
(විමුක්ති එස් රුද්‍රිගු)
ශ්‍රී ලංකාවේ ආර්ථිකය පසුගිය වසරේදී සියයට 5 කින් වර්ධනය වී තිබුණත් එම වසරේ මෙරටට ලැබුණු සෘජු විදෙස් ආයෝජන ප්‍රමාණය ඇමෙරිකානු ඩොලර් බිලියන 1.06කට පමණක් සීමා වී ඇතැයි ඇමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව මෙරට ආයෝජන පරිසරය පිළිබඳව නිකුත් කළ නවතම වර්තාවක දැක්වේ.
පසුගිය වසරේදී ශ්‍රී ලංකාවට ලැබුණු ඇමෙරිකානු ඩොලර් බිලියන 1.06 ක සෘජු විදෙස් ආයෝජන ප්‍රමාණය මෙරට දළ දේශීය නිෂ්පාදිතයෙන් සියයට එකක් බවත් ආයෝජන සඳහා තරගකාරීත්වයක් පවතින නැගී එන ආර්ථිකයන්හි සෘජු විදේශ ආයෝජන සාමාන්‍යයෙන් දළ දේශීය නිෂ්පාදනයෙන් සියයට තුනත් හතරත් අතර මට්ටමක පවතින බවත් එම වාර්තාවේ සඳහන් වේ.
ඒ අනුව ශ්‍රී ලංකාවේ සෘජු විදේශ ආයෝජන ප්‍රමාණය එම මට්ටමට වඩා සැලකිය යුතු ප්‍රමාණයකින් පහළින් පවතින බවද එම වාර්තාව පෙන්වා දෙයි. මෙරට ඇතිවූ දරුණුතම ආර්ථික අර්බුදයෙන් පසුව ශ්‍රී ලංකාව නැවතත් යථා තත්වයට පත්වෙමින් සිටින බවද ඇමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව නිකුත් කළ එම වාර්තාවේ සඳහන් වේ.
මෙරට ධනාත්මක සැලකිය යුතු ආර්ථික වර්ධනයක් පසුගිය වසරේදී වාර්තා කළද රටේ ආයෝජන පරිසරය තවදුරටත් අභියෝගාත්මක මට්ටමක පවතින බවද එම වාර්තාවේ දැක්වේ. ශ්‍රී ලංකාවේ සිදුකෙරෙන සෘජු විදේශ ආයෝජන ප්‍රධාන වශයෙන් නිෂ්පාදන කර්මාන්ත, වරාය සංවර්ධනය, සංචාරක කර්මාන්තය, තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය, ව්‍යාපාර ක්‍රියාවලි බාහිරින් ලබාගැනීමේ සේවා සහ දේපළ වෙළෙඳාම් යන ක්ෂේත්‍රවලට යොමුවන බවද එම වාර්තාවේ සඳහන් වේ.
විදේශ ආයෝජන සඳහා ශ්‍රී ලංකාව තුළ අවස්ථා පැවතියද, ප්‍රතිපත්ති ස්ථාවරත්වය, නියාමන ප්‍රතිසංස්කරණ, පුහුණු ශ්‍රම බලකාය සහ කාර්මික කටයුතු සඳහා අවශ්‍ය ඉඩම් ලබාගැනීමේ පහසුකම් වැඩිදියුණු කිරීම ආයෝජන ඉහළ නැංවීම සඳහා අවධානය යොමු කළ යුතු කරුණු ලෙස එම වාර්තාව පෙන්වා දෙයි. ආයෝජන ප්‍රවර්ධනය කිරීමේදී පවතින නියාමන අනපේක්ෂිත බව, නිලධාරී ක්‍රියාපටිපාටිවල පවතින බාධා සහ තීරණ ගැනීමේ ප්‍රමාද සම්බන්ධයෙන් විදේශ ආයෝජකයන් අවධානය යොමුකර ඇති බවද ඇමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
ව්‍යාපෘති සම්බන්ධයෙන් ගනු ලබන තීරණ වෙනස්වීම, නියාමන වෙනස්කම් සහ රාජ්‍ය ආයතනවලින් තීරණ ගැනීම සඳහා ගතවන කාලය සම්බන්ධයෙන්ද ගැටලු විදෙස් ආයෝජකයන් පෙන්වාදී තිබෙන බවද එම දෙපාර්තමේන්තුව පවසයි. එසේම අනවශ්‍ය රෙගුලාසි, නීතිමය අවිනිශ්චිතතාව සහ නිලධාරීන්ගේ ප්‍රතිචාර දැක්වීමේ දුර්වලතාද ශ්‍රී ලංකාවේ ආයෝජන ප්‍රවර්ධනයට බලපාන ප්‍රධාන බාධා ලෙස වාර්තාව පෙන්වා දෙයි.
මේ අතර, 2025 වසරේදී කොළඹ කොටස් වෙළෙඳපොළේ සියලු කොටස් මිල දර්ශකය සියයට 42කින් ඉහළ ගොස් ඇති අතර, එස් ඇන්ඩ් පී එස්එල් 20 දර්ශකය සියයට 27කින් ඉහළ ගොස් තිබේ. එම වසර අවසානය වනවිට කොළඹ කොටස් වෙළෙඳපොළේ සමස්ත වෙළෙඳපොළ ප්‍රාග්ධනීකරණයද සියයට 42කින් ඉහළ ගොස් ඇති බව වාර්තාවේ සඳහන් වේ.
කෙසේ වෙතත්, එම කාලය තුළ කොළඹ කොටස් වෙළෙඳපොළෙන් ශුද්ධ විදේශ ආයෝජන ගලායාමක් වාර්තා වී ඇති අතර, එහි වටිනාකම ඇමෙරිකානු ඩොලර් මිලියන 128ක් බවද ඇමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව පවසයි.
ශ්‍රී ලංකාව විදේශ ආයෝජන සඳහා බොහෝ ආර්ථික ක්ෂේත්‍ර විවෘත කර තිබියදීත්, 2025 වසරේදී සෘජු විදේශ ආයෝජන දළ දේශීය නිෂ්පාදනයෙන් සියයට එකක පමණ මට්ටමක පැවති බව ඇමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුවේ නවතම ආයෝජන තත්ත්ව වාර්තාව පෙන්වා දෙයි. රී ලංකාවේ විදේශ සංචිත ප්‍රමාණයද 2025 වසර අවසානයේදී ඇමෙරිකානු ඩොලර් බිලියන 6.8ක් වූ අතර, එම වසරේ විදේශ ශ්‍රමිකයන්ගෙන් ලැබුණු ප්‍රේෂණ ප්‍රමාණය ඇමෙරිකානු ඩොලර් බිලියන 8.1ක වාර්තාගත මට්ටමකට ළඟා වී තිබූ බවද එම වාර්තාවේ සඳහන් වේ.
මේ අතර, ශ්‍රී ලංකාවේ රාජ්‍ය ව්‍යවසායන් සම්බන්ධයෙන්ද ආයෝජන පරිසරයට බලපාන කරුණු පවතින බව ඇමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව පෙන්වා දෙයි. රට තුළ රාජ්‍ය ව්‍යවසායන් 527ක් පවතින අතර, ඉන් 55ක් උපායමාර්ගික රාජ්‍ය ව්‍යවසායන් ලෙස හඳුනාගෙන ඇති බවත්, ඇතැම් රාජ්‍ය ව්‍යවසායන්හි කළමනාකරණය, සේවක සංඛ්‍යාව සහ මූල්‍ය තොරතුරු හෙළිදරව් කිරීම සම්බන්ධයෙන් ගැටලු පවතින බවත් එම වාර්තාවේ සඳහන් වේ.
ශ්‍රී ලංකාවේ රැකියා වෙළෙඳපොළ සම්බන්ධයෙන්ද එම වාර්තාවේ කරුණු ඉදිරිපත් කර ඇති අතර, මෙරට ශ්‍රම බලකාය මිලියන 8.1ක් පමණ වන බවත්, ඉන් සියයට 50.6ක් සේවා අංශයේද, සියයට 26.3ක් කර්මාන්ත අංශයේද, සියයට 23.2ක් කෘෂිකාර්මික අංශයේද නිරතව සිටින බවත් සඳහන් වේ.
එසේම මෙරට ශ්‍රම බලකායෙන් ආසන්න වශයෙන් සියයට 70ක් පමණ අවිධිමත් අංශයේ රැකියාවල නිරතව සිටින බවත්, විදේශ රැකියා සඳහා 2025 වසරේදී ශ්‍රී ලාංකිකයන් 310,915 දෙනකු ලියාපදිංචි වී ඇති බවත් එම වාර්තාවේ දැක්වේ.
විදේශ ආයෝජන පරිසරය පිළිබඳව වාර්තාව අවධානය යොමු කරන්නේ ශ්‍රී ලංකාව ආර්ථික අර්බුදයෙන් පසු යථා තත්ත්වයට පත්වෙමින් සිටියද, ආයෝජන ආකර්ෂණය කර ගැනීමේදී ප්‍රතිපත්ති ස්ථාවරත්වය, නියාමන ක්‍රියාවලිය, රාජ්‍ය ආයතනවල කාර්යක්ෂමතාව සහ පුහුණු ශ්‍රම බලකායක් වැනි කරුණු තවදුරටත් වැදගත් වන බවයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd