තරිඳු ජයවර්ධන
එක්සත් ජාතික පක්ෂයෙන් කිසිම අවස්ථාවක නොයන බවත්, මහින්ද රාජපක්ෂ මහතා සහ රනිල් වික්‍රමසිංහ මහතා සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේදී ඡන්දයක් පවත්වන්නේ නම් රනිල් වික්‍රමසිංහ මහතාට විශ්වාසය පළ කරන බවත් එක්සත් ජාතික පක්ෂ පොලොන්නරු දිස්ත්‍රික් මන්ත්‍රී හිටපු විදේශ කටයුතු රාජ්‍ය ඇමැති වසන්ත සේනානායක මහතා පැවසීය.
තමා තවමත් ඇමැති ධුරයේ සිටින්නේ ද නැද්ද යන්න නිෂ්චිතව නොදන්නා බවත් මෙම ගැටලුකාරී තත්ත්වය ගැන ඉදිරියේදී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා හමුවී සාකච්ඡා කිරීමට බලාපොරොත්තු වන බවත් සේනානායක මහතා කීවේය.
වසන්ත සේනානායක මහතා මේ බව පැවසුවේ ඊයේ (28) රාත්‍රී කොළඹ අරලියගහ මන්දිරයේ පැවැති මාධ්‍ය සාකච්ඡාවකදීය. විදේශගතව සිට ලංකාවට පැමිණි වසන්ත සේනානායක මහතා ඊයේ (28) රාත්‍රී අරලියගහ මන්දිරයට පැමිණ රනිල් වික්‍රමසිංහ මහතා හමුවිය. එම හමුවෙන් පසු මාධ්‍ය සාකච්ඡාවකට එක්වෙමින් මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්නවලට දුන් පිළිතුරු මෙසේය.
ප්‍රශ්නය - ජනාධිපතිවරයාගේ ජාතිය ඇමතීමේ ප්‍රකාශය ගැන මොකද කියන්නේ?
පිළිතුර - මම කෙන්නියාවේ ඉඳන් ආවා විතරයි. එතුමාගේ ප්‍රකාශය මට අහන්න ලැබුණේ නෑ.
ප්‍රශ්නය -රටේ නීතිය හරියට ක්‍රියාත්මක වුනේ නෑ කියලා ජනාධිපතිගේ ප්‍රකාශයෙන් තේරෙනවා නේද?
පිළිතුර - රටේ නීතිය ක්‍රියාත්මක වුණේ නැතිනම් ජනාධිපතිතුමයි, අගමැතිතුමයි දෙන්නම ඒකට වගකියන්න ඕනෑ. එක්කෙනෙක් විතරක් නෙමෙයි. එහෙම වුණා කියලා මං කියන්නේ නෑ. එහෙම වුණා නම් දෙන්නම වග කියන්න ඕනෑ.
ප්‍රශ්නය - ඔබලා තමයි කිව්වේ ජනාධිපතිවරණයේ දී මේ ජනාධිපතිට ඡන්දය දෙන්නේ කියලා?
පිළිතුර - මම තමයි ජනාධිපතිතුමාටත් කළින් එළියට බැස්සේ. ඒ වෙලාවේ රට වෙනසක් ඉල්ලුවා. මම ප්‍රථමයා විදියටයි එළියට බැස්සේ. ඒ වෙනස අපි ඇතිකරලා දුන්නා. හැබැයි ඒ වෙනස ජනතාව බලාපොරොත්තු වූ වෙනස නෙමෙයි. අපි යහපාලන ආණ්ඩුවක් කියලා හදපු ආණ්ඩුව ජනතාව ඉල්ලපු දේ ඉශ්ට කරලා දුන්නේ නෑ. යහපාලන ආණ්ඩුව විසිරිලා අවසන් වුණු එක ගැන මම ගොඩක් සතුටු වෙනවා. මොකද යහපාලන ආණ්ඩුව තමයි මේ කාලේ බිහිවුණු මූසල ආණ්ඩුව. හරියට නයයි මුගටියයි අතර විවාහයක් වගේ. හැමෝම හැම පැත්තටම ඇද්දා. රට එක දිසාවකටවත් ගියේ නෑ. එක තැන පල් වුණා.
ප්‍රශ්නය - දැන් රටේ අගමැතිවරු දෙදෙනෙක් සිටිනවා. ඔබ විශ්වාසය පළ කරන්නේ කාටද?
පිළිතුර - අගමැතිවරු දෙන්නෙක් නෑ. එක්කෙනයි ඉන්නේ. එක්කෝ රනිල් වික්‍රමසිංහ. නැතිනම් මහින්ද රාජපක්ෂ. නීතියෙන් තීරණය කරන්න ඕනෑ කවුද අගමැති කියලා. ව්‍යවස්ථාව අනුව එක අගමැතියි ඉන්න පුලුවන්. එය මට තීරණය කරන්න බෑ. අධිකරණයෙන් තීරණය කරන්න ඕනා.
ප්‍රශ්නය - ඔබ පාර්ලිමේන්තුවෙදි විශ්වාසය පළ කරන්නේ කාටද?
පිළිතුර - පාර්ලිමේන්තුව තමයි ශ්‍රේෂ්ඨම. එය තමයි ඉහළම අධිකරණය. පාර්ලිමේන්තුව මුලින්ම රැස් කරන්න ඕනා. මම විශ්වාස කරනවා ඒ වෙනකොට තියන සංඛ්‍යාවත් එක්ක බලය තියෙන කෙනාට අගමැතිකම දෙයි කියලා. මම හිතන්නේ නෑ තරගයකට යයි කියලා.
ප්‍රශ්නය - පාර්ලිමේන්තුවේදි ඔබ විශ්වාසය පළ කරන්නේ කාටද?
පිළිතුර - මගේ සහාය අපේ පක්ෂයෙන් ඉදිරිපත් කරන කෙනාටයි.
ප්‍රශ්නය - රනිල් වික්‍රමසිංහ මහතා සහ මහින්ද රාජපක්ෂ යන දෙදෙනාගෙන් කාට හරි විශ්වාසය පළ කරන්න වුණොත් ඔබ කාටද පළ කරන්නේ?
පිළිතුර - කළිනුත් කිව්වා පක්ෂයෙන් ඉදිරිපත් කරන කෙනා කියලා. රනිල් වික්‍රමසිංහ මහතාට විශ්වාසය පළකරනවා.
ප්‍රශ්නය - ඔබ ඉන්නේ පක්ෂය ගැන කළකිරීමකින්ද?
පිළිතුර - පක්ෂය ගැන මට යම් යම් කළකිරීම් තියෙනවා. මම එය කවදාවත් හැංගුවේ නැහැනේ.
ප්‍රශ්නය - ඒ කළකිරීමත් එක්ක පක්ෂයෙන් ඉවත්වීමේ තීරණයක ඉන්නවද?
පිළිතුර - නෑ. මට ඡන්දය දුන්නු යූඇන්පී කාරයො කිව්වොත් යන්න කියලා මට යන්න වෙනවා. එහෙම නැතුව මම යන්නේ නෑ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
තව සුමාන දෙකකටත් වැඩිය තියෙනවානේ. ඒක නිසා දැන්මම කලබල වෙන්න එපා.
දේශපාලන මතිමතාන්තර කෙසේවෙතත් තරුණ සේනානයක මහතාගේ තීරණය අගය කරමි. එතුමා ප්‍රතිපත්තිගරුක බවත් සිය පරම්පරාවේ ගරුත්වය ආරක්ෂාකර ඇත.
විධායක ජනාධිපතිවරයාගේ අත්තනෝමතික ක්‍රියාකලාපය මුළුමහත් රටම ප්‍රශ්න වැලකට ඇද දමා සිටි සැබවින්ම බහුතර බලයක් නොමැති මහින්ද රාජපක්ෂට අගමැති කම ලබාදීමෙන් රටේ ප්රජාතන්ත්රවාදයට ඔහු විසින් එල්ල කරන ලද්දේ මරු පහරකි. සතුරාට වුවද පහරදිය යුත්තේ සාධාරණ විදිහටයි. මින් ඉදිරියට මෙවැනි අත්තනෝමතික බලලෝභී පුද්ගලයන් තම නායකයින් ලෙස පත්කර ගැනීමට පෙර දෙවරක් සිතන්න.
ජනතාවගේ හදගැස්ම තේරුම් ගන්න ඔබට බැරි උනොත් ඔබව ජනතාව යායුතු තැනට යවාවි.
එක එක දවසට එක එක කතා කියන මෙවැනි පුද්ගලයන් විස්වාස කරන්න අමාරුය.
තව සුමාන දෙකකටත් වැඩිය තියෙනවානේ. ඒක නිසා දැන්මම කලබල වෙන්න එපා. දැන් ලන්සුව එන්න එන්නම ඉහලට යනවාලු. පිටරටකිනුත් ආයෝජකයින් ඉදිරිපත් වෙලා තියෙන නිසා ඉල්ලන ගානක් දෙන්න දැන් ඇහැකි තත්වයක් උදා වෙලා තියෙන වාලු. අපි කියන දේ පිළිගන්න බැරිනම් අහල බලන්නකෝ වඩිවේල් සුරේෂ්, රවී කරුණානායක, බුද්ධික පතිරණ, තොන්ඩමන්,විජේදාස රාජපක්ෂ, අරවින්ද කුමාර්, රාදා ක්‍රිෂ්ණන් වගේ කට්ටියගෙන් දෙන්නට සූදානම් මිලගණන කීයද, තනතුරු මොනවද කියල. කල දුටු කල වල ඉහගන්න මහත්තයෝ. තව එකක් ඔබ තුමා ඉතාම වටිනා යෝජනාවක් කරලා තිබුණ. එක්සත් ජාතික පක්ෂය මේ අවුලෙන් ගොඩ අරගෙන රට පාලනය කරන තැනට ගෙනියන්න නම් නායකත්වය කරු ජයසුරිය මහතාට හෝ සජිත් ප්‍රේමදාස මහතාට බාර දෙන්න කියල. මේක ඉතාම හොඳ යෝජනාවක්. මම ප්‍රාර්ථනා කරනවා අද වෙන විට ඔය එකට ගුලිවී යන එන මඟක් දන්නේ නැතුව කරුවලේ ඇත පත ගාමින් ඉන්නා හිත මිතුරු සමනල සන්ධානයේ සියලුම දෙනාට මෙම යෝජනාව පැහැදිලිව ඇසේවා. එසේ ඇසී එහි ඇති වැදගත්කම දැනට හිස්ව කුරුවල්වී ගොස් ඇති හිස් මොළ කුහර වලට වැටහේවා. වැටහී එවැනි පියවරක් ගැනීමට සිත් සතන් පහල වේවා කියල. ස්වස්ති සිද්ධම්.