(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න )

ශ්‍රේෂ්ඨාධිකරණයේ සහ අභියාචනාධිකරණයේ විනිසුරුවරුන්ගේ විශ්‍රාම කාලය දීර්ඝ කිරීමේ සංශෝධන ඇතුළත් විසි දෙවැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා (සංශෝධන) පනත් කෙටුම්පත  සහ අධිකරණ  සංවිධාන (සංශෝධන) පනත් කෙටුම්පත පිළිබඳ විවාදය හෙට  (24) ආරම්භවේ.

මෙම විවාදය හෙට (24) සහ අනිද්දා (25) දින දෙකක් පැවැත්වෙන අතර අවසාන ඡන්දය හෙට (25) පස්වරු 5.00ට  පැවැත්වීමට නියමිතය.

මෙම විවාදයේදී කෙරෙන වාද විවාද  හේතුවෙන්  මැතිසබය  හෙට අනිද්දා   දැඩි  උණුසුම් මුහුණුවරක් ගනු ඇතැයි  පාර්ලිමේන්තු ආරංචි මාර්ග සඳහන් කළේය.

විසි දෙවැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා (සංශෝධන) පනත් කෙටුම්පත සම්මත වීමෙන් පසු ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන්ගේ විශ්‍රාම කාලය 65  සිට 67 දක්වාද අභියාචනාධිකරණ විනිසුරුවරුන්ගේ විශ්‍රාම කාලය වයස 63 සිට  65 දක්වාද දීර්ඝ කෙරෙනු ඇත.

අධිකරණ සංවිධාන (සංශෝධන) පනත් කෙටුම්පත සම්මත වීමෙන් මහේස්ත්‍රාත්වරුන්ගේ සහ  දිස්ත්‍රික් විනිසුරුවරුන්ගේ විශ්‍රාම කාලය 60 සිට  62 දක්වා දීර්ඝ කෙරෙනු ඇත.