(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)

දැනට පවතින අපනයන ආදායම ඇමරිකා ඩොලර් මිලියන 455 ක් දක්වා සියයට 80 කින් වර්ධනය කිරීමටත් අපනයන පරිමාව සියයට 30 කින් වර්ධනය කිරීමටත් මාර්ග සිතියමක් සකස් කර තිබෙන බව කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් සහ වාරිමාර්ග අමාත්‍ය කේ.ඩී ලාල් කාන්ත මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය.

"මෙම සංශෝධනය ගේන්න මූලික වටපිටාව සැකසී ඇත්තේ කරුණු දෙකක් නිසයි.අපනයන කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ තනතුරු නාම ප්‍රමාණයක් වෙනස් කර ගැනීමට අවශ්‍ය වෙනවා.ඒ සඳහා වන සංශෝධන අද ඉදිරිපත් කෙරෙනවා.එමෙන්ම අපනයන කෘෂි බෝග සම්බන්ධයෙන් නාමකරණය කර ගැනීම සඳහා එතෙක් තිබූ පණතේ වෙනස් කරගත යුතු කරුණු කිහිපයක් තිබෙනවා.1972 පනතේ තිබෙන්නේ සුළු අපනයන බෝග යනුවෙනුයි. 1992 පනත මගින් සුළු කියන කෑල්ල ඉවත් කරලා අපනයන කෘෂිකර්ම දෙපාර්තමේන්තුව නමින් නාමකරණය කිරීම ප්‍රශංසනීය කටයුත්තක්.වාර්ෂික නිෂ්පාදනයෙන් සියයට 32කට අධික පරිමාවක් අපනයනය කරනු ලබන තේ ,පොල්, රබර් සහ කජු යන ප්‍රධාන භෝග හැර වාර්ෂික භෝග  සහ අදාල විෂය භාර අමාත්‍යවරයා විසින් පාර්ලිමේන්තුවේ විෂය පථයට ඇතුළත් කළ යුතු යැයි නම් කරන ඕනෑම බෝගයක් අපනයන කෘෂි භෝගයක් ලෙස සලකනවා.ගම්මිරිස්, සාදක්කා, කරාබු, කරදමුංගු, කෝපි, කොකෝවා,බුලත්, පුවක්, වැනිලා,පැඟිරි, සේර, ගොරකා ,ඉඟුරු,කහ ආදී සම්ප්‍රදායික භෝග දෙපාර්තමේන්තුවේ වර්තමාන විෂය පථයට අයත් වෙනවා යනුවෙන්ද අමාත්‍යවරයා කීය.