
(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න)
භාණ්ඩ ආනයනය කිරීමේ මුවාවෙන් ආසන්න වශයෙන් රුපියල් කෝටි 21470කට වැඩි මුදලක් (ඇමරිකානු ඩොලර් කෝටි 75ක පමණ මුදලක්) විද්‍යුත් බැංකු මුදල් හුවමාරු (Telegraphic Transfer - TT) ක්‍රමය අවභාවිත කරමින් 2023 ජනවාරි සිට 2026 මාර්තු දක්වා කාලයේදී රටින් පිටතට යවා ඇති බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයෙක් රජයේ මුදල් පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාවේදී අනාවරණය කළේය.
මෙම කරුණු අනාවරණය කෙරැණේ ආනයන හා අපනයන (පාලන) පනත යටතේ නිකුත් කර ඇති අංක 2493/39 සහ අංක 2493/03 දරන අතිවිශේෂ ගැසට් නිවේදන මගින් හඳුන්වා දී ඇති නව රෙගුලාසි සලකා බැලීම සඳහා රජයේ මුදල් පිළිබඳ කාරක සභාව පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා මහතාගේ සභාපතිත්වයෙන් පෙරේදා (21) පාර්ලිමේන්තුවේදී රැස්වූ අවස්ථාවේදීය.
මෙම විමර්ශනයේදී සමාගම් 105ක්, බැංකු ගිණුම් 227ක් සහ රාජ්‍ය හා පෞද්ගලික බැංකු 13ක් හරහා කර ඇති ගනුදෙනු 24,300කට අධික සංඛ්‍යාවක් පිළිබඳව අවධානය යොමු කෙරැණු බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මුදල් කමිටුවට දැනුම් දුන්නේය.
ටීටී (TT) ක්‍රමය මගින් මුදල් යවා තිබුණද අදාළ භාණ්ඩ මෙරටට ආනයනය කර නොමැති අවස්ථා මෙන්ම ව්‍යාජ ඉන්වොයිසි, ආනයන ලේඛන සහ සමාගම් භාවිත කළ අවස්ථාද විමර්ශනවලදී හඳුනාගෙන ඇතැයිද එහිදී සඳහන් කෙරිණ
මෙම අවස්ථාවට නියෝජ්‍ය අමාත්‍යවරුන් වන චතුරංග අබේසිංහ සහ නිශාන්ත ජයවීර මහත්වරුන් මෙන්ම පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන රවී කරුණානායක, හර්ෂණ රාජකරුණා, ෂානක්කියන් රාජපුත්තිරන් රාසමාණික්කම්, අජිත් අගලකඩ, නිමල් පලිහේන, නීතිඥ චිත්‍රාල් ප්‍රනාන්දු, විජේසිරි බස්නායක, තිළිණ සමරකෝන් සහ චම්පික හෙට්ටිආරච්චි යන මහත්වරුද සහභාගී වූහ.
අනීතික විදේශ විනිමය ගනුදෙනු සම්බන්ධයෙන් නීතිමය ක්‍රියාමාර්ග ගැනීමේදී පවතින බාධා, අදාළ ආයතන අතර දත්ත හුවමාරුවේ පවතින අඩුපාඩු සහ බැංකුවල පාරිභෝගික අනන්‍යතාව තහවුරු කිරීමේ (Know Your Customer - KYC) ක්‍රියාවලියේ දුර්වලතා පිළිබඳව ද කාරක සභාවේ අවධානය යොමු විය.
කෙසේ වෙතත්, මෙම රෙගුලාසි ක්‍රියාත්මක කිරීමේදී නීතිගරුක ව්‍යවසායකයන්ට අනවශ්‍ය අපහසුතා ඇති නොවන ලෙස කටයුතු කළ යුතු බව කාරක සභා සාමාජිකයෝ පෙන්වා දුන්හ. නව රෙගුලාසි වඩාත් ඵලදායී ලෙස ක්‍රියාත්මක කිරීම සඳහා මහා භාණ්ඩාගාරය, ශ්‍රී ලංකා රේගුව, ශ්‍රී ලංකා මහ බැංකුව සහ ශ්‍රී ලංකා පොලිසිය නියෝජනය වන ඒකාබද්ධ ජ්‍යෙෂ්ඨ නිලධාරී කමිටුවක් පිහිටුවීමට රජයේ මුදල් පිළිබඳ කාරක සභාව මෙහිදී යෝජනා කළේය.
අංක 2493/39 දරන අතිවිශේෂ ගැසට් නිවේදනය යටතේ හඳුන්වා දී ඇති ආනයන පෙර ගෙවීම් (Advance Payments) සම්බන්ධ නව රෙගුලාසි කාරක සභාවේදී සලකා බලා අනුමත කෙරිණ
භාණ්ඩ ආනයනය නොකර පෙර ගෙවීම් මගින් විදේශ විනිමය රටින් පිටතට ගලායාම වැළැක්වීම, ආනයන ගනුදෙනු අධීක්ෂණය ශක්තිමත් කිරීම සහ විදේශ විනිමය අවභාවිතයන් පාලනය කිරීම එහි අරමුණ බව සඳහන් විය.
නව රෙගුලාසි අනුව පෙර ගෙවීම් සිදු කිරීමට පෙර ආනයනකරුවන් ශ්‍රී ලංකා රේගුවේ "සුදුසුකම් ලත් ආනයනකරුවන්" ලෙස ලියාපදිංචි වීම අනිවාර්ය වන අතර, සෑම ගනුදෙනුවක් සඳහාම බැංකු මගින් Unique Identification Number (UIN) ලබාදී එම තොරතුරු ශ්‍රී ලංකා රේගුව වෙත වාර්තා කළ යුතු වේ.
එමෙන්ම අංක 2493/03 දරන අතිවිශේෂ ගැසට් නිවේදනය යටතේ හඳුන්වා දී ඇති ලෝහ ආශ්‍රිත භාණ්ඩ අපනයන පාලන රෙගුලාසිද කාරක සභාවේදී අනුමත කෙරිණි.
ඒ අනුව, ලෝහ ආශ්‍රිත භාණ්ඩ අපනයනය සඳහා පාලන බලපත්‍ර ලබා ගැනීම අනිවාර්ය කර ඇති අතර HS කේත 55ක් නව පාලන ක්‍රමවේදයට ඇතුළත් කර අැත. නීතිවිරෝධී ලෝහ අපනයනය වැළැක්වීම සහ දේශීය කර්මාන්ත ආරක්ෂා කිරීම මෙහි අරමුණ බව කාරක සභාව පැවැසීය
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd