(ශ්‍රීනාත් ප්‍රසන්න ජයසූරිය)

නිට්ටඹුව ප්‍රදේශයේ පිහිටි සුපිරි රෙදි වෙළඳසලක් ආසන්නයේ බස් රථයක් එනතුරු අද (5) උදේ රැඳී සිටි ශ්‍රී ජයවර්ධනපුර රෝහලේ සේවය කරන හෙද නිලධාරිනියකගේ අතක් පිහියකින් කපා තුවාල සිදුකර ඇය සතුව තිබූ මුදල් සහිත අත්බෑගය යතුරුපැදියකින් පැමිණි පුද්ගලයන් දෙදෙනකු විසින් කොල්ල කා පලාගොස් ඇතැයි නිට්ටඹුව මූලස්ථාන පොලිසිය පවසයි.

තුවාල ලැබූ හෙද නිලධාරිනිය වතුපිටිවල මූලික රෝහලේ ප්‍රතිකාර ලබමින් පසුවන බව නිට්ටඹුව මූලස්ථාන පොලිසියේ නිලධාරියෙක් ලංකාදීපයට පැවැසීය.

මෙම හෙද නිලධාරිනියගේ සැමියා පෑලියගොඩ මූලස්ථාන පොලිසියට අනුයුක්තව රාජකාරි කරන ප්‍රධාන පොලිස් පරීක්ෂකවරයකු යැයිද පොලිසිය කියයි.

හෙද නිලධාරිනිය බස්නැවතුම්පොළේ රැඳී සිටියදී යතුරුපැදියකින් ආ දෙදෙනකු ඇය සමීපයට පැමිණ ඇයගේ අතක් කපා තුවාලකර ඇය සතු අත්බෑගය කොල්ලකා පලාගොස් ඇතැයි පොලිසිය පවසයි.

නිට්ටඹුව මූලස්ථාන පොලිසියේ අපරාධ විමර්ශන අංශය මේ පිළිබඳ පරීක්ෂණ පවත්වයි.