(උපාලි ආනන්ද)

වැඩි මිළට අළෙවි කිරීමේ අරමුණින් සිමෙන්ති  සඟවා තබා ගෙන සිටි බවට අධිකරණය හමුවේ චෝදනා ලබා සිටි අනුරාධපුරයේ ගොඩනැගිලි ද්‍රව්‍ය අලෙවිහාල් දහයකට එකී චෝදනාවට වරදකරු වීමෙන් පසුව එම ගොඩනැගිලි ද්‍රව්‍ය අලෙවිහල්වලට මුදලින් රුපියල් ලක්ෂයක දඩ මුදලක් අනුරාධපුර අතිරේක මහේස්ත‍්‍රාත් හේමන්ත පුෂ්ප කුමාර සහ කැකිරාව මහේස්ත‍්‍රාත් සමන් වැරනියගොඩ යන මහත්වරුන් නියම කළේය.

එක් ගොඩනැගිලි ද්‍රව්‍ය අලෙවිහලකට මුදලින් රුපියල් දස දහස බැගින් වෙන් වෙන් වශයෙන් රුපියල් ලක්ෂයක දඩ මුදල නියම කරනු ලැබීය.

අත්අඩංගුවට ගත් සිමෙන්ති  මිටි 500 රාජ සන්තක කිරීමටද මහේස්ත‍්‍රාත්වරු තවදුරටත් නියෝග කළහ.

පාරිභෝගික අධිකාරියේ උතුරු මැද පළාත් සහකාර අධ්‍යක්ෂ මංජුල ගුනවර්ධන මහතාගේ උපදෙස් මත එම කාර්යාලයේ අනුරාධපුර දිස්ත‍්‍රික් කාර්යාලයේ ප‍්‍රධානි බී ඒ සී පී පෙරේරා සහ විමර්ශන නිලධාරින් වන එල් එම් එස් නාවිමන,ලහිරු ආරියසිංහ,එස් ඒ එම් රසිත්,ඩබ් ඞී එස් චතුරානි සහ ඩබ් එම් පී කේ විජේපාල යන මහත්වරු මෙම වැටලීම් සිදු කළහ.