(විමුක්ති එස් රුද්‍රිගු)

මෙරට ජීවත්වන සිවු දෙනෙකුගෙන් යුත් පවුලකට ජීවත්වීමට අවශ්‍ය මූලික අවශ්‍යතා පමණක් සපුරා ගැනීමට සාමාන්‍යයෙන් රුපියල් 70,716 මුදලක් අවශ්‍ය බව ජන හා සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුව නිකුත් කළ නවතම දත්ත වාර්තාවල දැක්වේ.

මෙම වසරේ ජනවාරි මාසයේදී මෙරට ජීවත්වන සිවු දෙනෙකුගෙන් යුත් පවුලකට ජීවත්වීමට අවශ්‍ය මූලික අවශ්‍යතා සපුරා ගැනීමට රුපියල් 66,920 ක් අවශ්‍ය වූවේය. ඒ අනුව පසුගිය ජනවාරි මාසයට සාපේක්ෂව ජූලි මාසය අවසාන වනවිට සිවු දෙනෙකුගෙන් යුත් පවුලකට ජීවත්වීමට අවශ්‍ය මූලික අවශ්‍යතා සපුරා ගැනීමට අවශ්‍ය මුදල සියයට 5.67 කින් ඉහළ ගොස් තිබේ.

දිස්ත්‍රික්ක වශයෙන් ගත්කළ සිවු දෙනෙකුගෙන් යුත් පවුලකට සිය මූලික අවශ්‍යතා සපුරා ගැනීමට වැඩිම මුදලක් අවශ්‍ය වන්නේ කොළඹ දිස්ත්‍රික්කයේ බවත් එම මුදල රුපියල් 76,268 ක් බවත් ජන හා සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුවේ දත්ත වාර්තා පෙන්වා දෙයි. දෙවැනි ස්ථානයට ජීවත්වීමට අවශ්‍ය මූලික අවශ්‍යතා සපුරා ගැනීමට වැඩිම මුදලක් අවශ්‍ය වන්නේ ගම්පහ දිස්ත්‍රික්කයේ බවත් ගම්පහ දිස්ත්‍රික්කයේ ජීවත්වන සිවු දෙනෙකුගෙන් යුත් පවුලකට ජීවත්වීමට අවශ්‍ය මූලික අවශ්‍යතා සපුරා ගැනීමට රුපියල් 75,876ක් අවශ්‍ය බව එම දත්ත වාර්තාවේ දැක්වේ.

එසේම තෙවැනි ස්ථානයට සිවුදෙනෙකුගෙන් යුත් පවුලකට සිය මූලික අවශ්‍යතා සපුරා ගැනීමට වැඩිම මුදලක් අවශ්‍ය වන්නේ නුවරඑළිය දිස්ත්‍රික්කයේ වන අතර එම මුදල රුපියල් 74,368 කි. තවද දිස්ත්‍රික්ක වශයෙන් ගත්කළ සිවුදෙනෙකුගෙන් යුත් පවුලකට ජීවත්වීමට අවශ්‍ය මූලික අවශ්‍යතා සපුරා ගැනීමට අඩුම මුදලක් අවශ්‍ය වන්නේ මොණරාගල දිස්ත්‍රික්කයේ වන අතර එම මුදල රුපියල් 67,616 ක්වේ.