(සුජිත් හේවාජුලිගේ)

සමෘද්ධි දෙපාර්තමේන්තුවේ නිලධාරීන්ට ලබාදී අැති ණයවලින් රුපියල් කෝටි 1290ක් අයවීමට තිබුණු බවත් මෙම සේවක ණයවලින් රුපියල් හය කෝටියකට වැඩි මුදලක් ගෙවීම් පැහැර හැරීම හේතුවෙන් අයකර ගැනීමට කටයුතු නොකර බොල් ණය වශයෙන් කපා හැර තිබූ බවත් ජාතික විගණන කාර්යාලය නිකුත් කළ අලුත්ම වාර්තාවක සඳහන්වේ.

සමෘද්ධි දෙපාර්තමේන්තුව යටතේ ඇති ප්‍රජා මූල බැංකු, දිස්ත්‍රික් කාර්යාල හා බැංකු මූල්‍ය අංශයේ කාර්ය මණ්ඩලයේ නිලධාරීන් සඳහා ආයතන සංග්‍රහයට පටහැනිව සේවක පාරිභෝගික ණය, සේවක නිවාස ණය, විශේෂ සේවක ණය හා විශේෂ ආපදා ණය ආදී වශයෙන් මෙලෙස මෙම ණය ලබාදී තිබූ බව එහි දැක්වේ.

මේ අතර කළමනාකරණ මණ්ඩලය ප්‍රතිරක්ෂකයෙකු ලෙස ක්‍රියා කිරීමට බලතල ඇති මහ සංගමයෙන් නිර්දේශ නොගෙන විවිධ අවස්ථාවල රක්ෂණ ක්‍රම අනුමත කරගෙන තිබූ බවත් රජය විසින් නිකුත් කරනු ලබන චක්‍රලේඛවලට අනුගත නොවී විනිවිදභාවයෙන් තොරව රක්ෂණ මූලධර්මවලට පටහැනිව එම රක්ෂණ ක්‍රම ක්‍රියාත්මක කර වන්දි ගෙවීම්ද කර තිබූ බවත් ජාතික විගණන කාර්යාලය පවසයි.

වාර්ෂිකව වත්කම් සමීක්ෂණය කළ යුතු වුවත් දෙපාර්තමේන්තුවේ වාහන සම්බන්ධයෙන් 2025 වර්ෂයේදී කිසිදු සමීක්ෂණයක් කර නොතිබුණු බවද වාර්තාව සඳහන් කරයි.

මෙම තොරතුරු සඳහන් වන්නේ සමෘද්ධි සංවර්ධන දෙපාර්තමේන්තුවේ 2025 වාර්ෂික වාර්තාවට ඇතුළත් කරනු ලැබ ඇති විගණන වාර්තාවේය.