(අංජුල මහික වීරරත්න)

රජයේ වැඩපිළිවෙළට මහා සංඝරත්නයෙන් ලැබෙන ආධ්‍යාත්මික මඟපෙන්වීම සහ සමාජයේ යහපත් වටිනාකම් ශක්තිමත් කිරීම සඳහා ලැබෙන සහයෝගය වටිනා ශක්තියක් බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය පැවසුවාය.

වතුරවිල වනවාස සංඝ මූලස්ථානාධිපති , ශ්‍රී ඥාණානන්ද වනවාස මහා පිරිවෙණේ අධ්‍යක්ෂ මහකන්දේ රතපාල ස්වාමීන්වහන්සේ ශ්‍යාමෝපාලී වනවාස නිකායේ මහනායක ධූරයෙන් පිදුම් ලැබීම වෙනුවෙන් පැවති උත්සවයේදී අග්‍රාමාත්‍යවරිය මේ බව සඳහන් කළාය.

දශක හයකට ආසන්න කාලයක් පුරා වනවාස සම්ප්‍රදාය, ශාසනික අධ්‍යාපනය සහ ධර්ම ශාසනයේ අඛණ්ඩ පැවැත්ම වෙනුවෙන් මහකන්දේ රතනපාල ස්වාමීන්වහන්සේ ඉටු කළ මෙහෙවර ඉතාමත් වටිනවා. උන්වහන්සේ වෙත පිරිනැමුණු මහානායක ධුරය එම ශාසනික මෙහෙවරට ලැබුණු මහත් ගෞරවයක්.

වනවාසී භික්ෂූන්වහන්සේලා ස්වභාවධර්මය සමඟ සහජීවනයෙන් හා සංයමයෙන් යුතුව ගත කරන ජීවන රටාව වගේම ආරණ්‍යවාසී භික්ෂූන්වහන්සේලාගේ ජීවන සම්ප්‍රදාය තුළින් ප්‍රකාශවන සරලත්වය, සංයමය, විනය සහ අනාගතය පිළිබඳ වගකීම, රටක් නවීකරණය කරන මේ ගමනේදී ඉතා වැදගත් ආදර්ශයක් යනුවෙන්ද අග්‍රාමාත්‍යවරිය කීවාය. බුද්ධ ශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු නියෝජ්‍ය අමාත්‍ය ගමගෙදර දිසානායක, විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහත්වරුද මීට සහභාගී වූහ.