(යොහාන් භාසුර)

වෛද්‍ය නිලධාරීන්ගේ මාරුවීම් සම්බන්ධයෙන් ගැටළුවට සියලු දෙනාගේ එකඟතාවය මත විසඳුමකට එළඹෙන ලෙස අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල්වරයාට උපදෙස් දුන්නේය.

වෛද්‍ය නිලධාරීන්ගේ මාරුවීම් සම්බන්ධයෙන් පැවති ක්‍රමය වෙනස් කිරීමට යාමෙන් ගැටලු මතුවන  නිසා පැවති ක්‍රමය තවදුරටත් ක්‍රියාත්මක කිරිම සුදුසුද යන්න සාකච්ඡා මාර්ගයෙන් තීන්දුවක් ගන්නා ලෙසත් එහිදී අග්‍රාමාත්‍යවරයා සියළු පාර්ශවවලට උපදෙස් දුන්නේය.

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සමග ඊයේ (4) අරලියගහ මන්දිරයේදී පැවති සාකච්ඡාවේදී අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා එසේ උපදෙස්දී තිබේ.

මෙම සාකච්ඡාවට සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල, සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල් අසේල ගුණවර්ධන සහ රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සභාපති විශේෂඥ වෛද්‍ය අනුරුද්ධ පාදෙණිය යන මහත්වරු ඇතුළු විශාල පිරිසක් සහභාගී වූහ.