
(අංජුල මහික වීරරත්න)
ව්‍යසන කළමනාකරණ ජාතික සභාව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති ලේකම් කාර්යාලයේදී අද (30) රැස් විය.
පක්ෂ විපක්ෂ මහජන නියෝජිතයන්ගේ සහභාගීත්වයෙන් පැවති මෙම සාකච්ඡාවේදී එල්නිනෝ (El Niño) තත්ත්වය හමුවේ ගත යුතු ක්‍රියාමාර්ග සහ ව්‍යසන කළමනාකරණ පද්ධතියේ ප්‍රතිසංස්කරණ පිළිබඳව දීර්ඝ වශයෙන් සාකච්ඡාවට ලක් කෙරුණ අතර ජාතික ආපදා ඒකාබද්ධ යාන්ත්‍රණය පිළිබඳ තීරණ රැසක්ද ගනු ලැබිණ.
එල්නිනෝ දේශගුණික රටාව හේතුවෙන් ඉදිරියේදී ඇති විය හැකි බලපෑම් පිළිබඳව විශේෂ අවධානය යොමු කළ ජනාධිපතිවරයා මේ වන විට පවතින පුරෝකථනයන් දත්ත මත පදනම්ව සහ මෙතෙක් කරන ලද පුරෝකථනයන් සමඟ කොතරම් දුරට සැසඳෙන්නේද යන්න පිළිබඳව නිලධාරීන්ගෙන් විමසා බැලීය.
විශේෂයෙන් එල්නිනෝ තත්ත්වයට මුහුණ දීම සඳහා කෘෂි කර්මාන්තය පානීය ජල සැපයුම සහ බලශක්ති උත්පාදනය යන අංශයන්හි සූදානම පිළිබඳව ජනාධිපතිවරයා මෙහිදී විශේෂ අවධානය යොමු කළේය.
එහිදී ජලය කළමනාකරණය කිරීමට රජය සතු සැලසුම් පිළිබඳ, කෘෂි කර්මාන්තයේදී මහ කන්නයේ වගා කටයුතු කලින් ආරම්භ කිරීම පිළිබඳවද සාකච්ඡාවට ලක් විය. එමෙන්ම වනජීවි කලාප තුළ ජලය හිඟ වීමෙන් වන සතුන්ට සිදු විය හැකි බලපෑම පිළිබඳව අවධානය යොමු වූ අතර ඒ වෙනුවෙන් වනජීවි කලාප තුළ පවතින වැව් කඩිනමින් ප්‍රතිසංස්කරණය කරන ලෙස පරිසර අමාත්‍යාංශයට ජනාධිපතිවරයා විසින් උපදෙස් දෙනු ලැබීය.
තවද ජල විදුලි උත්පාදනය අඛණ්ඩව පවත්වා ගැනීම සඳහා ජලාශවල ජල ධාරිතාව කළමනාකරණය කිරීමේ අවශ්‍යතාව සහ සූර්ය බලයෙන් නිපදවෙන බලශක්තිය ගබඩා කිරීම සඳහා අවශ්‍ය බැටරි ගෙන්වීමේ කටයුතු කඩිනම් කිරීමෙි අවශ්‍යතාව පිළිබඳවද ජනාධිපතිවරයා මෙහිදී පෙන්වා දුන්නේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd