(යොහාන් භාසුර සහ ඉන්දිකා රාමනායක)

වාහනවල චැසි අංක සහ එන්ජින් අංක ව්‍යාජ ලෙස සකස් කර අළෙවි කිරීමේ ජාවාරමක් ක්‍රියාත්මක කළ පුද්ගලයන් තිදෙනෙක් සමඟ රුපියල් කෝටියකට අධික වටිනාකමින් යුත් වාහන හතරක් කොළඹ අපරාධ කොට්ඨාසය අත්අඩංගුවට ගත් බව උසස් පොලිස් නිලධාරියෙක් පැවසීය.

වැලිවේරිය, මිනුවන්ගොඩ සහ මාකවිට යන ප්‍රදේශවල පදිංචි වයස අවුරුදු 54 සහ 58 පසු වන පුද්ගලයන් තිදෙනෙක් මෙසේ අත්අඩංගුවට පත්ව සිටින බවත් ඔවුන් සන්තකයේ තිබී කාර් රථයක්, ලොරි රථයක් සහ ත්‍රීරෝද රථ දෙකක් අත්අඩංගුවට පත්ව ඇති බවත් පොලිය සඳහන් කරයි.

මෙම සැකකරුවන් කල්බදු වාරික ගෙවීමට අපොහොසත් වන වාහන අඩු මිලට ලබාගෙන ලීසිං සමාගම් විනාශ කරන වාහනවල ලියාපදිංචි සහතික යොදාගෙන චැසි අංක, එන්ජින් අංක සහ ලියාපදිංචි සහතික ව්‍යාජ ලෙස සකස් කර ජාවාරම ක්‍රියාත්මක කර ඇති බවත් මේ ආකාරයට වාහන විශාල සංඛ්‍යාවක් අළෙවි කර ඇති බවත් පොලිසිය පවසයි.

සැකකරුවන් තිදෙනා ගම්පහ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත බව ද පොලිසිය වැඩි දුරටත් කීය.

කොළඹ අපරාධ කොට්ඨාසයේ අධ්‍යක්‍ෂ සහකාර පොලිස් අධිකාරී නෙවිල් ද සිල්වා මහතාට ලැබුණු තොරතුරත් මත එම කොට්ඨාසයේ සහකාර පොලිස් අධිකාරීන් වන හෙට්ටිආරච්චි සහ අනුරංග යන මහත්වරුන්ගේ උපදෙස් මත එම කොට්ඨාසයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්‍ෂක ඇන්සලම් ද සිල්වා මහතා ඇතුළු කණ්ඩායම මෙම මෙහෙයුම ක්‍රියාත්මක කළේය.