(අංජුල මහික වීරරත්න)

මෙරට නාගරික පොදු ප්‍රවාහන සේවාව කාර්යක්ෂම කිරීම සඳහා ආරම්භ කරන ලද මෙට්‍රො බස් රථ සේවාවට පහසුකම් සැපයීමට ඉදිකරන ලද තුන්වන ඩිපෝ අංගනය ජා-ඇල, ඒකල දී අද (9) සිට මෙහෙයුම් කටයුතු ආරම්භ කළේය.

ප්‍රවාහන හා මහාමාර්ග නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය ප්‍රසන්න ගුණසේන ,කම්කරු අමාත්‍ය සහ මුදල් හා ක්‍රම සම්පාදන නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය අනිල් ජයන්ත මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් මෙය සිද කෙරිණි.

මෙට්‍රො බස් ව්‍යාපෘතියේ මෙහෙයුම් හා පරිපාලන සේවා ආරම්භ කල මෙම ඒකක ඩිපෝව මූලික කර ගනිමින්, නව මෙට්‍රො බස් රථ 20 ක් ධාවනයට එක් කිරීමට නියමිතය.

ගම්පහ දිස්ත්‍රික්කයේ ඒකල සිට කොළඹ දිස්ත්‍රික්කයේ තලංගම දක්වා දිවෙන, මෙට්‍රො බස් මාර්ගය කිලෝ මීටර් 29.9 කි.

මෙට්‍රො බස් නැවතුම් 21 ක් මෙම මාර්ගයේ ස්ථාපිත කර ඇත. ඒ අනුව තලංගම, බත්තරමුල්ල හන්දිය, සෙත්සිරිපාය, NAITA, රාජගිරිය, කාසල් රෝහල, බොරැල්ල 02 YMBA, කැම්බල් පාර්ක්, දෙමටගොඩ, පෑලියගොඩ (නව කැලණි පාලම), පෑලියගොඩ 02, හේකිත්ත හන්දිය, වත්තල, හැඳල, මාබෝල, මහබාගේ, කඳාන, වැලිගම්පිටිය, ජා-ඇල, CTB Junction සහ ඒකල යන මෙට්‍රො බස් නැවතුම් ස්ථාන 21 න් මගී ජනතාවට ගමනාගමනයට එක්විය හැකිය.