(සුජිත් හේවාජුලිගේ)

ජාතික තවුහීත් ජමාත් සංවිධානයේ නායක මොහොමඩ් සහරාන් නැමැත්තා අනාගතයේදී මේ රටට ලොකු කරදරකාරයකු වන බව තමා මුල සිටම දැන සිටියේ යැයි ත්‍රස්තවාදී විමර්ශන කොට්ඨාසය භාර හිටපු නියෝජ්‍ය පොලිස්පති නාලක සිල්වා මහතා පාස්කු ඉරුදින ප්‍රහාර ගැන කරුණු සොයන පාර්ලිමේන්තු විශේෂ කාරන සභාව හමුවේ සාක්ෂි දෙමින් අද (4)පැවැසීය.

සහරාන් අත්අඩංගුවට ගැනීමට 2018 දී අධිකරණ වරෙන්තුවක් ලබා ගැනීමට  කටයුතු කළේ ඒ නිසා යැයි කී හිටපු නියෝජ්‍ය පොලිස්පතිවරයා තමා අත්අඩංගුවට පත්වීමෙන් ඒ සියලු සැලසුම් අඩපණ වූ බවද ප්‍රකාශ කළේය.

තමාගේ සැලැස්ම ක්‍රියාත්මක කිරීමට හැකිවුයේ නම් පාස්කු ප්‍රහාරයක් ඇති නොවීමට හෝ අවම වීමට හෝ ඉඩ තිබූ බවද හෙතම පැවැසීය.

අසනීප තත්ත්වයේ පසුවන නාලක සිල්වා මහතා අද විශේෂ කාරක සභාව හමුවට පැමිණියේ රෝද පුටුවක ආධාරයෙනි.

කමිටුව ඔහුගෙන් පැය දෙකකට වැඩි කාලයක් ප්‍රශ්න කළේය. ඔහුගෙන් ඇතැම් තොරතුරු ගත් අවස්ථාවේදී මාධ්‍යවේදීන් රැස්වීම්ශාලාවෙන් පිටත් කෙරිණි.

ඡායාරූප - ජයමාල් චන්ද්‍රසිරි