(අංජුල මහික වීරරත්න)

ශ්‍රී ලංකාවේ ජාතික සිවිල් ගුවන් සේවා ප්‍රධාන සැලැස්ම ක්‍රියාවට නැංවීම සඳහා කැබිනට් අනුමැතිය ලැබී ඇත.

1944 වසරේදී පිහිටුවා ඇති ජාත්‍යන්තර සිවිල් ගුවන් සේවා සංවිධානය විසින් රාජ්‍යයන් වල ගුවන් සේවාවන්හි නිරුපද්‍රිතතාව, ආරක්ෂාව, කාර්යක්ෂමතාව, ධාරිතාව සහ පරිසර ආරක්ෂාවට අදාළ වන ජාතික රෙගුලාසි සැකසීමේ දී සහාය සලසමින් ගෝලීය ජාලයක් නිර්මාණය කිරීමට මග පෙන්වනු ලබයි. ගුවන් සේවා අංශය ඵලදායී ලෙස පවත්වා ගෙන යාම සඳහා රාජ්‍යයකට පුළුල් සහ සැලසුම්කාරි ප්‍රවේශයක් තිබීම අත්‍යවශ්‍ය බව අවධාරණය කර ඇති එම සංවිධානය, ඒ සඳහා තීරණාත්මක මෙවලමක් ලෙස සිවිල් ගුවන් සේවා ප්‍රධාන සැලැස්මක් සම්පාදනය කළ යුතු බව ද පෙන්වා දී ඇත. 

එසේම, කොවිඩ් වසංගත තත්ත්වයෙන් පසුව ගුවන් සේවා කටයුතු යථා තත්ත්වයට පත් වීමේ සන්දර්භය තුළ ගුවන් සේවා පද්ධතිය සඳහා උපායමාර්ගික සංවර්ධන සැලසුම් කරණයේ අවශ්‍යතාව එම සංවිධානය විසින් අවධාරණය කරනු ලැබ ඇත. ඒ අනුව, ජාත්‍යන්තර සිවිල් ගුවන් සේවා සංවිධානය විසින් නිර්දේශිත පරිදි, අදාළ සියලුම පාර්ශ්වයන්ගේ සහභාගීත්වයෙන් යුතුව ශ්‍රී ලංකා සිවිල් ගුවන් සේවා අධිකාරිය විසින් ජාතික සිවිල් ගුවන් සේවා ප්‍රධාන සැලැස්ම පිළියෙල කරනු ලැබ තිබේ. 

එකී සැලැස්ම ක්‍රියාවට නැංවීම පිණිස වරාය සහ සිවිල් ගුවන් සේවා අමාත්‍යවරයා  ඉදිරිපත් කරන ලද යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.