(නිමල් ජයරත්න)

පොළොන්නරුව හබරණ ප්‍රදේශයේ ආයුර්වේද සම්බාහන මධ්‍යස්ථාන මුවාවෙන් පවත්වාගෙන ගිය සම්බාහන ආයතන හතරක් වටලා එහි කළමනාකරුවන් සිව්දෙනකු ඇතුළු ගණිකා වෘත්තියේ යෙදුණු කාන්තාවන් 11 අත්අඩංගුවට ගත් බව පොළොන්නරුව කොට්ඨාස අපරාධ විමර්ශන අංශය සඳහන් කරයි.

හිඟුරක්ගොඩ අධිකරණය මගින් සෝදිසි මෙහෙයුම් වරෙන්තු ලබාගෙන මෙම වැටලීම සිදුකළ බව පොළොන්නරුව කොට්ඨාස අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක ඒ.ටී.බණ්ඩාර මහතා අප කළ විමසමකදී පැවසීය.

අත්අඩංගුවට ගත් කළමනාකරුවන් සිව්දෙනා මොනරාගල, සීගිරිය, ගම්පහ, මහියංගනය යන ප්‍රදේශවල පදිංචි අවුරුදු 19 ත්, 35 යන වයසේ පසු වන්නන් බව ඒ පිළිබඳ පරීක්ෂණ සිදුකරන පොළොන්නරුව කොට්ටාස අපරාධ විමර්ශන අංශය සඳහන් කරයි.

ගණිකා සේවයේ යෙදුණු කාන්තාවන් දිඹුලාගල දළුකාන, හබරණ, කැලණිය, මොණරාගල, පූනානි, අනුරාධපුරය සහ වැල්ලවාය ප්‍රදේශයේ පදිංචි අවුරුදු 19, 27, 33, 47, 33, 48, යන වයසේ පසුවන කාන්තාවන් බවද පොලිසිය කියයි.

ගණිකා සේවයේ යෙදුණු කාන්තාවන්ට අඩු මුදලක් දී මෙම කළමනාකරුවන් වැඩි මුදලක් උපයා ඇති බවද පරීක්ෂණවලින් හෙළිදරව් වී තිබෙන අතර මෙම සම්බාහන නිවාස දිගු කලක සිට පවත්වාගෙන ගොස් ඇති බවට ද අනාවරණය වී තිබේ.