(අංජුල මහික වීරරත්න)

ශ්‍රී පාද අධිසංවේදී පාරිසරික කලාපය තුළ පොලිතීන් සහ ප්ලාස්ටික් භාවිතය අවම කිරීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත .

ශ්‍රී පාද වන්දනා සමය සෑම වසරකම දෙසැම්බර් මාසයේ ආරම්භ වී මාස 06ක කාලයක් පවතින අතර එම කාලය තුළ එහි පැමිණෙන වන්දනා කරුවන් සහ අනෙකුත් පුද්ගලයින් විසින් බැහැර කරනු ලබන දිරන සහ නොදිරන අපද්‍රව්‍ය විශාල ප්‍රමාණයක් ප්‍රදේශය තුළ එක් රැස් වීම සිදු වේ. ශ්‍රී පාද අඩවිය වන සත්ව හා වෘක්ෂලතා ආරක්ෂණ ආඥාපනත මඟින් ආවරණය වන අධිසංවේදී කලාපයක් වන අතර, එම ප්‍රදේශය තුළ කසල කළමනාකරණය කාලීන අවශ්‍යතාවයක් ව පවතී. ඒ අනුව, ශ්‍රී පාද වන්දනා සමය තුළ එකී ප්‍රදේශයේ පොලිතින් සහ ප්ලාස්ටික් භාවිතය අවම කිරීම උදෙසා 2025 වසරේ සිට පරිසර අමාත්‍යාංශය විසින් පහත සඳහන් පියවර අනුගමනය කරනු ලබන බව පරිසර අමාත්‍යවරයා  විසින් අමාත්‍ය මණ්ඩලය දැනුවත් කරන ලදුව, ඒ සඳහා අමාත්‍ය මණ්ඩලයේ එකඟතාව ලබා දීමට තීරණය කරන ලදී.

* මේ වන විටත් තහනමට ලක් කර ඇති පොලිතින් අමුද්‍රව්‍යයක් ලෙස යොදා නිෂ්පාදිත ආහාර දවටන (ලන්ච් ශීට් ආදිය), අධි ඝනත්වයෙන් යුත් පොලිඑතිලින් මඟින් නිෂ්පාදික බහාලුම් (සිලිසිලි මලු), සැෂේ පැකට්, ප්‍රසාරිත පොලිස්ටයිරින්වලින් නිෂ්පාදිත තනි - භාවිත ආහාර බහාලුම්, තනි-භාවිත බීම බට, කනි - භාවිත පිඟන් කෝප්ප, හැඳි, ගෑරුප්පු හා පිහි මෙම ප්‍රදේශය තුළ විකිණීම හෝ වන්දනාකරුවන් විසින් රැගෙන යාම සම්පූර්ණයෙන් තහනම් කිරීම.

* ලීටරයට අඩු තනි - භාවිත ප්ලාස්ටික් ජල බෝතල් හා බීම බෝතල් රැගෙන යාම තහනම් කිරීම.

* පොලිතින් ආවරණ සහ ඇසුරුම් සහිත ආහාරපාන, ඖෂධ හෝ අනෙකුත් බඩු භාණ්ඩ කිසිවක් පාරිසරික අධිසංවේදී කලාපය තුළ බැහැර කිරීම තහනම් කිරීම.

* පාරිසරික අධිසංවේදී කලාපය තුළ ඇති ව්‍යාපාරික ස්ථාන විසින් අලෙවි කරන ප්ලාස්ටික් ආවරණ සහිත ආහාරපාන හෝ වෙනත් වෙළෙඳ භාණ්ඩ අලෙවියෙන් පසු ජනනය වන අප අද්‍රව්‍ය කළමනාකරණය කිරීමේ වගකීම අදාළ වෙළෙඳසල් හිමියන් වෙත පැවරීම.

* ජල උල්පත් හා ජල මාර්ග අපවිත්‍ර කිරීම සහ එම ස්ථාන වලට පොලිතීන් හා ප්ලාස්ටික් අපද්‍රව්‍ය බැහැර කිරීම තහනම් කිරීම.

* අලෙවිසල් ඉදිකිරීමෙදී සහ පවත්වාගෙන යාමේදී ඒකරාශී වන පොලිතීන් සහ ප්ලාස්ටික් අපද්‍රව්‍ය නිසි ලෙස එකතු කර ශ්‍රී පාද අධි සංවේදී කලාපයෙන් බැහැරට ගෙනවිත් අදාළ නගරසභා හෝ ප්‍රාදේශීය සභා හරහා අවසන් බැහැර කිරීමේ වගකීම ඒ ඒ අලෙවිසල් හිමියන් වෙත පැවරීම.