(අංජුල මහික වීරරත්න)

 "Colombo 75 Medics" සංගමය විසින් රුපියල් මිලියන 1.7 ක් වටිනා දැඩි සත්කාර ඒකක මොනිටර් (ICU Monitors) 06 ක් සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශය වෙත අද (24)  නිල වශයෙන් පරිත්‍යාග කරන ලදී.

"දිට්වා" (Ditwa) හදිසි ආපදා තත්ත්වය හමුවේ පීඩාවට පත් ජනතාවට ලබාදෙන සෞඛ්‍ය සේවා කාර්යක්ෂම සඳහා සංගමය විසින් වෙන් කර තිබූ ප්‍රතිපාදන උපයෝගී කරගනිමින් මෙම වෛද්‍ය උපකරණ තොඟය ලබාදීමට පියවර ගෙන ඇත.

ඒ අනුව එම සංගමයේ සභාපති මහාචාර්ය හරේන්ද්‍ර ද සිල්වා මහතා විසින් මෙම උපකරණ තොගය සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා වෙත අමාත්‍යාංශ පරිශ්‍රයේදී නිල වශයෙන් භාරදෙන ලදී.

කොළඹ විශ්ව විද්‍යාලයේ වෛද්‍ය පීඨයේ 1975 කණ්ඩායමේ වෛද්‍යවරුන් 120 කගේ පමණ සාමාජිකත්වයකින් සැදුම්ලත් "Colombo 75 Medics" සංගමය පසුගිය කාලය පුරා ජන සුභසාධන වැඩපිළිවෙල රැසක් ක්‍රියාත්මක කළ බව ද එම සංගමයේ සභාපතිවරයා විසින් සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යවරයා දැනුවත් කරන ලදි.

සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යවරයා  "Colombo 75 Medics" සංගමය සිදු කළ ප්‍රදානය සහ සිදු කරන ලද සමාජ සත්කාර සේවා මෙහිදී ඇගයීමට ලක් කරන ලදි.

රෝහල් පද්ධතියේ දැඩි සත්කාර සේවා ශක්තිමත් කිරීම වෙනුවෙන් උපකාරී වන මෙම අත්‍යවශ්‍ය වෛද්‍ය උපකරණ ප්‍රදානය කිරීමේ අවස්ථාවට "Colombo 75 Medics" සංගමයේ භාණ්ඩාගාරික පුෂ්පකාන්ති කුමාරගේ මහත්මිය සහ සංගමයේ සාමාජික, කාසල් වීදියේ කාන්තා රෝහලේ හිටපු අධ්‍යක්ෂවරියක වන වෛද්‍ය රාණි ප්‍රනාන්දු මහත්මිය ඇතුළු පිරිසක් එක්ව සිටියහ.