IMG-LOGO

2024 මැයි මස 05 වන ඉරිදා


ෂැංග්‍රිලා හෝටලයේදී පුපුරුවා ගත්තේ අමුතු රසායනික යෙදූ බෝම්බයක්

(*** දසුන් රාජපක්ෂ)

පාස්කු ඉරුදින කොළඹ ෂැංග්‍රිලා හෝටලයට එල්ල කළ මරාගෙන මැරෙන ප්‍රහාර දෙක සඳහා යූරියා නයිට්ට්‍රේට් නම් මෙතෙක් මෙරටින් වාර්තා නොවු රසායනික ද්‍රව්‍ය යොදා සෑදු බෝම්බ ​යොදාගෙන ඇති බව විශ්‍රාමික රජයේ රස පරීක්ෂක ඒ. වැලිඅංගේ මහතා පාස්කු ඉරුදින බෝම්බ ප්‍රහාර මාලාව සම්බන්ධයෙන් විමර්ශනය කරන ජනාධිපති කොමිසම හමුවේ සාක්ෂි ලබා දෙමින් ඊයේ (16) ප්‍රකාශ කළේය.

මෙම බෝම්බ සඳහා වැඩිදියුණු කළ ඩෙටනේටර් සහරාන් ඇතුළු පිරිස සාදා ඇති බවද වැලිඅංගේ මහතා ජනාධිපති කොමිසම හමුවේ පැවසීය.

අභියාචනාධිකරණ විනිසුරු ජනක් ද සිල්වා මහතාගේ සභාපතිපත්වයෙන් යුත් මෙම ජනාධිපති කොමිසම අභියාචනාධිකරණ විනිසුරු නිශ්ශංක කරුණාරත්න, විශ්‍රාමික අභියාචනාධිකරණ විනිසුරු  සුනිල් රාජපක්ෂ විශ්‍රාමික මහාධිකරණ විනිසුරු බන්දුල කුමාර සහ විශ්‍රාමික අමාත්‍යාංශ ලේකම් එම්.එම්. අධිකාරී යන මහත්ම මහත්මීන්ගේ ප්‍රධානත්වයෙන් බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ ස්ථාපිත කර ඇති විශේෂ කාර්යාලයේදී ඊයේ (16) රැස්වූහ.

වැඩිදුරටත් සාක්ෂි ලබාදුන් විශ්‍රාමික රජයේ රස පරීක්ෂක ආරියනන්ද වැලිඅංගේ මහතා මෙසේද ප්‍රකාශ කළේය.

පුපුරණ ද්‍රව්‍ය හා ගිනි සම්බන්ධයෙන් 1993 වසරේ සිට මා විශ්‍රාම ගන්නා තුරු සේවය කරමින් සිටියා.

නීතිපති දෙපාර්තමේන්තුව නියෝජනය කළ රජයේ නීතිඥවරිය – 2009 වසරේ සිදුවූ පාස්කු ඉරුදින බෝම්බ ප්‍රහාරයට පෙර ඔබට බෝම්බ පිපිරීම් ගැන විමර්ශනයන් ගැන අත්දැකීම් තිබේද?
වැලිඅංගේ මහතා :- 1993 වසරේ සිට ලංකාවේ සිදුවූ සෑම ත්‍රස්තවාද පිපිරීම්වලින් සියයට අනූපහක් පමණ මා විමර්ශනය කර තිබෙනවා. එම විමර්ශන ඒකකයේ දෙවැනි ප්‍රධාන නිලධාරියා වශයෙන් මා කටයුතු කළා. දිගම්පතන නාවික හමුදා පිපිරීම්, කැබිතිගොල්ලෑව බෝම්බ පිපිරීම, කොල්ලුපිටිය පොලිස් ස්ථානයේ සිදුවු බෝම්බ ප්‍රහාරය. හිටපු යුද හමුදාපති සරත් ෆොන්සේකා මහතා ඉලක්ක කර එල්ල කළ බෝම්බ ප්‍රහාරය සහ වත්මන් ජනාධිපතිවරයා ඉලක්ක කර එල්ල කළ ත්‍රස්ත ප්‍රහාරය ඇතුළු ත්‍රස්තවාදී බෝම්බ පිපිරීම් රාශියක් පිළිබඳව මා විමර්ශනය කර තිබෙනවා. ඉන්පසු මෑත කාලයේ එල්ල වූ පාස්කු ඉරුදින බෝම්බ ප්‍රහාරයේ විමර්ශන කටයුතු බාරව සිටියේද මා බව ප්‍රකාශ කරන්න කැමතිය.

රජයේ නීතිඥවරිය :– බෝම්බ පිපිරීමක් යනු කුමක්ද?
වැලිඅංගේ මහතා :- රසායනික ද්‍රව්‍ය භාවිතා කර නිපදවන උපාංගයක් වශයෙන් බෝම්බයක් හැඳින්විය හැකිය. යම් උපක්‍රමයක් යොදාගෙන රසායනික ද්‍රව්‍යයක් පුපුරුවා හරින්න පුළුවන් නම් එය බෝම්බයක්. බෝම්බයකට යම් තාක්ෂණයක් උපයෝගී කර ගන්නවා. බෝම්බ සඳහා කළු වෙඩිබෙහෙත්, ඩයිනමයිට්, ටී.එන්.ටී සහ තවත් රසායනික ද්‍රවය තමයි බෝම්බ හැඳීමට භාවිතා කරන්නේ.
පාස්කු ප්‍රහාර මාලාවට යොදාගෙන තිබුණේ යූරියා නයිට්‍රේට් වලින් සෑදු බෝම්බ. රසායනිකව ප්‍රතික්‍රියා කිරීමට රසායනික ද්‍රව්‍ය කිහිපයක් පාස්කු ප්‍රහාර මාලාවේ බෝම්බ සඳහා යොදාගෙන තිබුණා. රසායනික ද්‍රවය ප්‍රතික්‍රියා කිරීමට උෂ්ණත්වය පාලනය කළ යුතුයි. යූරියා නයිට්‍රේට් සුදු පැහැති සීනි කැට වැනි ද්‍රව්‍යයක්. එය අධිබලැති රසායනික සංයෝගයක්. ගින්නෙන් එවැනි බෝම්බ පුපුරා හරින්න බැහැ. අනිවාර්යෙන් ඩෙටනේටරයක් අවශ්‍යයි.

විනිසුරු මඩුල්ලේ සභාපති අභියාචනාධිකරණ විනිසුරු ජනක් ද සිල්වා මහතා :- යූරියා නයිට්‍රේට් සුදු කැට ගැන පැහැදිලි කිරීමක් කරන්න.
වැලිඅංගේ මහතා :- එය සුදුපාටින් යුක්ත සීනිකැට වගේ තිබෙන්නේ.
ඒ අවස්ථාවේදී නීතිපති දෙපාර්තමේන්තුව නියෝජනය කළ නීතිඥවරිය ඉන්දියාවේ නිෂ්පාදනය කළ ඩෙටනේටර් 99ක් සහ නයිට්‍රික් අම්මලය හා යූරියා ඇතුළු රසායනික ද්‍රව්‍ය විශාල ප්‍රමාණයක් මෙරට ආරක්ෂක අංශ 2019 ජනවාරි 16 වැනිදා අත්අඩංගුවට ගෙන තිබෙන බව දැනුම් දී සිටියාය.

රජයේ නීතිඥවරිය:- වනාතවිල්ලුවේදී ආරක්ෂක අංශ කොණ්ඩය වේලන ඉලෙක්ට්‍රොනික උපාංගද අත්අඩංගුවට ගෙන තිබෙන බව වාර්තා වෙනවා.
වැලිඅංගේ මහතා:- බෝම්බයක් පිපිරිමේදී අධික උෂ්ණත්වයක් පිට වෙනවා. කම්පන තරංග නිසා ශරීර කොටස් කෑලි කෑලි වලට කැඩෙන්න පුළුවන්. උදාහරණයක් ලෙස මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයකදී ශරීරයේ කොටස් අධික කම්පනයකට ලක්වීම නිසයි කෑලි කෑලිවලට වෙන්වෙන්නේ. සමහර බෝම්බවලට යකඩ බෝල සහ යකඩ කොටස් ඇතුළත් කරනවා. බෝම්බය පුපුරන විට ඒවා විසිවී මිනිසුන් මිය යෑමට හෝ තුවාලවීමට පුළුවන්. මේ ක්‍රම තුන තමයි බෝම්බවලට යොදා ගන්නේ.

විනිසුරු මඩුල්ලේ සභාපතිවරයා :- මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයකදී බෙල්ල පිපිරෙන්නෙ නැත්තේ ඇයි?
වැලිඅංගේ මහතා:- බෙල්ලෙන් පහළට වන්නට ශරීරයේ කොටසක තමයි මරාගෙන මැරෙන බෝම්බ සවි කරන්නේ. එම බෝම්බ පිපිරීමේදී ඇතිවන අධික කම්පනය නිසා ශරීරයේ අනිත් කොටස් පිපිරී බෙල්ල ඉහළට විසි වෙනවා. ඊට අමතරව සමහර විට බෙල්ලෙන් ඉහළ කොටස විනාශ වීමටත් හැකියාව තිබෙනවා. එය සිදුවන්නේ බෝම්බය පිපිරවීමේ උපක්‍රමය තමයි.

විනිසුරු මණ්ඩලය :- පාස්කු ඉරුදින ​ බෝම්බ ප්‍රහාරය එල්ල කළ ස්වයං ඝාතකයන් පිටේ එල්ල ගත්ත බෑග්වල තමයි බෝම්බ අරන් ආවේ. ඒ ගැන පැහැදිලි කරන්න.
වැලිඅංගේ මහතා:- මෙම බෝම්බ පිපිරවීම සිදුවුනේ බහුතර ජනතාවක් ඉදිරියේදී. පිටුපස ප්‍රදේශයේ බෝම්බ එල්ල ගෙන සිටින විට මුහුණට වන හානිය අවමයි.

රජයේ නීතිඥවරිය:- බෝම්බවලට යකඩ කැබලි දාන්නේ ඇයි?
වැලිඅංගේ මහතා:- ජන සමූහයක් ඝාතනය කිරීමේ අරමුණින් තමයි යකඩ කැබලි බෝම්බවලට යොදන්නේ.

රජයේ නීතිඥවරිය :-  කම්පන  තරංග නිසා තුවාල සිදු වෙන්න පුළුවන්ද?
වැලිඅංගේ මහතා: බෝම්බ පිපිරීමක් ආසන්නයේ සිටියොත් තුවාල වෙන්න පුළුවන්. ඒ වගේම කම්පන තරංග නිසා විසිවීමක් සිදුවිය හැකියි.

රජයේ නීතිඥවරිය:- බෝම්බ ප්‍රහාරවලට ගෑස් සිලින්ඩර් යොදා ගන්නවාද? එසේනම් ගෑස් සිලින්ඩරයක් යනු කුමක්ද?
වැලිඅංගේ මහතා:- ගෑස් සිලින්ඩරයක් පුපුරා යෑමට අධික තාපයක් අවශ්‍යයි. සිලින්ඩරයට සම්බන්ධ නලයේ කාන්දුවක් ඇතිවිට එල්.පී. වායුව එළියට පැමිණ වායුව පුපුරා යන්න පුළුවන්. එහිදී ගෑස් සිලින්ඩරය නොව පිටතට පැමිණෙන වායු මිශ්‍රණය තමයි පුපුරා යන්නේ.

විනිසුරු මඬුල්ල :- පිපිරීමකට ලක්කරන ලෙස ගෑස් සිලින්ඩරයක් හදන්න පුළුවන්ද?  එසේත් නැතිනම් වෙනත් උපාංගයක් යොදාගෙන ගෑස් සිලින්ඩරයක් පුපුරවන්න පුළුවන්ද?
වැලිඅංගේ මහතා:- ගෑස් සිලින්ඩරයක් පිපිරවිය හැක්කේ ක්ෂණික තාපය ඇති කිරීමක් මගින් පමණයි. පාස්කු ප්‍රහාර මාලාවේදී කොච්චිකඩේ පල්ලිය ළඟ තිබුණු වාහනයක බෝම්බ සමග ගෑස් සිලින්ඩරයක් තබා තිබුණා. බෝම්බය පිපිරීම නිසා අධික තාපය මගින් ගෑස් සිලින්ඩරය එහිදී පිපිරී ගොස් තිබුණා. බෝම්බයක් පිපිරීමේදී ඒ අසල වපසරියක පමණයි කම්පන තරංග ඇතිවන්නේ. ගෑස් සිලින්ඩරයක් පිපිරීමකදී ගෑස් තැන් තැන්වලට විසිරී යා හැකියි.

රජයේ නීතිඥවරිය:- ඔක්සි ඇසිටලීන් දැල්ල එකක් කියල දෙයක් ගැන ඔබ දන්නවද?
වැලිඅංගේ මහතා:- වෑල්ඩින් කිරීමට යොදා ගන්නේ එම දැල්ලයි. ඔක්සිජන් සහ ඇසිටලීන් වායු එකතු කර තමයි මේ දැල්ල හදන්නේ. ඒ සඳහා සිලින්ඩර් දෙකක් භාවිතා කරනවා. එකක් ඔක්සිජන් ගන්න. අනික ඇසිටලීන් ගන්න.
මේ අවස්ථාවේදී සී 601 සහ සී 602 ලෙස නම් කළ ඡායාරූප  දෙකක් රජයේ නීතිඥවරිය විසින් වැලිඅංගේ මහතා වෙත පෙන්වීමෙන් අනතුරුව ඒ ගැන මතයක් ඉදිරිපත් කළ හැකිදැයි විමසා සිටියාය.
වැලිඅංගේ මහතා:- ෆොටෝ වලට අනුව ඇඟිලි කැඩිලා ගිහින්. ශරීරයේ වර්ණයන්වල වෙනස්වීමක් පේනවා. මෙවැනි පිපිරීම් සිදුවූ ස්ථාන මා පරීක්ෂාවට ලක්කර තිබෙනවා. අතේ ඇති තුවාලවල ස්වභාවය අනුව යම් පුපුරණ ද්‍රව්‍යක් අතේ පුපුරා ගොස් ඇති බව පෙනී යනවා. එහෙත් ලොකු ප්‍රමාණයක පුපුරණ ද්‍රවය ප්‍රමාණයක් පිපිරී ගොස් නැහැ. පුපුරණ ද්‍රව්‍ය අඩු ප්‍රමාණයක් පිපිරී ගොස් තිබෙන බව මෙම ෆොටෝ නිරීක්ෂණය කළ මට පැවසිය හැකියි. කම්පන තරංග වලින් මෙම පිපිරිම සිදුවී තිබෙන බවට නියැදියක් මට ප්‍රකාශ කළ හැකියි.

විනිසුරු මඬුල්ල:- යූරියා නයිට්‍රේට් යොදා හදන බෝම්බවල ඇති යූරියාවලට යම් ජීව කාලයක් තිබිය යුතුද?
වැලිඅංගේ මහතා:- එය නිශ්චිතව ප්‍රකාශ කළ නොහැකියි. යූරියාවලට ජලය උරා ගැනීමේ හැකියාව ඉතා අධිකයි. යූරියා නැවුම්ව තිබුණොත් තමයි බෝම්බය පුපුරන්නේ. යූරියා බොහෝ කලක් තැබුවහොත් දියර බවට පත් වෙනවා. මා යූරියා නයිට්‍රේට් යොදා බෝම්බ සාදන බව දැනගත්තේ පාස්කු ඉරුදින බෝම්බ ප්‍රහාර මාලාවෙන් පසුවයි. එය අලුත් උපක්‍රමයක්. යූරියා නයිට්‍රේට් යොදා බෝම්බ සෑදීම ගැන ඉන්පසු මා අධ්‍යනය කළා.

විනිසුරු මඬුල්ල:- නයිට්‍රේටි අම්ලයේ ජීව කාලය කොහොමද?
වැලිඅංගේ මහතා:- ඊට කාලය ගැටලුවක් නැහැ. නිශ්චිත උෂ්ණත්වයක තබනවා නම් වසර දහයක් වුවත් ඒවා තබාගත හැකියි.
විනිසුරු මඬුල්ල:- යූරියා නයිට්‍රේට් යොදා සෑදූ පුපුරණ ද්‍රව්‍ය කොපමණ කාලයක් තබාගත හැකිද?
වැලිඅංගේ මහතා:- වැඩිකාලයක් තබාගත නොහැකියි. ටී.එන්.ටී. වගේ පුපුරණ ද්‍රව්‍ය බොහෝ කල් තබාගත හැකියි. ඒ පිළිබඳව මට ලොකු අත්දැකීමක් නැහැ. ඒ නිසා මට නිශ්චිත විද්‍යාත්මක මතයක් ඉදිරිපත් කරන්න බැහැ. තෙතමනය උරාගැනීමට හැකි නොවන ලෙස මාස කිහිපයක් යූරියා නයිට්‍රේට් තබාගත හැකියි. සාමාන්‍ය කාමරයක උෂ්ණත්ව මට්ටමක තබාගත නොහැකියි. ශීතකරණයක තැබිය හැකියි.

විනිසුරු මඬුල්ල:- යූරියා නයිට්‍රේට් යොදා සෑදූ බෝම්බයක් පිපිරවීමට ඩෙටනේටරයක් අවශ්‍යද?
වැලිඅංගේ මහතා:- යූරියා නයිට්‍රේට් අධිබලැති පුපුරණ ද්‍රව්‍යක්. එයට අනිවාර්යයෙන් ඩෙටනේටරයක් අවශ්‍යයි. ගින්දර මඟින් ඒවා පිපිරවිය නොහැකියි. ඩෙටනේටරයකින් ඇතිකරන කම්පනයකින් පමණයි ඒවා පිපිරවිය හැක්කේ. ඩෙටනේටර් වර්ග දෙකක් තිබෙනවා. බැටරියක් මඟින් ක්‍රියාත්මක වෙන විදුලි ඩෙටනේටර් තිබෙනවා. ඒ වගේම ඒකට සර්කිට් එකක් ද තිබිය යුතුයි. අනික් මර්ගය විදුලි ඩෙටනේටරය. එය ගින්දර මගින් සක්‍රීය කළ හැකියි.

විනිසුරු මඬුල්ල:- බැටරි මගින් පමණ ද විදුලි ඩෙටනේටර් පාවිච්චි කරන්න පුළුවන්?
වැලිඅංගේ මහතා:- ඔව්. එය විද්‍යුත් පරිපථයකට සම්බන්ධ කරල ස්විචයක් සම්බන්ධ කළ යුතුයි. ස්විචය ක්‍රියා කරවීම මගින් බෝම්බය පුපුරවා හැරෙනවා. එය ස්වයං ඝාතක ක්‍රමය ලෙස හඳුන්වන්න පුළුවන්. තවත් ක්‍රමයක් තිබෙනවා. යම් කිසි කාලයක් ඇතුළත පුපුරවන්න හදන්නත් පුළුවන්. එසේත් නැතිනම් දුරස්ථ පාලකයක් මඟින් පිපිරවිය හැකියි.

විනිසුරු මඬුල්ල:- ස්විචයක් මගින් පුපුරවන විට එය ක්‍රියා නොකරන්න පුළුවන් නේද?
වැලිඅංගේ මහතා:- හොඳ තත්ත්වයේ ඩෙටනේටරයක් නම් පිපිරවිය හැකියි. ඒ වගේම බැටරියත් හොඳ මට්ටමක තිබිය යුතුයි.

විනිසුරු මඬුල්ල:- යූරියා නයිට්‍රේට් බෑගයක් කොළඹ සිට මඩකළපුවට ප්‍රවාහනය කර ඇති බව මීට ඉහත දී මේ කොමිසමේදී අනාවරණය වුණා.
වැලිඅංගේ මහතා:- එලෙස රැගෙන යෑමේදී පිපිරීමක් සිදුවන්නේ නැහැ. බෝම්බයක් පුපුරණ විට ඉතා කෙටි කාලයකදී කම්පනයක් ඇති වී ඒ පරිශ්‍රය වායුව රහිත තැනක් වෙනවා. එවිට කම්පන තරංග මගින් ශරීර කොටස් කැඩී යනවා. ඒ වගේම යකඩ කැබලි අඩංගු නම් ඒවා ශරීරවලට වදිනවා.

විනිසුරු මඬුල්ල:- ස්වයං ඝාතකයන් දෙදෙනකු එකට සිට එක් අයෙක් බෝම්බයක් පුපුරා ගත්තොත් අනිත් බෝම්බයත් පිපිරී යා හැකිද?
වැලිඅංගේ මහතා:- පුපුරවා හරින බෝම්බය ආසන්නයේ අනෙක් බෝම්බකරු සිටියහොත් එහි කම්පන තරංග නිසා අනිත් බෝම්බය පුපුරා යා හැකියි.

විනිසුරු මඬුල්ල:- ඔබ ෂැංග්‍රිලා හෝටලයේ සිදුවූ බෝම්බ ප්‍රහාරයන් නිරීක්ෂණය කර තිබේද?
වැලිඅංගේ මහතා:- ඔව්. බෝම්බ කොටස් විද්‍යාගාරවලට අරන් ගිහින් පරීක්ෂා කළා. එහිදී තමයි යූරියා නයිට්‍රේට් ගැන අනාවරණය කරගත්තේ.

විනිසුරු මඬුල්ල:- එහිදී ඔබට වෙනත් පුපුරණ ද්‍රව්‍ය හමු වුණාද?
වැලිඅංගේ මහතා:- නෑ. යූරියා නයිට්‍රේට් පමණයි හමුවුණේ. පාස්කු දින වූ සෑම ප්‍රහාරයකදීම හොයාගත්තේ ඒවා පමණයි.

විනිසුරු මඬුල්ල:- ප්‍රහාරයන්ට යොදාගත් පුපුරණ ද්‍රව්‍ය කොතරම් පරණ ද කියා සොයා ගන්න පුළුවන්ද?
වැලිඅංගේ මහතා:- අපට කියන්න පුළුවන් පුපුරණ ද්‍රව්‍ය මොනවාද කියා පමණයි. ඒවා සෑදූ කාල පරාසය කියන්න බැහැ. අවසාන පිපිරීම වූ සයින්දමරදුවල ප්‍රහාරයට වෝටර් ජෙල් පුපුරණ ද්‍රව්‍ය යොදාගෙන තිබුණා. ගල් පුපුරවන්න තමයි වෝටර් ජෙල් යොදා ගන්නේ. නීති විරෝධීව මසුන් මැරීමට ද වෝටර් ජෙල් යොදා ගන්නවා. නමුත් වෝටර් ජෙල්වලටත් මෙටනේටරයක් අවශ්‍යයි.

විනිසුරු මඬුල්ල:- යූරියා නයිට්‍රේට් හා වෝටර් ජෙල් අතරින් ප්‍රබල පුපුරණ ද්‍රව්‍ය කුමක්ද?
වැලිඅංගේ මහතා:- යූරියා නයිට්‍රේට් ප්‍රබලයි. නමුත් වෝටර් ජෙල් යූරියා නයිට්‍රේට්වලට වඩා වැඩි කාලයක් තබාගත හැකියි.

විනිසුරු මඬුල්ල:- වනාතවිල්ලුවේදී අත්අඩංගුවට ගත් ඩෙටනේටර් සහ පාස්කු පිපිරීම්වලට යොදාගත් ඩෙටනේටර් එක සමාන ඒවාද?
වැලිඅංගේ මහතා:- බෝම්බ පිපිරීමක් සිදුවූ පසු ඩෙටනේටර් ඉතිරි වන්නේ නැහැ. පාස්කු ප්‍රහාරය සිදු කළ අය සාමාන්‍ය ඩෙටනේටර් අලුත්වැඩියා කර සේවා නූල් වෙනුවට වීදුරු ඉවත් කළ කුඩා බල්බ විද්‍යුත් පරිපථවලට සම්බන්ද කර තිබුණා. එහිදී විදුලි බල්බය පිපිරුණු පසු බෝම්බය පිපිරීම සිදුවෙනවා.

විනිසුරු මඬුල්ල:- දෙමටගොඩ දී සිදු වූ බෝම්බ ප්‍රහාරය ඔබ නිරීක්ෂණය කළාද?
වැලිඅංගේ මහතා:- එය නිරීක්ෂණය කළා. පොලොවේ ලොකු වළක් සෑදී තිබුණේ බෝම්බ බිම තිබූ නිසා විය හැකියි.

විනිසුරු මඬුල්ල:- ඒ බෝම්බ පුපුරවා ගත් ආකාරය පැවසිය හැකිද?
වැලිඅංගේ මහතා:- එතන පිපිරීම් දෙකක් සිදු වී තිබෙනවා. කාන්තාවක් එකක් පුපුරුවාගෙන තිබෙනවා. ඉන් පසු අනික් බෝම්බය පුපුරා ගොස් තිබෙනවා. කාන්තාව සිය උකුලේ බෝම්බය තබාගෙන පුපුරවා ගත්තා විය හැකියි.

විනිසුරු මඬුල්ල:- පිපිරී ගිය අනෙක් බෝම්බය ගැන ඔබට පැවසිය හැකිද?
වැලිඅංගේ මහතා:- පිපිරී ගිය පළමු බෝම්බයේ කම්පන තරංග නිසා දෙවැනි බෝම්බය පිපිරී ගියා විය හැකියි. නමුත් නිශ්චිතව එය පැවසිය නොහැකියි.

විනිසුරු මඬුල්ල:- ඔබ දෙහිවලදී සිදු වූ බෝම්බ ප්‍රහාරය පරීක්ෂා කිරීමට ගියාද? එය කුමන අයුරකින් පිපිරී තිබේද?
වැලිඅංගේ මහතා:- ඔව්. නමුත් එහිදී හිස්කබලක් හමු නොවූ නිසා එය මරාගෙන මැරෙන බෝම්බයක් ද වෙනත් අයුරකින් පුපුරා හැරියා ද කියා නිශ්චිතව ප්‍රකාශ කළ නොහැක.

විනිසුරු මඬුල්ල:- කොච්චිකඩේ පිපිරීමේදී හිස් කබල් කීයක් හම්බ වුණාද?
වැලිඅංගේ මහතා:- එකයි. ශ්‍රැංගිලාහි බෝම්බ ප්‍රහාර දෙකක් සිදු වී තිබුණා. ගාලු මුවදොරට පිහිටා තිබූ එකම තට්ටුවක පිහිටි රෙස්ටුරන්ට් එකක එකක් පිපිරී තිබුණා.

විනිසුරු මඬුල්ල:- ශ්‍රැංග්‍රිලා ප්‍රහාරයේදී පිපිරීම් සිදුවීම් දෙකක් වුණත් එක් හිස්කබලයි හමුවුණේ. ඒ ඇයි?
වැලිඅංගේ මහතා:- වැඩි පුපුරණ ද්‍රව්‍ය ප්‍රමාණයක් ඊට යොදා තිබූ නිසා විය හැකියි.
විනිසුරු මඬුල්ල හමුවේ පොලිස් නිලධාරීන් පස් දෙනකු සහ කොළඹ ජාතික රෝහලේ ව්‍යෛවරයකු ද ඊයේ (16) සාක්ෂි ලබාදුන්හ.



අදහස් (3)

ෂැංග්‍රිලා හෝටලයේදී පුපුරුවා ගත්තේ අමුතු රසායනික යෙදූ බෝම්බයක්

anura Wednesday, 17 June 2020 06:24 AM

මෙම සාක්කි විමසීමේ සමහර කරුණු ප්‍රසිද්ධ නොකරන්නේ නම් හොඳ යයි මම සිතනවා. විශේෂයෙන්ම මෙහි සඳහන් රසායනික ද්‍රව්‍ය සුලභ ඒවා. අනවශ්‍ය පුද්ගලයන් මේවා දැන ගැනීම ඉතාම භයානකයි. ඉස්සරට වඩා කරුණු පහසුවෙන් සොයා ගත හැකි කාලයක මේවා හෙලිදරව් නොකිරීම නුවැණැති කාගේත් වගකීමක්.

:       7       137

duminda Wednesday, 17 June 2020 10:41 AM

ඔක්කොම හරි... කවුද මේකට වැරැදි..?

:       0       2

JayaWednesday, 17 June 2020 01:32 PM

කවුද ඉතින් අපිම තමයි..

:       0       0

ඔබේ අදහස් එවන්න

දියත

බළන්ගොඩ හදිසි මරණවලින් සියයට 70ක් හෘදයා බාධ
2024 මැයි මස 04 559 0

බලන්ගොඩ ප්‍රදේශයේ ඉකුත් මාස තුනක කාලය තුළ සිදු කළ හදිසි මරණ පරික්ෂණ වලදිි වයස අවුරුදු 30 -50 අතර මරණවලින් සියයට හැත්තැවක පමණ ප්‍රමාණයක් හෘදයාබාධ හේතුවෙන


බිරියට පහරදුන් සැමියා පාලනයට පොලිසිය වෙඩි තියයි
2024 මැයි මස 04 870 0

වීදුරු බෝතලයකින් බිරිඳගේ ගෙල කැපූ සැමියකු පාලනය කිරීම සඳහා පොලිසිය වෙඩි තැබිය.


ඇමෙරිකා දූපත් වටේ නිරුවතින් මුහුදු සවාරියක්
2024 මැයි මස 04 90 0

සහභාගී වන්නන්ට අමුතුම ආකාරයේ අත්දැකීමක් ලබාදෙන අද්විතීය නෞකා ගමනක් පිළිබඳ තොරතුරු විදෙස් මාධ්‍ය පසුගියදා වාර්තා කළේය.


සල්ලි කාරයන්ට ඔලිම්පික් බලන්න කෝටි 11 පැකේජයක්
2024 මැයි මස 04 41 0

ලොව ධනවත්ම පුද්ගලයන්ට පැරිස් ඔලිම්පික් තරගාවලිය නැරඹීම සඳහා ඇමෙරිකානු ඩොලර් 381,600 ක (ශ්‍රී ලංකා රුපියල් කෝටි 11ක පමණ) අති විශේෂ පැකේජයක් හඳුන්වා දීමට ජී.ආ


නතර වූ ව්‍යාපෘති ගැන යෝකෝ කමිකාවාගෙන් පොරොන්දුවක්
2024 මැයි මස 04 593 0

නිල ණය හිමියන්ගේ කමිටුව සහ ශ්‍රී ලංකාව ණය ප්‍රතිව්‍යාහගත කිරීමේ අවබෝධතා ගිවිසුමට අත්සන් තැබූ පසු සහ මෙරට ද්වීපාර්ශ්වික ගිවිසුම් ඉතා ඉක්මනින් අවසන් ක


සහනාධාර සහල් නොදුන්නැයි ග්‍රාම නිලධාරිනියට ගහලා
2024 මැයි මස 04 362 0

රජය මගින් ලබා දෙන සහල් නොදුන්නැයි උරණවූ කාන්තාවක කළ පහරදීමකින් ග්‍රාම නිලධාරීවරියක රෝහල් ගතකර ඇති බව පොලිසිය පවසයි.


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 483 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1928 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1700 4
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site