(යොහාන් භාසුර)

රජයේ විගණන උප කාර්යාලයට අනුයුක්තව වයඹ පළාත් මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තු උප කාර්යාලයේ රාජකාරි කරන විගණන නිලධාරියකුගේ පෞද්ගලික නිවසට පැමිණ මරණ තර්ජනය කළේ යැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් කාන්තාවක් ඇතුළු පුද්ගලයන් දෙදෙනෙකු කොළඹ අපරාධ කොට්ඨාසය අත්අඩංගුවට ගත් බව උසස් පොලිස් නිලධාරියෙක් ‘ලංකාදීප’යට පැවසීය.

මෙහිදී 26 හැවිරිදි කාන්තාවක් සහ 38 හැවිරිදි පිරිමි පුද්ගලයෙක් අත්අඩංගුවට ගත් බවත් එම පුද්ගලයන් මිනුවන්ගොඩ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත බවත් එම උසස් පොලිස් නිලධාරියා කීය.

අදාල විගණන නිලධාරියාගේ වේයන්ගොඩ, මාබෝදල පිහිටි නිවසට පැමිණ පුද්ගලයන් පිරිසක් තර්ජනය කර ඇති බවට විගණකාධිපතිවරයා විසින් පොලිස්පතිවරයාට පැමිණිල්ලක් යොමුකර තිබූ බවත් අදාල විගණන නිලධාරියාට දුරකථනයෙන් කළේ යැයි කියන තර්ජන ඔස්සේ පරික්‍ෂණ කර එම පුද්ගලයන් දෙදෙනා අත්අඩංගුවට ගත් බවත් එම උසස් පොලිස් නිලධාරියා වැඩි දුරටත් සඳහන් කළේය.