(අජන්ත රත්නායක)

ඉන්ධන හිඟයට විරෝධය පළකරමින් පැවැති උද්ඝෝෂණයක් හරහා සිය මෝටර් රථයෙන් ගමන් කිරීමට උත්සාහ කළ පුද්ගලයකුට, උද්ඝෝෂකයන් පහරදීම හේතුවෙන් තුවාල ලැබූ පුද්ගලයන් දෙදෙනකු කුරුණෑගල ශික්ෂණ රෝහලට ඇතුළත් කළ බව පොලිසිය කියයි.

කුරුණෑගල,පොල්අත්තාපිටිය ප්‍රදේශයේ පිහිටි ඉන්ධන පිරවුම්හලකින් නිකුත්කරමින් තිබූ පෙට්‍රල් තොග අවසන්වීමත් සමග ඉන්ධන ලබාගැනීමට එහි පැමිණි සිටි පිරිස් දැඩි නොසන්සුන්තාවයකට පත්වූහ.

කුරුණෑගල - දඹුල්ල මාර්ගයට පිවිසි පිරිස යතුරුපැදි යොදා මාර්ගය හරස් කරමින් පෙට්‍රල් ලබාදෙන ලෙස ඉල්ලමින් විරෝධතාවක් ආරම්භ කළහ.

විරෝධතාව‍ය අතරතුර එම ස්ථානයෙන් ගමන්කිරීමට පැමිණි ගිලන් රථයකට ඉඩ ලබාදීමට විරෝධතාකරුවන් කටයුතු කළ අතර, එම අවස්ථාව ප්‍රයෝජනයට ගනිමින් මෝටර් රථයක් ද එම ස්ථානය පසුකර යෑමට උත්සාහ කළේය.

මෝටර් රථය ඉදිරියට ඇදෙනවාත් සමගම කුපිත වූ විරෝධතාකරුවෝ මෝටර් රථයට පහරදීම නිසා මෝටර් රථය නැවතූ රියදුරා සහ එතුළ ගමන් කරමින් සිටි අයකු රථයෙන් බැස විරෝධතාකරුවන් සමග බහින්බස්වීමක සිදුව තිබේ.

එම බහින්බස්වීම දුරදිගයාමෙන් විරෝධතාකරුවන්  මෝටර් රථයෙන් පැමිණි දෙදෙනාට ආරක්ෂිත හිස්වැසුම් සහ අත් පා යොදාගනිමින් පහරදුන් ආකාරය දැකගත හැකි විය.

විරෝධතාකරුවන් විසින් මෝටර් රථයට ද පහරදීම නිසා එහි පසුපස වීදුරුව බිඳී ගොස් තිබූ අතර මෝටර් රථයේ තවත් ස්ථාන කිහිපයකටම අලාභහානි සිදුවී තිබිණි.