(අංජුල මහික වීරරත්න)
මෙවර වෙසක් උත්සවය ජාතික මෙන්ම ප්‍රාදේශීය මට්ටමින් ඉතා උත්කර්ෂවත්ව සැමරීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ උපදෙස් පරිදි සැලසුම් කර තිබෙන බව ජනාධිපති ලේකම් සමන් ඒකනායක මහතා සඳහන් කළේය.
ජනාධිපති ලේකම්වරයා මේ බව සඳහන් කළේ “බුද්ධ රශ්මි ජාතික වෙසක් මංගල්‍යය” පිළිබඳ ජනාධිපති කාර්යාලයේ පැවති මූලික සාකච්ඡාවේ දී ය.
හුණුපිටිය, ගංගාරාම විහාරාධිකාරී ආචාර්ය කිරින්දේ අස්සජි සහ ආචාර්ය පල්ලේගම රතනසාර හිමිවරු ද ජාතික ආරක්ෂාව පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක හා ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී සාගල රත්නායක මහතා ද මීට සහභාගී වී සිටියහ.
“බුද්ධ රශ්මි ජාතික වෙසක් මංගල්‍යය” 2023 මැයි 05,06 සහ 07 යන තෙදින කොළඹ ගංගාරාම විහාරස්ථානය, ජනාධිපති කාර්යාලය සහ අග්‍රාමාත්‍ය කාර්යාල පරිශ්‍ර ආශ්‍රිතව පැවැත්වීමට නියමිතය.
ජාතික වෙසක් කලාපයක් ලෙස නම් කරමින් වැඩසටහන් රැසක් ද සමගින් එය සංවිධානය කර තිබෙන බව කිරින්දේ අස්සජි හිමියෝ පැවසූහ.
මැයි මස 5 වන දිනට යෙදෙන වෙසක් පොහෝ දින, ගංගාරාම විහාරස්ථානයේ සිල් සමාදන් කරවීමේ වැඩසටහන පැවැත්වෙන අතර වෙසක් කලාපය කොඩි, ධජ පතාක, අටපට්ටම් කූඩු සහ විදුලි බුබුළු වලින් සැරසීම, මල් පෙරහර පැවැත්වීම, තොරණ සහ පහන් කූඩු ප්‍රදර්ශනය ඇතුළු වැඩසටහන් රැසක් ඊට සමගාමීව සංවිධානය කර තිබේ.
බොදු බැති ගී ගායනය ජනාධිපති කාර්යාලය සහ ගංගාරාම විහාරස්ථානයේ ප්‍රධාන වේදිකාව ආශ්‍රිතව පැවැත්වීමට නියමිත අතර ගංගාරාම විහාරස්ථානයේ සහ ජනාධිපති කාර්යාලය අසල වෙසක් දන්සැල් පැවැත්වීමට ද නියමිතය.
එමෙන්ම සංචාරක ආකර්ෂණය ලබා ගැනීමට වෙසක් මංගල්‍යය මහඟු අවස්ථාවක් බව පෙන්වා දුන් අස්සජි හිමියෝ රට ආර්ථික වශයෙන් යළි ශක්තිමත් වෙමින් පවතින මේ අවස්ථාවේ ධනාත්මකව සිතා යහපත් ප්‍රවේශයක් ලබා ගැනීමට සහ ජනතාවගේ අධ්‍යාත්මය පෝෂණය කිරීමට එය ඉවහල් වන බව පැවසූහ.
“බුද්ධ රශ්මි වෙසක් කලාපය” සාර්ථක කර ගැනීම සඳහා රාජ්‍ය අංශයේ මෙන්ම පෞද්ගලික අංශයේ සියලුදෙනාගේ සහාය ලබා ගැනීම අපේක්ෂාව වන අතර ඒ සඳහා සියලුදෙනා දායකවනු ඇති බව ජනාධිපති ලේකම් සමන් ඒකනායක මහතා මෙහිදී සඳහන් කළේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ණය මුදල් ලැබෙන්නත් කලින් පිනා පින් වැඩ පටන් ගත්තාද. පන්සල් වල තියෙන පින්කැටයෙ මුදල් මේවාට වෙන් කර ගන්න කියලා හමුදුරුවරු දැනුවත්කරන්න. ධනය ජනතාවගෙන් අඩු නැතිව ලැබෙනවා දායකයො බිල් ගෙවලා. කටින පුජාවත් කරනවා. පින් කැට වලට එකතු වෙන මුදල් ගැන හොයලා බලලා ඒ මුදලින් වෙසක් සමරන්න කියන්න. රජයට කලබල වෙන්න අවශ්‍ය නැහැ