
(විමුක්ති එස් රුද්‍රිගු)
ශ්‍රී ලංකාවේ අතීතයේ සිදුවූ බරපතළ මානව හිමිකම් උල්ලංඝනය කිරීම් සහ අතුරුදන් කිරීම් සම්බන්ධයෙන් නීතිය ක්‍රියාත්මක කිරීමේ කටයුතු සඳහා වත්මන් රජය ප්‍රතිඥා ලබාදී තිබුණද, එම පොරොන්දු ක්‍රියාත්මක කිරීමේදී මෙතෙක් සිදුව ඇත්තේ සීමිත ප්‍රගතියක් බව හියුමන් රයිට්ස් වොච් සංවිධානය පසුගියදා නවතම වාර්තාවක් නිකුත් කරමින් පෙන්වා දුන්නේය.
බලහත්කාරයෙන් අතුරුදන් කිරීම්, ඝාතනය කිරීම් සහ අනෙකුත් බරපතළ මානව හිමිකම් උල්ලංඝනය කිරීම් සම්බන්ධයෙන් ඵලදායී ලෙස චෝදනා ගොනු කෙරෙන බව සහතික කිරීමට මෙරට රජයන් අසමත් වන අතරතුර වින්දිතයන් සහ ඔවුන්ගේ පවුල් යුක්තිය ඉටුවන තෙක් දශක ගණනාවක සිට බලාසිටින බවද එම දත්ත වාර්තාවේ දැක්වේ.
පසුගිය මස මැද භාගය වනවිට චෙම්මනි සමූහ මිනීවලෙන් ඇටසැකිළි 580ක් හමුවීමම අතීතයේ සිදුවූ බරපතළ මානව හිමිකම් කඩකිරීම් සම්බන්ධයෙන් විශ්වසනීය යැපිය හැකි ස්වාධීන විමර්ශනයක අවශ්‍යතාව නැවත වරක් පෙන්නුම් කරන බවද හියුමන් රයිට්ස් වොච් සංවිධානය ප්‍රකාශ කළේය. චෙම්මනි සමූහ මිනීවල මෙරට හමුවූ විශාලතම සමූහ මිනීවල වන අතර වින්දිතයන්ගේ පවුල්වල සාමාජිකයන් සමූහ මිනීවල සම්බන්ධයෙන් දේශීය විමර්ශනයක විශ්වසනීයත්වය සම්බන්ධයෙන් සැක පළකර තිබෙන බවද එම සංවිධානය පැවැසුවේය.
ඔවුන් චෙම්මනි සමූහ මිනීවල සම්බන්ධයෙන් ජාත්‍යන්තර මැදිහත්වීමක් අපේක්ෂා කරන බවද හියුමන් රයිට්ස් වොච් සවිධානය ප්‍රකාශ කළේය. මුතූර්හිදී 2006 වසරේදී "ඇක්ෂන් අගේන්ස්ට් හන්ගර්" මානුෂීය සහන සංවිධානයේ සහන සේවකයින් 17ක් ඝාතනය කිරීමේ සිදුවීමට අදට වසර 20 ක් ගතවී ඇතත් එම සිදුවීමට සම්බන්ධ පුද්ගලයන් යුක්තිය හමුවට ගෙන ඒමේ කිසිඳු ප්‍රගතියක් වාර්තා වී නොමැති බවද එම සංවිධානය පෙන්වා දුන්නේය.
පාස්කු ඉරිදා ප්‍රහාරය, නාවික හමුදාවට සම්බන්ධ 11 දෙනකු අතුරුදන්වීම, මාධ්‍යවේදී ප්‍රගීත් එක්නැලිගොඩ අතුරුදන්වීම, මාධ්‍යවේදී ලසන්ත වික්‍රමතුංග ඝාතනය සහ කීත් නොයාර් පැහැරගෙන යාම ඇතුළු ප්‍රධාන සිදුවීම් කීපයක් සම්බන්ධයෙන් පරීක්ෂණවල යම් ප්‍රගතියක් පෙන්වුවද, බොහෝ සිද්ධීන් සම්බන්ධයෙන් තවමත් අවසන් නීතිමය ප්‍රතිඵලයක් ලැබී නොමැති බවද හියුමන් රයිට්ස් වොච් සංවිධානය ප්‍රකාශ කළේය.
කෙසේ නමුත් බොහොමයක් සිදුවීම් සම්බන්ධයෙන් තවමත් චෝදනා ගොනුකර නොමැති බවත් එම සිදුවීම්වලට වගකිව යුත්තන්ට තවමත් දඬුවම් ලැබී නොමැති බවත් එම සංවිධානය පෙන්වා දුන්නේය. අතීතයේ පත්කළ කොමිෂන් සභා ගණනාවක් මගින් ලබාදුන් නිර්දේශද වින්දිතයන්ට යුක්තිය ලබාදෙන නඩු පැවරීම් බවට පත්වී නොමැති බව හියුමන් රයිට්ස් වොච් සංවිධානය ප්‍රකාශ කළේය.
මේ අතර ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් මහ කොමසාරිස්වරයා මෙම මාසයේදී මානව හිමිකම් කවුන්සිලයට කරුණු ඉදිරිපත් කිරීමට නියමිත අතර, අතීත අපරාධ සම්බන්ධයෙන් වගවීම සහ යුක්තිය ඉටුකිරීම පිළිබඳව ශ්‍රී ලංකා රජයෙන් තවදුරටත් ප්‍රශ්න කිරීමට එය අවස්ථාවක් වනු ඇතැයි හියුමන් රයිට්ස් වොච් සංවිධානය සඳහන් කළේය.
වත්මන් රජයට අතීත මානව හිමිකම් උල්ලංඝන සම්බන්ධයෙන් යුක්තිය ඉටුකර දේශීය නීති පද්ධතිය පිළිබඳ ජනතාවගේ විශ්වාසය නැවත ගොඩනැගීමට ඓතිහාසික අවස්ථාවක් හිමිව තිබෙන බවද එම සංවිධානය පෙන්වා දෙයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd