
(ශාන්ත ප්‍රදීප් කුමාර කුලරත්න)
රෝගී මවක ප්‍රතිකාර සඳහා රෝහලට පැමිණීමෙන් පසුව ඇයගේ රෝගී තත්ත්වය උත්සන්න වීම නිසා නේවාසිකව ප්‍රතිකාර ලැබීමට වෛද්‍යවරුන් නිර්දේශ කිරීමත් සමඟ ඇය සමඟ පැමිණ සිටි දොළොස් හැවිරිදි පුතකු සහ තුන් හැවිරිදි දියණිය භාරදීමට භාරකරුවකු නොවීම හේතුවෙන් දින තුනක් තිස්සේ රෝහලේ නවත්වාගෙන ඔවුන් දෙදෙනාට ආහාරපාන ඇඳුම් පැළඳුම් සෙල්ලම් බඩු ලබාදෙමින් රැකබලා ගැනීමේ ආදර්ශවත් සිද්ධියක් හෝමාගම මූලික රෝහලෙන් වාර්තා වේ.
මෙහිදී හෝමාගම මූලික රෝහලේ වෛද්‍ය අධිකාරී විශේෂඥ වෛද්‍ය ජයරුවන් බණ්ඩාර මහතා ඇතුළු වෛද්‍යවරුන් හෙද හෙදියන් ඇතුළු සෞඛ්‍ය කාර්ය මණ්ඩලය මේ සිදු කළ සත්ක්‍රියාව වෛද්‍ය වෘත්තියට එහා ගිය මානුෂීය සත්කාරයක් බැවින් සිද්ධිය කන වැකුණු සියලු දෙනාගේ ප්‍රශංසාව හිමිවිය.
මෙම සිදුවීම ඉකුත් 04 වැනිදා හෝමාගම මූලික රෝහලෙන් වාර්තා වූ අතර සිදුවීම සැකෙවින් මෙසේය.
අධික ලෙස උණ රෝගයෙන් පෙළුණු 39 හැවිරිදි මවක සිය දියණිය සහ පුතනුවන් සමඟ ප්‍රතිකාර සඳහා හෝමාගම මූලික රෝහලේ බාහිර ප්‍රතිකාර ඒකකයට පැමිණ සිටියාය. එහිදී අධික උණ තත්ත්වය නිසා සිදු කළ රුධිර පරීක්ෂණයේදී අනාවරණය වී තිබුණේ මවගේ රුධිර පට්ටිකා මට්ටම ශීඝ්‍රයෙන් පහළ ගොස් ඇති බවයි. ඒ අවදානම් තත්ත්වය හේතුවෙන් වෛද්‍යවරුන් පවසා ඇත්තේ මව වහාම නේවාසිකව ප්‍රතිකාර ලැබීම සඳහා ඇතුළත් කරන ලෙසයි.
එහෙත් රෝගී මව දෙලොවක් අතර තනි වී සිටියේ ඇය සමඟ රෝහලට පැමිණි දරු දෙදෙනා භාරදීමට භාරකරුවකු නොමැති නිසාය.
මේ තත්ත්වය තේරුම් ගත් බාහිර ප්‍රතිකාර ඒකකයේ වෛද්‍යවරු වෛද්‍ය අධිකාරී විශේෂඥ වෛද්‍ය ජයරුවන් බණ්ඩාර මහතා ක්ෂණිකව දැනුවත් කර ඔහුගේ උපදෙස් මත ප්‍රතිකාර සඳහා මව රෝහලට ඇතුළත් කර දරු දෙදෙනා රෝහලේ ළමා වාට්ටුවේ රැකවරණයට යොමු කළහ.
එහිදී දරු දෙදෙනාට ආහාරපාන ඇඳුම් පැළඳුම් නොතිබූ හෙයින් රෝහල් කාර්ය මණ්ඩලයේ වට්ස්ඇප් ගෲප් එක හරහා ඒ බව ප්‍රචාරය කර ළමා වාට්ටුවේ කාර්ය මණ්ඩලය පියවර ගෙන තිබුණේ දරු දෙදෙනාට ආහාරපාන, ඇඳුම් පැළඳුම් සෙල්ලම්බඩු ඇතුළු සත්කාරවලින් සහාය වීමටය. ඒ සඳහා රෝහල් කාර්ය මණ්ඩලය යුහුසුලුව ක්‍රියා කර තිබිණි.
දරු දෙදෙනා 6 වැනිදා වනවිට දින තුනක් සෞඛ්‍ය කාර්ය මණ්ඩලයේ සෙනෙහස හා රැකවරණය මැද ළමා වාට්ටුවේ රැඳී සිටින අතර මවගේ තත්ත්වය සාමාන්‍ය අතට හැරෙමින් තිබේ.
මෙම සිදුවීම වෛද්‍ය වෘත්තියට එහා ගිය ආදර්ශවත් මානුෂීය සත්කාරයක් බැවින් ඊට කාගේත් ප්‍රශංසාව හිමිවිය.
පසුව මවගෙන් ලද තොරතුරකට අනුව ඇයගේ නිවස පිහිටි බව පැවසෙන පාදුක්ක අංගම්පිටිය ප්‍රදේශයේ ලිපිනයක් සොයා පොලිසිය ගියද නියම භාරකරුවකු මෙතෙක් සොයා ගැනීමට නොහැකි වී තිබේ.
මේ පිළිබඳව හෝමාගම මූලික රෝහලේ වෛද්‍ය අධිකාරි විශේෂඥ වෛද්‍ය ජයරුවන් බණ්ඩාර මහතාගෙන් විමසූ විට ඔහු මෙසේ පැවසීය.
දරු දෙදෙනකු සමඟ මවක් අපේ රෝහලට උණ රෝගය සඳහා ප්‍රතිකාර ගන්න පැමිණියා. ඒ වෙලාවේ මව රුධිර පරීක්ෂණයකට යොමු කිරීමේදී ඇයගේ රුධිර පට්ටිකා තත්ත්වය සීඝ්‍රයෙන් පහළ බැස තිබුණා. ඒ අනුව බාහිර ප්‍රතිකාර ඒකකයේ වෛද්‍යවරයා නිගමනය කර තිබුණේ ඇය රෝහල් ගත කිරීමටයි.
පසුව ඇය සමඟ පැමිණ සිටි දරු දෙදෙනා භාරදීමට මවගෙන් ලද ලිපිනයක් අනුව සොයා බැලුවත් නියම භාරකරුවකු සොයා ගැනීමට හැකිවුණේ නැහැ. ඒ නිසා සෞඛ්‍ය කාර්ය මණ්ඩලය පියවර ගෙන තිබුණේ දරු දෙදෙනා ළමා වාට්ටුවේ නවතාගෙන රැකවරණය ලබා දීමටයි.
එහිදී අපේ රෝහලේ වෛද්‍යවරුන් හෙද හෙදියන් ඇතුළු කාර්ය මණ්ඩලය ක්ෂණිකව ක්‍රියාත්මක වී දරුවන්ට අවශ්‍ය ආහාරපාන ඇඳුම් පැළඳුම් සෙල්ලම් බඩු ගෙනැවිත් දෙමින් හොඳින් රැකබලා ගනිමින් සිටිනවා. මව වෙනම වාට්ටුවක ප්‍රතිකාර ගන්නවා.
ඇත්තෙන්ම අපි මීට පෙර අහල දැකල තියෙන්නේ මෙවන් සිදුවීමකදී දරු දෙදෙනා බාහිර පාර්ශ්වයකට භාරදීමයි. නමුත් අපේ කාර්ය මණ්ඩලය එසේ නොකර දරු දෙදෙනාට සෙනෙහස හා රැකවරණය ලබා දෙමින් රැක බලාගැනීමේ ආදර්ශවත් ක්‍රියාවලියකට යොමුවෙලා තිබෙනවා. ඒ පිළිබඳව අපි හැමදෙනාගේම ස්තූතියි ඔවුන්ට හිමිවිය යුතුයි.
අපි තවදුරටත් සොයා බලනවා භාරකරුවකු ඉන්නවද කියලා. එසේ නොමැති වුණොත් මව සුව වෙන තෙක් දරු දෙදෙනා සෞඛ්‍ය කාර්ය මණ්ඩලය යටතේ රෝහලේ නේවාසිකව තබා ගැනීමටයි පියවර ගෙන ඇත්තේ යැයිද කීය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
වෛද්‍ය ජයරැවන් ප්‍රමුඛ හෝමාගම රෝහලේ විශිෂ්ට බලකායට අපගේ ප්‍රණාමය!
මෙම රෝගී මව හා දරුවන් දෙදනා 4 වන දින පාදුක්ක දිසා රෝහලට ප්‍ර්‍රතිකාර ලබාගැනීමට පැම්නියෝය....එහෙදී බාහිර රෝගී අංගයේ වයිද්‍යවරයා ඇය පර්‍ක්ශා කර ඒ මොහොතේම FBC පපරීක්ෂණයක් සිදු කරන ලදී... එහිදී ඇයගේ හීමෝග්ලොබීන් ප්‍රමාණය 6 ක් බවත් රුදිර පට්ටිකා ප්‍රමානය 1110 බවත් අනාවරණය විය. ඇය සතුව හෝ ගෙදර අය සතුව දුරකතනයක් නොමැති බව අනාවරණය විය...කුඩා දරුවන් දෙදනා අදික ලෙස උණ රෝගයෙන් පෙලෙන ලදී.. මවගේ තත්වය අනුව මවත් දරු දෙදනාත් වහා හෝමාගම රෝහල වෙත ගිලන් රතයෙන් මාරු කරන ලදී... එහෙත් බාර කරුවෙක් නොමැතිව මෙම රොගීන් ගෙන එන ලද බවට පවසමින් පාදුක්ක රෝහලේ කාර්‍යමන්ඩලයට දොස් පවරමින් , පාදුක්ක රෝහල්‍රේ ගිලන් රතයේ පැමිනි කාර්‍යමන්ඩලය පැය ගනනාවක් රදවා ගැනීමට හෝමාගම රෝහල් කාර්‍යමන්ඩලය ක්‍රියා කලෝය.
ඉතාමත්ම අගේ කලයුතු මහා පිනක්. මේ වගේ දේවල් මීට අවුරැදු 30 කට 40 කට විතර ඉස්සර නං ලංකාවෙ සුලබව දකින්ඩ අහන්ඩ ලැබුන හැබැයි මෑත කාලයෙදිනං ඒ වගේ සත්කාර විරලයි. හේතුව කාලකන්නි දේශපාලනේ හින්ද මිනිස්සු බෙදිල, සබ්බයත්වය විනාශවෙලා. හැම තැනම දේශපාලුවන්ගෙ "බාර්", ගොන් හවුස්, ඇතුලු නොයෙක් මුදල් උපයන මගඩි විතරයි. ඒ අතින් මේ හෝමගම රෝහලේ සියලු දෙනාම අගේ කල යුතුමයි. මේ අසරනයින්ට පිහිට වීමට. ඔබලාට බොහෝ පින්.
ඇයිද මෙහෙම වෙන්නෙ ඔය ප්‍රදේශය ධන රින ඇදුරුතුමාගේ ආසනය නේද මේ පවුලේ අයත් 2500/= කාල අනාතයෝ වෙච්ච පවුලක්ද සොයා බලන්න මව දුන්නු ලිපිනය සමග දොලොස් හැවිරිදි දරුවා සමග ගියානම් කෙනෙක් ඉන්නවා නම් සොයන්න බැහැ නැහැ කියලා හිතෙනවා මේ ගැන විමසිල්ලෙන් සොයන්න ඕන මොකද මෙහි සැගවුනු වෙනත් දෙයක් තියෙන්න පුළුවන් කොහොම වුනත් රෝහලේ සැමටම අපේ ප්‍රසංසාව හිමිවෙනවා
ජයරුවන් බණ්ඩාර කියන්නේ නියම් මනුස්සයෙක් බව රටම දන්නවා. මේ කළ කාර්ය ඉතා වටිනවා. අනෙකුක් කාර්ය මණ්ඩලයටත් ප්‍රණාමය...
සමහර අවස්ථා වලදී දරුවෝ නිසා අපි කවුරුත් අසරණ වෙන අවස්ථා තියනවා .ඒ වෙලාවේ මේ වගේ උදවු නොකරනම් ඒ දරුවොත් මාවත් කොතරම් අසරණ වෙයිද .රාජකාරියට නීතියට එහා ගිය මනුස්සකම පෙන්නපු ඒ දොස්තර මහත්තුරුන්ටත් කාර්ය මණ්ඩලයටත් ගොඩක් පින් .ඔබලා මිහිපිට දෙවිවරු
වෘත්තිය මට්ටමේන් එහා ගිය ඒ කළ සත්භාවයට, අපිත් හිස නමා ආචාර කරනවා
ඉතා හොඳ ආදර්ශයක්. අගය කලයුතුයි.
හරිම වටින දෙයක් කරල තියෙන්නෙ. රොහල් කර්ය මන්ඩලයට පින්සිදු වෙනව.