට නියම කරන්නැයි ඉල්ලා සිටියහ.

හේමසිරි ප‍්‍රනාන්දු සහ පුජිත් ජයසුන්දර යන මහත්වරුන් වෙනුවෙන් පෙනී සිටි නීතීඥවරුන් දීර්ඝ වශයෙන් ඉදිරිපත් කළ දේශන අවසන් වු අතර පැමිණිලේ දේශන ඉදිරිපත් කිරීම සඳහා මෙම ප‍්‍රතිශෝධන අයැදුම්පත හෙට (20) යළි කැඳවීමට නියම කළේය.