(මනෝප්‍රිය ගුණසේකර)

මහ බැංකු භාණ්ඩාගාර බැදුම්කර නිකුත් කිරීමේදී රජයට රුපියල් කෝටි 1500 ක පමණ පාඩුවක් සිදුකළ බවට හිටපු මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා ඇතුළු විත්තිකරුවන් දසදෙනෙකුට එරෙහි නඩුවේ වීඩීයෝ තාක්‍ෂණය ඔස්සේ හිටපු මහබැංකු අධිපති ඉන්ද්‍රජිත් කුමාරස්සාමි මහතාගේ සාක්කි මෙහෙයවීමට නීතීපතිවරයා කළ ඉල්ලීම ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල බහුතර තීන්දුවෙන් අද ප්‍රතික්‍ෂෙප කළේය.

එංගලන්තයේ පදිංචිව සිටින හිටපු මහබැංකු අධිපති ඉන්ද්‍රජිත් කුමාරස්සාමි මහතාට ශ්‍රී ලංකාවට පැමිණීමට ඇති නොහැකියාව නීතීපතිවරයා විසින් සනාථ කොට නොමැති බවත් වීඩීයෝ තාක්‍ෂණය ඔස්සේ සාක්කි මෙහෙයවීම මඟින් සාධාරණ නඩු විභාගයකට විත්ති පාර්ශවයට ඇති අයිතිය අහිමි වන බවත් නීතීපතිවරයා කළ ඉල්ලීම ප්‍රතික්‍ෂෙප කරමින් විනිසුරු මඩුල්ල නිකුත් කළ නියෝගයේ සඳහන් කොට ඇත.

විනිසුරු මඩුල්ලේ සභාපති විනිසුරු අමල් රණරාජා මහතාගේ එකඟත්වය මත විනිසුරු නාමල් බණ්ඩාර මහතා විසින් නීතීපතිවරයා කළ ඉල්ලීම ප්‍රතික්‍ෂෙප කරමින් නිකුත් කළ තීන්දුව ප්‍රකාශයට පත් කළ අතර විනිසුරු ආදිත්‍ය පටබැඳි මහතා නීතීපතිවරයා කළ ඉල්ලීම තහවුරු කරමින් තීන්දුවක් ප්‍රකාශයට පත් කළේය.