(මනොප‍්‍රිය ගුණසේකර)

පාලන මිලට වඩා රුපියල් 10/-ක් වැඩි මිලට දේශිය නාඩු සහල් විකිණීම සහ පාලන මිලට වඩා රුපියල් 80/-ක් වැඩි මිලට දේශිය කිරී සම්බා සහල් විකිණීමේ චෝදනා යටතේ පවරා තිබු නඩු දෙකකට වරද පිළිගත් පිටකොටුවේ සහල් වෙළඳ ආයතනයකට කොළඹ අතිරේක මහෙස්ත‍්‍රාත් දර්ශිමා ප්‍රේමරත්න මහත්මිය රුපියල් ලක්‍ෂ 10ක දඩ නියම කළාය.

පාරිභෝගික කටයුතු අධිකාරියේ නාරාහේන්පිට දිස්ත‍්‍රික් කාර්යාලයෙන් සහ කොළම ප‍්‍රධාන කාර්යාලය මඟින් නඩු දෙකක් යටතේ පවරා තිබු චෝදනාවන්ට වරද පිළිගැනීම නිසා මෙලෙස දඩ නියම වුයේ පිටකොටුව පරණ යොන් වීදීයේ ‘කින්ග් ෆිෂර්’ මාර්කටින් නමැති ආයකනයටය.

දේශිය නාඩු සහල් කිලෝව සඳහා රුපියල් 230/-ක උපරීම සිල්ලර මිලක් නියම කර තිබියදී මෙන්ම දේශිය නාඩු සහල් කිලෝව රුපියල් 230/-ක මිලට වඩා වැඩි මිලට අලෙවි නොකළ යුතු බවට නියම කර තිබියදී 2026 ජනවාරී මස 29 වැනිදා හෝ ඊට ආසන්න දිනයක කොළඹ පිටකොටුවේදී ‘නිව් රත්න’ දේශිය නාඩු සහල් කිලෝ 05 බෑගය රුපියල් 1200/-ක මිලට හෙවත් දේශිය නාඩු සහල් කිලෝව රුපියල් 240/-ක මිලට විකූණු බවට විත්තිකාර සමාගමට එරෙහිව පාරිභෝගික කටයුතු අධිකාරියේ නාරාහේන්පිට දිස්ත‍්‍රික් කාර්යාලය විසින් නඩුවක් පවරා තිබිණී.