(අනීෂා මානගේ)

වීරකැටියේ ඇඟලුම්හලක සේවක සේවිකාවන්ට මෙම මාසයේ වැටුපෙන් අඩක් පමණක් ගෙවීමට පාලන අධිකාරිය තීරණය කිරීමට විරෝධය දක්වමින් අද(11) ඔවුහු සේවයෙන් ඉවත් වී වර්ජනයක නිරත වූහ.
 
වීරකැටිය ප්‍රදේශයේ පිහිටි මෙම පෞද්ගලික ඇඟලුම් කර්මාන්ත ශාලාවේ සේවක සේවිකාවන් දහසක් පමණ ඊයේ සේවයෙන් ඉවත්ව සිටියහ.
 
පසුගිය මස 20 වැනිදා සිට තමන් සාමාන්‍ය පරිදි රාජකාරී කටයුතු කළ අතර තමන්ට මෙම මාසයේ මූලික වැටුපෙන් අඩක් පමණක් ගෙවීමට පාලන අධිකාරිය තීරණය කර ඇතැයි ලද තොරතුරු හේතුවෙන් තමන් සේවයෙන් ඉවත්ව වැඩ වර්ජනයක් ආරම්භ කළ බව සේවකයෝ කියති.

වැඩ වර්ජනයේ නිරත වූ සේවක සේවිකාවෝ අද ඇඟලුම් කර්මාන්තශාලා භූමිය තුළ රැඳි සිටිමින් වර්ජනයේ නිරත වූ අතර මූලික වැටුප සම්පූර්ණයෙන් තමන්ට ලබා දෙන ලෙස සේවකයෝ ඉල්ලා සිටිති.
 
අප මේ සම්බන්ධයෙන් ඇඟලුම් කර්මාන්තශාලාවේ පාලන අධිකාරියගෙන් කරුණු විමසීමට උත්සාහ කළද ඔවුහු එය ප්‍රතික්ෂේප කළහ.
 
කෙසේ වුවද කොරෝනා වෛරසය පැතිරයාම පාලනය කිරීමට දෙදෙනකු අතර මීටරයක දුරක් පවත්වාගැනීමට සෞඛ්‍ය බලධාරින් ජනතාවට උපදෙස් දුන්නද වැඩ වර්ජනයේ නිරත වූ සේවක සේවිකාවෝ එය අනුගමනය කර නොසිටි ආකාරය දක්නට හැකිවිය.  

වසර 28ක කාලයක් තිස්සේ නියමිත පරිදි සේවකයන් 1100 දෙනකුට වැටුප් ගෙවූ බවත් ආයතනය වසා දැමීමට තමන් අකමැති බවත් මාස දෙකක පමණ කාලයක් ගතවූ පසු යළිත් යථා තත්ත්වයට පත්විය හැකි බව අද දින සේවක වැඩවර්ජනයක් පැවැති වීරකැටියේ ඇඟලුම්හලෙහි අධ්‍යක්ෂ ජාෆර් සටාර් මහතාගෙන් කළ විමසීමේදී ඔහු කීවේය.

එහිදි වැඩිදුරටත් අදහස් දක්වමින් ජාෆර් සටාර් මහතා මෙසේ කීවේය.

හැම කම්හලකම එක් කණ්ඩායමක් ඉන්නවා මොකක්හරි ප්‍රශ්නයක් ඇති කරන්න. මම මේ ආයතනය ආරම්භ කළේ 1992 වර්ෂයේදීයි. මේ අවුරුදු 28ට කිසිදු අවස්ථාවක කිසිදු පුද්ගලයකුට වැටුප් නොගෙවා නැහැ. හම්බන්තොට දිස්ත්‍රීක්කයේ තිබෙන ඇඟලුම් කම්හල් අතරින් වායුසමීකරණය කළ ඇඟලුම් කම්හලක් තිබෙන්නේ මෙය පමණයි. සෑම වසරකම අපි සේවකයන් 1100කට වැටුප් නියමිත පරිදි ගෙවීම් කළා. ප්‍රසාද දීමනා ගෙවීම් කළා.

ලංකාවට පමණක් නෙවෙයි ලෝකයම මේ ගැටළුවට මුහුණ දී තිබෙන්නේ. ගැණුම්කරුවන් බංකොලොත්වෙලා. කොරෝනා නිසා අපි මාර්තු 15 වැනිදා ආයතනය වැහුවා. මාර්තු අන්තිම වෙනකල් වැඩ කළේ නැහැ. නමුත් අප්‍රේල් 10 වැනිදා මම සියලු දෙනාගේ වැටුප් ගෙවීම් කළා. දැන් සියලුම ඇණවුම් අවලංගු කර තිබෙන්නෙ. එය මගේ පමණක් නෙවෙයි. සෑම ඇඟලුම් ආයතනයකම ඒ වගේ. අනාගතයේදී ඇණවුම් තිබේවිද නැද්ද අපි දන්නෙ නැහැ.

අපි සාමාන්‍යයෙන් භාණ්ඩ යැව්වාම දවස් 30කට පසුවයි අපිට මුදල් ගෙවීම් කළේ. හැම ගැණුම්කරුවෙක්ම ඒ දවස් 30 දැන් දවස් 120 කරලා. නැවත මුදල් ලැබෙන්නේ ජූලි, අගෝස්තු මාසවලදීයි. මේ වෙනකොට කිසිම බැංකුවකින් වැඩිපුර ණයක් ලබා දෙන්නෙ නැහැ.

අප්‍රේල් මාසයේ 20 වැනිදා වෙනකල් අපි ආයතනය වසා තිබුණා. 20 වැනිදායින් පස්සේ රජයෙන් අනුමැතිය දුන්නා සියයට 25ක් ගෙන්වා වැඩ කරන්න. නමුත් ඒ විදියට වැඩ කරන්න අමාරුයි. ඇඳුමක් මහන්න ළමයි සියලුම දෙනා ඉන්න ඕන. සතියක් සියයට 25ක් ගෙනාවා. ඊළග සතියේදී සියයට 50ක් ගෙනාවා. එතකොට අප්‍රේල් මාසය ඉවරයි. ඒ කියන්නේ අප්‍රේල් මාසයේ සම්පූර්ණයෙන්ම පාඩුවක් සිදුව තිබෙන්නේ.

තවමත් අපිට සතයක්වත් බැංකුවෙන් ලැබී නැහැ.

ලංකාවේ සමහර ඇඟලුම් ආයතන වැටුප් ගෙවා ඇත්තේ නැහැ. සමහරු ගෙවා තිබෙන්නේ 50%යි. මම තීරණයක් ගත්තා 20 වැනිදා වෙනකල් 50%ක් ගෙවන්න. ඉන් පසුව පැමිණි අයට දවසේ වැටුපත් ගෙවනවා. සම්පූර්ණ මාසයේම ගෙදර සිටි කෙනාට සියයට පනහක් ලැබෙනවා. වැඩට ආපු කෙනාට 75%ක් ලැබෙනවා.

හැම සතියෙම මම සේවකයන් මුණගැහෙනවා. ළමයින්ගේ ලේ පුච්චලා අපිට හම්බකරන්න බැහැ. අපි මේ ළමයිගෙ පවුල්වලට කියන්නේ සුමිතුරු පවුල කියලයි. මේ ගැටළුවෙන් පස්සේ ළමයි කතා කරලා අඩනවා. සමහරු බලන් ඉන්නවා ආයතනය වසා දමන්න. මම කැමැති නැහැ එයට. යම් දෙයක් මම දැනට කරලා මාසයක් දෙකක් ගිහින් මේ ප්‍රශ්න අවසන් වුණාම ආයෙත් අපිට හිටපු තත්ත්වයට යන්න පුළුවන් යැයිද කීවේය.