(පුෂ්පකුමාර මල්ලවආරච්චි)

​මා ඔයේ යකා බැඳි ඇල්ල අසල දිය නෑමට ගිය 13 හැවිරිදි පාසල් දරුවකු දියේ ගිලී මියගොස්, ඔහු බේරා ගැනීමට උත්සාහ කළ පියා ද අනතුරට පත්වීමෙන් පසු දඹදෙනිය මූලික රෝහලට ඇතුළත් කර ඇතැයි නාල්ල පොලීසිය පවසයි.

​මෙලෙස අවාසනාවන්ත ලෙස මියගොස් ඇත්තේ දිවුලපිටිය, පින්නකැලේ වත්ත ලිපිනයේ පදිංචිව සිටි හේරත් මුදියන්සේලාගේ නිමිසර ප්‍රමෝද් නැමැති 13 හැවිරිදි පාසල් සිසුවෙකි.

​මියගිය දරුවා, ඔහුගේ පියා, තවත් පිරිමි පුද්ගලයෙකු සහ ළමයින් සිව්දෙනෙකු සමග මා ඔයේ දිය නෑමට පැමිණ ඇති අතර, එහිදී දරුවා දියේ ගිලී තිබේ. දරුවා බේරා ගැනීමට උත්සාහ කිරීමේදී ඔහුගේ පියා වන හේරත් මුදියන්සේලාගේ නාමල් වසන්ත බණ්ඩාර (38) නැමැති අයද දියේ ගිලී අනතුරට ලක්ව ඇත.

​ප්‍රදේශවාසීන් විසින් වහා ක්‍රියාත්මක වී දරුවා ගොඩගෙන දඹදෙනිය මූලික රෝහලට ඇතුළත් කර ඇති අතර, ඒ වන විටත් දරුවා මියගොස් සිටි බව රෝහල් ආරංචි මාර්ග පවසයි.

​අනතුරින් තුවාල ලැබූ පියා දඹදෙනිය රෝහලේ හදිසි ප්‍රතිකාර ඒකකයේ ප්‍රතිකාර ලබන අතර ඔහුගේ තත්ත්වය බරපතල නොවන බව රෝහල් ප්‍රකාශකයෙකු පැවසීය.