(ප්‍රීති ජයවර්ධන)

රුහුණ විශ්වවිද්‍යාලයේ නඩත්තු අංශයේ සේවය කරන වැඩ සහායකයකු එම විශ්වවිද්‍යලයෙන්ම ඉතිහාසයේ ප්‍රථම වරට උපාධියක් හිමි කර ගත්තේය.

මෙසේ උපාධි හිමිකර ගත්තේ දෙවුන්දර ගන්දරාවත්තේ තිදරු පියකු වන ඩී.ඩී.ප්‍රියන්ත රණසිංහ මහතාය.

රුහුණු විශ්වවිද්‍යාලය පෙනෙන දුරින් ජීවත් වූ රණසිංහ මහතා තල්පාවිල මධ්‍ය මහා විද්‍යාලයෙන් අධ්‍යාපනය ලබා 2001 වර්ෂයේ අ.පො.ස. ( උසස් පෙළ ) විභාගයේදී කලා විෂය ධාරාවෙන් සම්මාන සාමාර්ථ දෙකක් සහ සාමාන්‍ය සාමාර්ථයක් සමග විභාගය සමත් වුවද විශ්වවිද්‍යාලයකට ඇතුළත් විය නොහැකි විය.

විශ්ව විද්‍යාලයකට ඇතුළත් වීමට සුදුසුකම් නොලැබූ ඔහු උපාධි සිහිනය සැබෑ කරගැනීමට 2002 වර්ෂයේ රුහුණු විශ්වවිද්‍යාලයේ බාහිර ශිෂ්‍යයකු ලෙස ලියාපදිංචි වී අධ්‍යාපන කටයුතු කරගෙන ගිය ද එය අතරමග නතර කර දැමීමට සිදු වූයේ අනපේක්ෂිත සිදුවීමක් හේතුවෙනි.

ඒ අතර ඔහුගේ බාහිර උපාධි ලියාපදිංචිය ද 2017 වසරේ අවසන්ව විය.

ඒ අතර 2018 වර්ෂයේ ඔහුට රුහුණ විශ්වවිද්‍යාලයේ නඩත්තු අංශයේ වැඩ සහායකයකු ලෙස විශ්වවිද්‍යාලයේ සේවයට එක්වීමට හැකිවිය.

විශ්වවිද්‍යාලයේ සේවයට පැමිණි ප්‍රියන්තගේ අධ්‍යාපන සුදුසුකම් ගැන ඇසූ බොහෝ දෙනා ඔහුට උපාධිය සම්පූර්ණ කර ගන්නා ලෙස දිරිමත් කළහ.

ඒ අනුව එම විශ්වවිද්‍යාලයේ සේවය කරන බොහෝ දෙනකුගේ සහයෝගය මත ප්‍රියන්ත මහතාට ඔහුගේ බාහිර උපාධි ලියාපදිංචිය අලුත් කරගෙන ඔහුගේ උපාධිය අවසන් කර ගැනීමට හැකිවිය.