(අංජුල මහික වීරරත්න)

ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුව සඳහා පරිගණක ජාලයක් ස්ථාපිත කිරීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත.

ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුව විසින් ජාතික මට්ටමේ විභාග ද ඇතුළත්ව විභාග 300 කට අධික ප්‍රමාණයක් වාර්ෂිකව පවත්වනු ලබන අතර එකී විභාගයන්හි සියලුම දත්ත සහ මෙහෙයුම් හා බැඳී ඇති තීරණාත්මක කාර්යයන් කළමනා කරණය කිරීම සඳහා පරිගණක කළමනාකරණ තොරතුරු පද්ධතියක් භාවිත කරනු ලබයි. 

එම දෙපාර්තමේන්තුවේ ප්‍රධාන මෙහෙයුම් කාර්යයන්, එක් එක් අංශ සඳහා අනන්‍ය වූ පරිගණක ජාල ලෙස පැවතීම හේතුවෙන් විභාග ක්‍රියාවලියේ බොහෝ අත්‍යවශ්‍ය අදියරයන්, මානව සම්පත පමණක් භාවිතයෙන් සිදු කිරීම කළ යුතු අතර, දත්ත සහ ලේඛන භෞතික මාර්ග ඔස්සේ ශාඛා අතර මාරු කරනු ලැබේ.

 ඒ හේතුවෙන්, කාර්යක්ෂමතාව අඩු වීම, ප්‍රමාදයන් සිදු වීම, භෞතික හා මානව සම්පත් නාස්තිය ආදිය සිදු වන බව නිරීක්ෂණය කරනු ලැබ තිබේ. එබැවින්, වර්තමානයේ ක්‍රියාත්මක සේවාවන් ධිජිටල්කරණ ක්‍රියාවලියට අනුගතව විභාග දෙපාර්තමේන්තුවේ පරිගණක ජාල යටිතල පහසුකම් ශ්‍රේණිගත කිරීම අත්‍යවශ්‍ය කරුණක් ලෙස හඳුනාගනු ලැබ තිබේ. 

ඒ අනුව ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුවේ සියලු ශාඛා ආවරණය වන පරිදි පුළුල් පරිගණක ජාලයක් සැලසුම් කිරීම, ස්ථාපනය කිරීම හා ක්‍රියාත්මක කිරීම පිණිස අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍ය වශයෙන් අග්‍රාමාත්‍යවරිය  ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.